මැලේසියාවට යමු! වතුර වෙනුවට තෙල් බොමු! ඔන්න තෙලේ බලේ

sfසිංගප්පූරුවට අල්ලපු සහ ලඟම රට තමයි මැලේසියාව. සිංගප්පූරුව නිදහස ගත්තෙත් මැලේසියාවෙන්. සිංගප්පූරුවෙ ඉඳන් මැලේසියාවට බස් එකේ, බයිසිකලේ නැත්නම් තමුන්ගෙ වාහනයක උනත් යන්න පුලුවන්.දැන් කියන්න යන්නෙත් මැලේසියාව ගැනම තමයි; මැලේසියාවෙ තෙල් ගැන.

ලංකාවෙදි ඔක්ටේන් 95 කියන හොඳම පෙට්‍රල් ලීටරයක් රු142ක් විතර වෙනව. සිංගප්පූරුවෙ නම් S$ 1.6 ක් (ලංකා රු130ක්) විතර වෙනව. මැලේසියාවෙ රිංගිට් 1.5ක් (ලංකා රු60ක්) විතර තමයි ගාණ. (බොන වතුර ලීටරයේ බොතලයක් එහෙ රිංගිට් 2ක් විතර වෙනව!)

මැලේසියාවෙ තෙල්වල ගාණ මෙච්චර අඩු වෙලා තියෙන්නෙ තමුන්ගෙම තෙල් පාවිච්චි කරන නිසා. මේ රට ඛණිජ තෙලුයි ස්වාභවික වායුයිවලින් හුඟක් පොහොසත් රටක්. රටේ ජාතික තෙල් අධිකාරිය වෙන “පෙට්‍රෝනාස්” තමයි දැනට ආසියාවෙ තියෙන වැඩියෙන්ම ලාභ ලබන ආයතනය. ඔය “පෙට්‍රෝනාස්”ම තමයි 1998ටේ ඉඳන් 2004 වෙනකම් ලෝකෙ උසම ගොඩනැඟිල්ල වෙලා තිබුන “පෙට්‍රෝනාස් නිවුන් ගොඩනැගිලි”වල අයිතිකාරයත්! ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද තෙලේ බලේ. රටේ ස්වාභාවික සම්පතක් නියම විදිහට කළමණාකරණය කරල ඒක ආසියාවෙම හොඳම ව්‍යාපාරය කරගෙන.eww

දැන් යුද්දෙත් ඉවරවෙලා තියෙන එකේ අපේ වාසනාවට තෙල් හම්බ වුනොත් අපේ කට්ටිය උදාහරණයට ගන්න ඔනෙ “පෙට්‍රෝනාස්” කියල තමයි මමනම් හිතන්නෙ. තෙල් කෙසේ වෙතත් හරියට කළමණාකරණය කරනවනම් ලංකාවෙ කොච්චරනම් කියල ස්වාභාවික සම්පත් තියෙනවද?

පසු වදන: අල්ලපු රටේ කොච්චර ගණන් අඩු වුනත් සිංගප්පූරුවෙ වාහනවලට මැලේසියාවට ගිහින් තෙල් ගහගෙන එන්න බැහැ. සිංගප්පූරු දේශසීමාවෙන් වාහනයක් එලියට යනකොට අඩුම තරමෙන් තෙල් ටැංකියෙන් 3/4ක් වත් පිරිල තියෙන්න ඔනෙ. එහෙම නැතිවුනොත් S$500ක දඩයක් ගහල වාහනේ ආපහු හරවලත් යවනව. ඔන්න ඔහොමයි මෙහෙ වැඩ! සිංගප්පූරුව කියන්නෙ බදු උල්පතක්! බද්දක් ගහන්නෙ නැති දෙයක් නැහැ! අල්ලපු රටට වඩා 230%ක් විතර හැම දෙයකම ගාණ වැඩියි.

“සිම් ලිම්” එකට ගිහින් බඩු ගන්න (2- කොටස)

මේ සිද්ධිය මට වුන වැඩක්. අන්තිම සැරේට ලංකාවට යනකොට මට ගෙදරට cord-less phone එකක් අරගෙන යන්න ඔනෙ වුනා. ඕකටත් ඉතින් ගියෙ ඔය “සිම් ලිම්” එකටම තමයි; හැබැයි “සිම් ලිම් ස්ක්වෙයාර්” එකට. ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ගිය පලවෙනි කඩේම cord-less phone නානාප්‍රකාර වර්ග වලින්! ගන්න එකක් හිතාගන්න බැහැ!

එක එක ජාති වලින් එක එක පාට වලින් එක එක ගණන් වලට! ඔයින් එකක් නම් හිතට ඇල්ලුව; ඒත් අස්ප ගාණක් තමයි කිව්වෙ. S$160ක්! කොහේ තියෙන සල්ලිද අප්ප ඔච්චර එකක් ගන්න. වැඩේ අතෑරල දාල වෙන කඩේකින් බලනව කියල හිතාගෙන එලියට බහින්න හදනකොට අහපි කීයකට වගේද බලන්නෙ කියල. කොහොමත් ඒ කඩේ තිබුන ඒව මගෙ බජට් එකට වඩ වැඩි නිසා මම කිව්ව බලපු එක S$125කට දෙනවනම් ගන්නව කියල. මට ඔනෙ වුනේ ඒ කඩෙන් ගැලවිලා යන්න.

පුදුමෙ කියන්නෙ මෑන්ස් කියපි හරි S$125ට දෙන්නම් කියල. පණ්ඩිතය වගෙ ගාණ කිව්ව නිසා ගන්න වුනා. ඊට පස්සෙ එදා දවසෙම කලේ ඉතුරු කඩවලට ගිහින් මම ගත්ත cord-less phone එකේ ගාණ කීයද කියල බලන එක! අනෙක් කඩවල අඩුම ගාණ S$135යි. අපරාදෙ කියන්න බැහැ ඒ ගමන නම් මම ගොඩ! ගෙවපු ගාණට බඩුව වටිනව පස්සෙ ජාලෙ හොයල බැළුවහම!

පසු වදන: හෙට්ටු කරල බඩු ගන්න යන්න ඕනෙ මැලේසියාවෙ ක්වාල ලාම්පූර් වල pavement කඩවලට! අන්න හෙට්ටු කිරිලි! අපේ මල්වත්ත පාර පරාදයි! ඒ ගැන පස්සෙ ලියන්නම්.

සරසවි කුරුටු ගී…

මට මේ කවිය හම්බවුනේ කැම්පස් යන්න ඉස්සෙල්ල. දවසක් ඉස්කොලෙ පුස්තකාලෙ පාඩම් කරන කොට අහම්බෙන් හම්බ්වුන “සරසවි කුරුටු ගී” කියන පොතේ තිබුනෙ.

“පානුයි පරිප්පුයි දවසක බුදු වේවා..
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා..
මලකඩ පයිප්පේ නේරංජන ගඟ වේවා..
බෝඩිමේ අංකල් කණ්ථක අසු වේවා..”

පස්සෙ කාලෙක ඇත්තටම විශ්වවිද්‍යාල අත්දැකීම ලබන කොට තමයි ඔය කවියෙ යථාර්තය වැටහුණේ.

“සිම් ලිම්” එකට ගිහින් බඩු ගන්න (1- කොටස)

මම වැඩ කරන තැන ලංකාවෙ කට්ටිය ගොඩක් ඉන්නව. ඔය කට්ටියෙන් ඉතින් මාසයකට අනිවාර්යයෙන්ම එක්කෙනෙක්වත් ලංකාවට ඇවිත් යන්න එනව.

ඔන්න ඔහොම ලංකාවට යන අයිය කෙනෙකුට “ඈම්ප්” එකක් ගන්න ඔනෙ කියල දවසක් අපි පස් හය දෙනෙක් උදේම “සිම් ලිම් ටවර්” ගියා.බලන බලන හැම පැත්තෙම අපිට ඔනෙ බඩු. ඔන්න ඉතින් අපි ඔක්කොම එක කඩේකට රිංගුව. හිතට අල්ලන “ඈම්ප්” එකකුත් සෙට් වුනා. ගාණ තමයි ප්‍රශ්නෙ! S$400ක්ද කොහෙද කිව්ව. අපේ බජට් එකට වඩා වැඩියි. ඉතින් කට්ටියම ආපහු හැරිල යන්න හදනකොට කඩේ ඉන්න කෙනා කියපි ” I will give it for s$250, coz this is my first sale of the day! But if you step out and come again asking for the item for S$250, can not!!!!!!!!”

ඔන්න ඔහොමයි “සිම් ලිම්” බඩු විකිණිල්ල!

පසු වදන : මොනව කරන්නද? ආපහු මේ deal එක set වෙන්නෙ නැති නිසා s$250 දීල “ඈම්ප්” එක ගත්ත. ඉගෙන ගත්ත පාඩම තමයි, කට්ටිය ගොඩක් එක පාරට එකම කඩයකට යන්න හොඳ නැහැ. කට්ටිය බෙදිල කඩවල් කීපයකට ගිහින් වලින් ගණන් කතා කරගෙන අඩුම තැනින් ගන්න එක තමයි කරන්න ඔනෙ!

පොටෝ ගැහිල්ල

පොටෝ ගැහිල්ලත් දැන් ෆුල් ටයිම් කරනවනම් මරු රස්සාව. පොටෝ ගහන එවුන් දැන් ගන්නෙ අස්ප ගණන්ලු! මඟුල් ගෙයක් කවර් කලොත් ලොකු ගාණක් හම්බකරන්න පුලුවන්. එකපාරටම පොටෝ ගැහිල්ල මතක් උනේ මටත් මගේ කලෙක්ෂන් එකට අලුතෙන් ලෙන්ස් ටිකක් ගන්න ඕනෙ කියල හිතේ තිබුන ආසාව දැන් ක්‍රියාත්මක කරන්න දැන් නියම කාලෙ කියල හිතුන නිසා. අපේ අය ඉතින් දැන් මොකක් හරි කරන්න හරි ගන්න හරි ඉස්සෙල්ල දැන් මුලින්ම කොරන්නෙ නෙට් එකෙ “සර්ච්” කරන එකනෙ. මමත් ඉතින් එහෙම තමයි. වැඩේට බහින්නෙ සන්නද්ධ වෙලා තමයි.

ඔන්න ඉතින් නමෝ විත්තියෙන් අන්තර්ජාලයෙ හොයල හොයල යන්න හොඳයි කියල හිතෙන තැන් කීපයක් හිතෙ තියාගෙන වැඩෙට බැස්ස. කට්ටිය ගොඩක් හිතන්නෙ සිංගප්පූරුව කිව්වහම ඉලෙක්ට්‍රොනික් බඩු හුඟක් ලාබෙට ගන්න පුලුවන් කියල. ඒත් ඇත්ත කතාවනම් මෙහෙ ඔය කියන තරම් ගාණෙ අඩුවක් නැහැ.

සිංගප්පූරුවෙ ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න යන්න ඔනෙ “සිම් ලිම් ස්ක්වෙයාර්” එකටයි “සිම් ලිම් ටවර්” එකටයි තමයි. හැබැයි බෙහොම ප්‍රවේසමෙන් තමයි බඩු ගන්න ඔනෙ. හරියට පිටකොටුවෙ මල්වත්ත පාරෙන් බඩු ගන්න යනව වගෙ. විශේෂයෙන්ම “සිම් ලිම් ස්ක්වෙයාර්” එකේ! අන්දල කොහොම හරි බඩු විකුණන්න කට්ටිය දක්ෂයි. දැන ගියොත් කතරගම; නොදැන ගියොත් අතරමග තමයි. ඒත් උඩම තට්ටුවෙ තියෙන කැමරා වෙනුවෙනුන්ම තියෙන කඩේ හොඳයි කියල කීපයකම තිබුන නිසා අපිත් ගිය බලන්න. වැඩේ ඇත්ත වගේ. එත් මගෙ බඩු ලිස්ට් එක ගන්න S$ 1500ක් විතර යනව. ඒක නිසා පොඩ්ඩ පොඩ්ඩ ගන්න තීරණය කලා.

පසු වදන: සිංගප්පුරුවෙ කඩ කාරයො (විශේෂයෙන්ම “සිම් ලිම්” එකේ) ඉලක්කම් හරඹයට දක්ෂ කට්ටිය. ඒක නිසා පරිස්සමෙන් තමයි බඩුවක් ගන්න ඔනෙ. සමහර කඩ වල ගණන් කියන්නෙ GST බද්ද නැතුව (සංචාරක වීසා තියෙන කට්ටියට මෙම GST බද්ද ආපසු ගුවන් තොටුපොලෙන් ගෙවනව ) ඊට අමතරව ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවනවනම් ආපහු තව කීයක් හරි වැඩී. ඒක නිසා බඩුවක ගාණ අහනකොට ඔක්කොම එක්ක අන්තිම ගාණ අහන එක තමයි නුවණට හුරු වැඩේ.

යනවනම් යන්න කොළඹ කැලේ…


dfgsdg
කොළඹ ඉන්න අපෙ කට්ටියට දවසකින් ගිහින් එන්න පුලුවන් නියම පැත්තක් තමයි මේ “කොළඹ කැලේ” කියන්නෙ. හුඟක් කට්ටිය දන්නෙ නැති වුනාට මේ පැත්ත කොළඹ දිස්ත්‍රික්කයේම කෑල්ලක්.මේ “කොළඹ කැලේ” තියෙන්නෙ වග, ලබුගම කියන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන. කොළඹ නගරයට වතුර දෙන ප්‍රසිද්ධ ලබුගම-කලටුවාව ජලාශය තියෙන්නෙත් මෙහෙ තමයි.

නාන්න විතරක් නෙමෙයි බොන්න වුනත් පුලුවන් පිරිසිඳු පැහැදිලි වතුර පාරවල්, බුලත් හපය වගේ ලංකාවට ආවේණික මාළු වගේ දේවල් ගොඩක් මේ “කොළඹ කැලේ” තියෙනව. කට්ටිය ගොඩක් මෙහෙ යන්නෙ මේ දිය පාරවල් වලින් නාන්න. කොළඹ කොන්ක්‍රීට් වනාන්තරය ඇතුලෙ ජීවිතෙ ගත කරන අයට සති අන්තයෙ ගිහින් එන්න පුලුවන් නියම පැත්තක් තමයි මේක.පවුලකට වගේ රාත්‍රියක් ගත කරන්න ඔනෙනම් නවතින්න පහසුකම් ඔනෙතරම් වටේ තියෙන නගර වෙන පාදුක්ක, හංවැල්ල, වග, කළු අග්ගල  තියෙනව.
සීතල වතුර ටිකක් නාගෙන විනෝද වෙන්න පුලුවන් තැන් කීපයක්ම මේ පැත්තෙ තියෙනව. උඩගම, රන් මුද්ද, කහ හේන ඔය තැන් වලින් කීපයක්. හැබැයි යන්න ඉස්සෙල්ල එක දෙයක් බොහොම අවධාරණයෙන් කියන්න ඔනෙ. හුඟක් අය මේවගෙ තැන්වලට යන්නෙ නාන්න විතරක් නෙමෙයි, මත්පැන් බොන්නත් එක්ක.

ඒවගෙ අයගෙන් කරන ඉල්ලීම තමයි ඔය තැන් විනාශ කරන්න එපාය කියන ඉල්ලීම. මොකද ඒගොල්ලො බීල විසිකරන බොතල් බිඳිල, ඒ බොතල් කටුවලට එන අනෙක් අයගෙ කකුල් කැපෙනව. ඒ මදිවට පොලිතින්, ප්ලස්ටික් හැමතැනම විසිකරල ඒ තැන් ජරාවාස කරල තමයි ඔයවගෙ කට්ටිය යන්නෙ. ඔයගොල්ලො වගේම තවත් අය ඔය තැන්වලට එන්න ඔනෙ කියන එක හිතේ තියගෙන ඒ තැන්වලට ගියානම් හොඳයි.

මෙහෙට යන්න ක්‍රම කීපයක්ම තියෙනව. කොළඹින් 125 බස් ඒකේ පාදුක්කට ඇවිත් පාදුක්කෙන් අවිස්සාවේල්ල හරි දඹෝර හරි බස් වල ගිහින් උඩගමට යන්න පුලුවන්. එහෙම නැත්නම් 143ක හංවැල්ලට ඇවිත් හංවැල්ලෙන් ලබුගම බස් එකේ වගට එන්න පුලුවන්.එහෙමත් නැත්නම් 122ක ඇවිත් කළු අග්ගල හන්දියෙන් බැහැල හංවැල්ලෙන් ලබුගමට යන බස් එක අල්ලගන්නත් පුලුවන්.

වැඩිය අටුවා ටීකා ඔනෙ නෙහෙ පාදුක්ක, හංවැල්ල, කළු අග්ගල, වග කියන නගර වලට ඇවිත් නාන්න යන්න පුළුවන් තැනක් කාගෙන් හරි අහන්න. ඔනෙ තරම් pot තියෙනව.

ශ්‍රි ලංකාව සහ සිංගප්පූරුව

11මා ඉපදුන, හැදුන රට සහ දැනට සිටින රට සමඟ සැසඳීම තරම් නොවන දෙයක්. නමුත් අපට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංගප්පූරුවෙනුත්, සිංගප්පූරුවට ලංකාවෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.

1965 දී මැලේසියාවෙන් නිදහස ලබන විට සිංගප්පූරුව යනු අන්ත දුප්පත් රටක්. ඒත් ඊට අවුරුදු 40 කට පස්සෙ දැන් ලෝකයේ දියුණුම රටක් බවට පත් වෙලා. මුලදී සිංගප්පූරුවට ඕනෑ වුනේ කොළඹ නගරය “තරම්වත්” දියුණු වෙන්න. ඒ කාලෙ කොළඹට කිව්වෙ  “ආසියාවේ හරිත නගරය” කියල.

පොල් ගහේ කරටියට ගල් ගහන්න නම් හඳටවත් ඉලක්ක කළ යුතුයැයි කියමනක් තියෙනවනෙ. ඒත් පොල් ගහේ කරටියට ඉලක්ක කර ගල් ගැසූ සිංගප්පූරුව දැන් හඳට ගොහිං ඇත. අපේ කොළඹත්, රටත් ගියේ කොයිබටද? (පැවති යුද්ධය එක සාධකයක් පමණක් බව මම විශ්වාස කරමි. )

සිංගප්පූරුව අධික ජන ඝනත්වයක්ද අධික ජන විවිධත්වයක්ද ඇති රටකි. නමුත් ඉතා පිරිසිදු රටකි; මහජනතාවගේ විනය පවත්වා ගැනීම සඳහා ඉතා දැඩි නීති පනවා ඇති රටකි. නීති කඩ කලවිට මෙහි ඇති දඩ ඔලුව උස්සන්නට බැරි දඩය. Singapore is a FINE CITY කියන්නේ තේරුමක් ඇතිවය. මේ රටේ ස්වාභාවික සම්පතක් කියා කිසිවක් නැත. බොන්නට වතුර ටිකත් අල්ලපු රට වන මැලේසියාවෙන්ය. මෙහෙ මිනිස්සු පවුල් පිටින් විනෝද සවාරි යන්නේ මුහුදු වෙරළේ කූඩාරම් ගැසීමටය. නමුත් සිංගප්පූරු වැසියෝ ඔවුන්ට ඇති දේවල් උපරිමයෙන් භවිතා කරති; අලුත් ආකාරයට සිතති. ඒවා ක්‍රියාත්මක කරති; ඉතාමත් දක්ෂ සැලසුම් කරුවෝය.

ස්වාභාවික කැළයක් නැති රටේ ලොකයේ නොයෙකුත් රටවලින් සතුන් රැගෙනවිත් අග්‍රගණ්‍ය සත්තු වත්තක් සාදා ඇත. රෑට කළුවර වැටුන පසු මිනිස්සුන්ව බස් එකක් ඇතුලේ දමාගෙන සත්තු වත්ත ඇතුළේ සත්තු පෙන්නන්න එක්කං යෑම “Night Safari “යැයි කියා market කර ඇත.( ‍යාල, උඩවලව ඇතුළට රෑට එක්කගෙන ගියානම් මේගොල්ලන්ට තේරෙයි “Night Safari ” කියන්නෙ මොකක්ද කියල! මෙහෙ ඉන්නෙ කූඩු ඇතුලෙ දමාගෙන ඉන්න සත්තු. එහෙ ඉන්නෙ කැලේ ඉන්න නිදහස් සත්තු. ) අපේ රටේ ගොඩ කරන්නෙ වවාගෙන කන්න තියෙන කුඹුරු; මෙහෙ ගොඩ කරන්නෙ මහ මුහුද. තව අවුරුදු ගාණක් එහාට සැලසුම් කරල වැඩිවෙන ජනගහනයට අවශ්‍ය භූමිය හදාගන්න මෙයාල මුහුද ගොඩ කරනව.

තව අවුරුදු ගාණකට පස්සෙ අවශ්‍යවන ප්‍රවහන අවශ්‍යතා දැන්මම හදල ඉවරයි. රට කොයි තරම් නාගරීකරණය උනත් පුළුවන් හැම තැනම ගස් වවල, හැම නගරයකම නාගරික උද්‍යාන! කැලි කසල පාලනය නියමෙට. ලංකාව වගේම ලෝක සිතියමේ නියම තැනක තියෙන මේ රට ඒ වාසිය නියමෙට අරගෙන තියෙන්නෙ වරායෙනුයි, රටේ ගුවන් තොටුපොලෙනුයි. රටේ බදු අහස උසට උනාට මිනිස්සුන්ට එයාලගෙ බදු මුදල් වලින් කෙරෙන වැඩ ඇස් පනාපිටම බලාගන්න පුලුවන්. “මාටිය පාරවල්” මෙහෙ නැහැ.

දැන් බැළුවහම මීට අවුරුදු ගාණකට ඉස්සර අපෙන් පාඩම් ඉගෙනගෙන දියුණු වුණු රටෙන් අපිට පාඩම් ඉගෙන ගන්න වෙලා. හැබැ‍යි ඒක ලැජ්ජ වෙන්න ඕනි දෙයක් කියල කියන්න බැහැ. මොකද අපි තවමත් පරක්කු නැති නිසා; මේ රටේ නැති ස්වාභාවික සම්පත් ගොඩාක් අපෙ රටේ තියෙනව. ප්‍රශ්නෙ තියෙන්න අපේ අය මෙයාලගෙන් පාඩම් ඉගෙන ගන්න කැමතිද කියන එක විතරයි.

හැබැයි මේ ටිකත් කියන්න ඕනෙ. මොන දීප දේසංකරේ ගියත් අපි ලංකවෙ මිනිස්සු. අපි හිතන්නෙ පතන්නෙ ලංකාවෙ විදිහට. අපි කොයි වෙලාවෙත් හිතන්නෙ ආපහු කවද්ද ලංකාවට යන්නෙ කියල. කොච්චර දියුණු වුනත් මෙහෙ මිනිස්සුන්ගෙ සාරධර්ම අන්තිමයි. මිනිස්සු Roboල වගේ; තමුන්ගෙ වැඩේ විතරයි. අනෙකට මොනව උනත් ගාණක් නෙහෙ. අපේ රටෙ බස් එකක, කොච්චියක යනකොට වයසක කට්ටියට, ගැබිණි මව්වරුන්ට කට්ටිය නැගිටල වාඩි වෙන්න දෙනව. මෙහෙ එහෙම නැහැ. බලන බලන හැම තැනම ගහල තිබුනත් ගොඩක් අය ඔහේ අහක බලාගෙන යනව.

එතකොට තමයි අපිට අපෙ පුංචි රටේ අගය තෙරෙන්නෙ. සමහරු හැම තිස්සෙම දකින්නෙ තමුන් ඉපදුනු, හැදුනු, තමන්ට නොමිලේ උගන්වපු අපේ රටෙ වැරදිම විතරයි. එත් පිටරටකට ආවහම තමයි අපේ රට කොච්චර හොඳංද කියල තේරෙන්නෙ. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල වෙන අපේ යුතුකම වෙන්න ඔනෙ අපේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න දියුණු ලෝකයේ තාක්ෂණික දැණුම අපෙ රටට ප්‍රේෂණය කරන එක. එහෙම නැතුව බුරුතු පිටින් දියුණු රටවලට මාරු වෙන එක නෙමෙයි. මම හිතන විදිහට ඕක තමයි සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමාට අපි කරන ලොකුම ගෞරවය.