KL (ක්වාලාලම්පූර්) යමු! – 2 කොටස

රාත්‍රියේදී පෙට්‍රෝනාස් පාමුල සිට

රාත්‍රියේදී පෙට්‍රෝනාස් පාමුල සිට

විදුලි බුබුළු දැල්වුනු පෙට්‍රෝනාස්

විදුලි බුබුළු දැල්වුනු පෙට්‍රෝනාස්

ප්‍රංශයේ පැරිස් කිව්වහම අයිෆල් කුළුණ මතක් වෙනව වගේ මැලේසියාවෙ ක්වාලාලම්පූර් කිව්වහම මතක් වෙන්නෙ කාලයක් ලෝකයේ උසම ගොඩනැගිල්ල විදිහට කිරුළ දරාගෙන හිටපු “පෙට්‍රෝනාස්” නිවුන් කුළුණුනෙ.

KL ගියහම යන්නම ඕනෙ තැනක් තමයි මෙතන. පෙට්‍රෝනාස් ඉඳිකරල තියෙන්නෙ KL වල තියෙන KLCC Park කියන උද්‍යානයේ. (KLCC කියන්නෙ Kuala Lumpur City Center කියන එකට) ඉස්සර මේ KLCC Park එකේ තිබිල තියෙන්නෙ තුරඟ තරඟ පිටියක්. පෙට්‍රෝනාස් එක්ක තමුන්ගෙ photo එකක් ගන්න දවසකට ගොඩාක් සෙනඟ එනව. රෑට light දැම්මහම පුදුම ලස්සනක් තියෙන්නෙ. කොහොමද මේකෙ උඩට නඟින්න තියෙනවනම්. ඔව් පුළුවන්; හැබැයි ඒ ගොඩනැඟිලි වල උසෙන් භාගයකට විතරයි. ඒත් මදැයි කිසිම මුදලක් ගන්නෙ නැතුව ඔච්චරක් හරි යන්න දෙනව. හැබැයි හැම වෙලාවෙම යන්නත් බැහැ. උදේ 9 විතර ඉඳන් හවස 3 විතර වෙනකං සීමිත පිරිසකට තමයි එක දවසකට මේ අවස්ථාව හම්බ වෙන්නෙ. මට මතක විදිහට අපි උදේ 6 විතර ඉඳන් පෝලිමේ හිටිය 9ට ඇතුලට පැන ගන්න ticket ගන්න. හැබැයි ඒ අත්දැකීම නම් නියමයි. පෙට්‍රෝනාස් බලන්න එන සංචාරකයන්ට හදපු වැඩසටහනකුයි, ඒකට පත් කරපු කාර්යය මණ්ඩලයකුයි වෙනමම තියෙනව. වටිනාම දේ තමයි මේ ඔක්කොම පහසුකම් ඒගොල්ලො ඒ සංචාරකයන්ට දෙන්නෙ නොමිලයේ වීම.

Sky-Bridge එකට යන්නෙ මෙන්න මේ අධිවේගී විදුලි සෝපානයෙන් තමයි

Sky-Bridge එකට යන්නෙ මෙන්න මේ අධිවේගී විදුලි සෝපානයෙන් තමයි

මුලින්ම මේ අයගෙ ආයතනය වෙන “පෙට්‍රෝනාස්” කියන මැලේසියාවෙ තෙල් අධිකාරිය ගැනයි, මේ ගොඩනැඟිල්ලෙ ඉතිහාසය ගැනයි වාර්තා වැඩසටහනක් පෙන්නනව. ඊට පස්සෙ කොටස් වශයෙන් ඉන්න කට්ටියව හරියටම ගොඩනැඟිලි වල උසෙන් භාගයකදි ගොඩනැඟිලි දෙක යාකරන්න හදල තියෙන sky-bridge  එකට එක්කගෙන යනව. එතන මිනිත්තු 10ක් විතර ඉඳල ඇතිවෙනකම් photo ගහල වට පිටේ බලල ආපහු පල්ලෙහාට එන්න පුළුවන්.

පහල තව බලන්න ගොඩක් දේවල් තියෙනව. මේ ගොඩනැඟිලි ගැන නොයෙකුත් විස්තර තියෙන Digital Audio-Video Library එකකුත් තියෙනව. ඒක නම් මැක්ස. එතනදි නියම ආතල් එකක් වගේම නියම විස්තර ටිකකුත් දැන ගන්න පුලුවන්. ඔය Digital Library එකෙන් එලියට එනකොටම පෙට්‍රෝනාස්වල  සමරු ගන්න නොයෙකුත් ජාතියෙ සමරු තියෙන shop එකකුත් තියෙනව.

Sky- Bridge එකේ ඉඳන් පහළ බැළුවහම

Sky- Bridge එකේ ඉඳන් පහළ බැළුවහම

මට මතක විදිහට පෙට්‍රෝනාස්වල ඔක්කොම දේවල් බලල ඉවර කරන්න පැය 3ක්වත් යනව. ඕනෙ නම් එලියට ඇවිත් KLCC Park එකේ රවුමක් යන්නත් පුලුවන්. ඔය KLCC Park එක පෙට්‍රෝනාස් background එක විදිහට තියෙන photo ගන්න කියාපු තැන!

මීළඟට Aquaria KLCC මින් මැදුර ගැනයි KL Tower එක ගැනයි ලියන්නම්.

Advertisements

KL (ක්වාලාලම්පූර්) යමු! – 1 කොටස

ලංකාවෙ ගොඩක් අයට ගුවන් ගමන් මහ ලොකු දෙයක් වෙන්න ලංකාවෙ තියෙන ගුවන් සමාගම් වලින් නිකුත් කරණ ටිකට්වල ගාණ හුඟක් සැර වීමත් එක හේතුවක් කියල මට හිතෙනෙව. ඒත් දැන් කටුනායක ඉඳන් මැලේසියාවට “බජට්” ගුවන් සේවයක් ක්‍රියාත්මක වෙනව කියල ආරංචියි. ඒක නිසා අපේ කට්ටිය මැලේසියාවෙ යනවනම් ප්‍රයෝජනවත් වෙයි කියල  මැලේසියාවෙ අගනුවර වෙන ක්වාලාලම්පූර් ගැන මගෙ අත්දැකීම් වලින් විස්තර ටිකක් ලියන්න හිතුව.

අනෙක් රටවලට සාපේක්ෂව ගත්තහම මැලේසියාව කියන්නෙ සාමාන්‍යයෙන් වියදම් අඩු රටක්; ඉන්න හිටින්න වගේම කෑම බීමත්. එහෙ මුදල් ඒකකය වෙන්නෙ “මැලේසියානු රිංගිට්”; සාමාන්‍යයෙන් රිංගිට් එකක වටිනාකම ලංකාවෙ රුපියල් 35ක් වගෙ වෙනව.

KL යන්න ඉස්සෙල්ල මුලින්ම කරන්න ඕනෙ ගිහින් නවතින්න තැනක් හොයාගන්න එක. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේ වෙබ් අඩවියෙන් KL වල ලාභෙට නවතින්න පුලුවන් තැන් හොයාගන්න පුළුවන්. ඒත් ගොඩක්ම ගණන් අඩු තැන්වලට යන්නත් එපා. මොකද ඒවයෙ ගණන් ගොඩක්ම අඩු; එක්කො ඒවයෙ තියෙන පහසුකම් ගොඩක් අඩුයි; නැත්නම් තියෙන්නෙ හොයාගන්න අමාරු තැනක. කෑමනම් ආපනශාල වලින් කන්න පුලුවන්. මතක තියාගන්න ඕනෙ විශේෂම දෙයක් තමයි ආරක්ෂාව.

ක්වාලාලම්පූර් නගරය ඈතට පෙනෙන ආකාරය

ක්වාලාලම්පූර් නගරය ඈතට පෙනෙන ආකාරය

මැලේසියාවෙ කොහේ ගියත් තනියම යන්න හොඳම නැති රටක්; විශේෂයෙන්ම රෑට. ඒක නිසා යන තැනක කට්ටිය එක්ක යන එක තමයි ඇඟට ගුණ; අනෙක් කාරණය තමයි වටිනා කියන දේවල් පුළුවන් තරම් නැවතිලා ඉන්න තැන තියෙනල එන එක තමයි හොඳ.

KL නගරය ඇතුලෙ එහා මෙහා යන්න නම් ටැක්සියක් පාවිච්චි කරන එක තමයි හොඳම option එක. මලක්කා වගේ වෙනත් නගර වලට යනවනම් බස් එකේ යන්න පුළුවන්.

“පුදුරයා” තමයි KL වල ප්‍රධාන බස් නැවතුම්පොළ. මැලේසියාවෙ මලයා කියන කොටසෙ තියෙන හැම ප්‍රධාන නගරයකටම වගේ මෙතනින් බස් තියෙනව. ලංකාවෙ වගේ නෙමෙයි එහෙ බස් ක්‍රියාත්මක වෙන්නෙ “සමාගම්” වලින්. ඒ කිව්වෙ හැම ප්‍රධාන බස් නැවතුම්පොලකම වගේ එතනින් තවත් තැන්වලට බස් ධාවනය කරන බස් සමාගම් වල කවුන්ටර් තියෙනව. ඒවායෙන් අපිට ඕනෙ ටිකට් ගන්න පුලුවන්. ටිකට් ගන්න ඉස්සෙල්ල පොඩ්ඩක් ඇවිදල බලල තමුන්ට යන්න ඕනෙ තැනට අඩුම ටිකට් තියෙන තැනින් ගන්න එක තමයි හොඳ. මතක තියාගන්න ඔනෙ දෙයක් තමයි කොයිම වෙලාවකවත් වැහි වැහැල ඉන්න තැරව්කාරයන්ගෙන් ටිකට් ගන්න එපා; අදාල කවුන්ටරයකින්ම ගන්න එක තමයි ඇඟට ගුණ.

නගරයක් වශයෙන් KL කියන්නෙ ගොඩක් විශාල බලන්න ගොඩක් දේවල් තියෙන නගරයක්. හැබැයි සමහර පැති ගොඩක්ම අපිරිසිඳුයි. KL වල මම දන්න විදිහට බලන්න යන්න තියෙන තැන් කීපයක් ගැන මම පස්සෙ ලියන්නම්. අන්තිමට ගිය සැරේදි දැනගත්ත ලංකාවෙ පන්සලකුත් තියෙනව කියල. හැබැයි මටනම් යන්න පුළුවන් වුනේ නැහැ. ඊළඟ පාර ගියහම යන්න ඕනෙ.

නිකං ඉන්න බැරිවට

දැන් මේ මුහුදු ගිහින් ආව විතරයි. මුහුදු ගියා කිව්වෙ මාළු අල්ලන්න නම් නෙමෙයි. අපි රස්සාව කරන්නෙ ඉතින් මුහුදෙ පාවෙන යන්තරවල තමයි.

ඉස්සර මම බෝට්ටුවල යන්න ටිකක් විතර චකිතයක් තිබුන. මුහුදෙ යන්න නම් ඊටත් වඩා. මුහුද කියන්නෙ දෙයියනේ ලෙහෙසි පහසු තැනක් නෙමෙයිනෙ; බැරිවෙලාවත් ඉතින් වැටුනොත් sorry.com තමයි. ඒත් දැන්නම් ” මුහුද මගේ ගොඩබිමයි………… බෝට්ටුව නිවසට සමයි………..”

මුහුදු හුළඟ කියන්නෙ අප්පා මිළ කරන්න බැරි සම්පතක්! මහන්සි වෙලා ඉන්න වෙලාවට මුහුදු හුළං පාරක් වැදෙනකොට තියෙන්නෙ පුදුම සනීපයක් .

මුහුදු හුළං පාරක සනීපය විඳින්න මුහුදු යන්නම ඕනෙ කියල මම නම් හිතන්නෙ නැහැ. ඒත් ඒකෙ තියෙන නියම සුවඳ මටනම් දැනෙන්නෙ මුහුදෙදි තමා.

මෙහෙ මිනිස්සුන්ට රටේ ඉඩ නැතිනිසා මුහුද ගොඩ කරනව. ඒත් අපේ මිනිස්සු? අපේ රට වටේම තියෙන මුහුදෙ අපිට අගයක් නැතිවෙලා. රස වගේම ගුණෙනුත් පිරිච්ච මුහුදු පැළෑටි කාලෙ තියෙන්නෙ අපේ කීයෙන් කීදෙනාද? අපේ රට වටේ තියෙන මත්ස්‍ය සම්පතෙන් ධීවර කර්මාන්තය කොච්චර දියුණු කරන්න පුලුවන්ද? වැඩිය ඕනෙ නැහැ කකුළුවොම export කරන්න පුලුවන්නෙ දෙයියනේ!  මම හිතන්නෙ අපේ මිනිස්සුන්ට තියෙන්නෙ ඕනෙ නැතිකම. මුහුද විතරක් නෙමෙයි අපේ රටේ තියෙන ගොඩක් දේවල්වල අපිට අගයක් නැතිවෙලා.

මෙහෙ මිනිස්සුන්ට අපි ලංකාවෙන් කිව්වහම අපෙන් අහන්නෙ සීගිරිය, පොලොන්නරුවෙ ගල් විහාරෙ පිළිම, යාල, දළදා මාලිගාව, සිරීපාදෙ, අලි ඇත්තු, ත්‍රිකුණාමලය වරාය ගැන. ඒත් අපේ අයගෙන් කීයෙන් කීදෙනාටද ඔය දේවල් ගැන හොඳට විස්තර ඇතුව පිටරට අයට විස්තර කරල දෙන්න පුලුවන්? ඒ තියා ඔය තැන් ඔක්කෝටම ගිහින් තියෙන්නෙ කීයෙන් කීදෙනාද? සමහර අපේ කට්ටියට වඩා මේ රටවල ඉන්න අය අපෙ රටේ දේවල් ගැන දන්නව.

ලෝකෙ ගොඩක් රටවලට නැති අතීතයක්, ඒ අතීතය ගැන කියන ජීවමාන සාක්ෂි ගොඩක් අපිට තියෙනව. ස්වාභාවික සම්පත්? ඒවත් ඕනෙ තරම්. මම දැක්ක කවුද කියල තියෙනව ලංකාවෙ නැත්තෙ රත්තරං විතරයි කියල. ඒක මම දන්න විදිහටනම් වැරදියි. මොකද සැමුවෙල් බේකර්ගෙ Eight Years’ Wanderings In Ceylon  කියන පොතේ පැහැදිලිව තියෙනව නුවරඑලිය ආශ්‍රිත ප්‍රදේශවලින් රත්තරං හොයාගත්ත හැටියි; කෝට්ටෙ පැත්තෙන් රිදී හොයාගත්ත කතාවකුයි. ඒ ඇරත් ඔය වලවේ ගඟ ආශ්‍රිතව තවමත් ඉඳල හිටල “දිය රත්තරං ගරන” එක ගැන මම අහල තියෙනව.

දැන් යුද්දෙත් ඉවර වෙලා තියෙන එකේ නැගෙනහිර පළාතෙ නිලාවේලි මුහුදු තීරය, ආරුගම්බේ වගෙ හැංගිලා තිබුන තැන් ටිකක් උලුප්පල ආපහු අපේ රටෙ සංචාරක කර්මාන්තෙ නඟා හිටුවන්න මොනවහරි කරන්න ඕනෙ කියල තමයි මගෙනම් අදහස. ඇයි ඒ විතරක්ද? කකුළුවො export කරලත් හොඳ ගාණක් හොයාගන්න පුලුවන් වෙයි මගෙ හිතේ. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට මුලින්ම කන්න දීල!

නැත්නම් තේ වලට වුනා වගේ ඔක්කොම හොඳ ඒව රට පටවල අන්තිමට අපේ මිනිස්සුන්ට ඉතුරු වෙන්නෙ රොඩු ටික විතරක් වෙයි. රොඩුවත් හම්බ වෙනවනම් මදැයි; තේ කුඩු කියල යකඩ කුඩු විකුණන අයියලනෙ අපේ ඉන්නෙ!

කැළෑ වැදීම

ෆිට් එකේ එක දිගට කරගෙන යනව කියල මුලින් හිතාගෙන පටන් ගන්න බොහොමයක් දේවල් අපි ටික කාලෙකින් අතෑරල දානව. අනේ මන්ද කොච්චර කළත් ඔච්චර තමයි. මගෙ බ්ලොග් එකටත් එහෙම වෙයිද මන්ද. පටන්ගන්නකොට තිබුන “ගෝ” එක දැන් අඩුවේගෙන යනව. ඒ මදිවට මාත් එක්ක වැඩකරන එකා හදිස්සියෙම ලංකාවට ගියා. දැන් උගෙ වැඩත් ටිකක් බලන්න ඕනෙ. මොනව උනත් දිගටම ලියන්න තමයි කල්පනාව “කැළෑ වදින්නෙ” නැතුව.

නිදිකුම්බා

“නිදිකුම්බා” කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නෙ කටු තියෙන තට්ටු කළාම ඇකිලෙන පොඩි පැළෑටියක්නෙ. අපි දැකල තියෙන නිදිකුම්බා මල රෝස පාට එකක්නෙ; ඒත් කහ පාට නිදිකුම්බා මලක්? ඔව් තියෙනව. මම මේ කහ පාට මල් පිපෙන නිදිකුම්බා දැක්කෙ සිංගප්පූරුවෙ තියෙන “ටෙකොං” කියන දූපතේදි. මේ පැළෑටියෙ මල රෝස පාට නිදිකුම්බා මලට වඩා ටිකක් ලොකුයි. කොළවල පාටත් ටිකක් තදයි.

රෝස නිදිකුම්බා

රෝස නිදිකුම්බා

kaha nidhikumbaa

කහ නිදිකුම්බා

රට ගිහින් උඩ යෑම

ඊයෙ හවස මෙහෙ (සිංගප්පූරුවෙ) තිබුන ලාංකීය සංගීත සැන්දෑවක්; ඒක සංවිධානය කරල තිබුනෙ මෙහෙ ව්‍යාපාරයක් කරගෙන යන ලංකාවෙ ඇත්තෙක්. ඇත්තටම ඒ ප්‍රසංගය හුඟක් හොඳ එකක්. වෙනත් රටකදි මේ වගේ අත්දැකීමක් ලැබෙන එකත් ගොඩක් වටිනව. කාලෙකට පස්සෙ තමයි මම ශාස්ත්‍රීය ප්‍රසංගයකට ගියේ; මට මතක විදිහට අන්තිමට මම ගියේ අපේ මොරටුව කැම්පස් එකේ මමත් සාමජිකයෙක් වුනු සිංහල සංස්කෘතික සංගමයෙන් කල “ප්‍රතිභා” ප්‍රසංගයට.

මට මේක ලියන්න හිතුනෙ ඊයෙ ඔය කියන ප්‍රසංගෙදි මම දැකපු එක සිද්ධියක් නිසා.  ඔය ප්‍රසංගයට නිකුත් කරල තිබුන අවසර පත්‍රනම් ටිකක් ගණං. ඒක නිසා මෙහෙ ඉන්න ටිකක් ඇති හැකි අය තමයි ඕකට ආවෙ. ආපු ගොඩක් අය මෙහෙ ඉඳන් ව්‍යාපාර කරන අය; නැත්නම් මෙහෙ ස්ථීර පදිංචිය ගත්ත අය. මම බෞද්ධයෙක්. අපේ පූජ්‍ය පක්ෂය වෙන මහා සංඝ රත්නයට; අපේ ගමේ බාසාවෙන් කියනව නම් අපේ හාමුදුරුවන්ට ඉඳගෙන ඉන්න තැනින් නැඟිටල ආචාර දැක්වීම චාරිත්‍රයක් වශයෙන් අපි කරන දෙයක්නෙ. ඊයෙ ඔය තිබුන ප්‍රසංගයටත් සිංගප්පූරුවෙ තියෙන අපේ පන්සල වෙන “ශ්‍රී ලංකාරාමයෙ” හාමුදුරුවරු දෙනමක් වැඩිය. හාමුදුරුවන්ට ආසන පනවල තිබුනෙ ඉස්සරහම පුටුවල.

ඔන්න දැන් ප්‍රසංගය පටන්ගන්න ඉස්සෙල්ල හාමුදුරුවො වැඩිය කියමුකො. ශාලාව ඇතුලෙ හිටිය මම දැකපු  කිසිම කෙනෙක් නැඟිට්ටෙ නැහැ. කට්ටිය හරි බරි ගැහිල වාඩි වෙලා හිටපු විදිහටම ඔහේ හිටය! අනේ මෙහෙව් ලෝකයක්! මම හිතන විදිහට ලංකාවෙන් ඒගොල්ලන්ගෙ පංචස්කන්ධයත් එක්ක ප්ලේන් එකට නැග්ග හිත සිංගප්පූරුවෙදි බිමට බැහැල නැහැ. කඳවල් පොලොවෙ තිබුනට තවම එයාලගෙ හිත් තියෙන්නෙ අහසෙ.

මම දන්න විදිහට මෙතන හිටපු අයගෙන් බොහොමයක් අය බෞද්ධ; මෙහෙ තියෙන පන්සලෙත් දායකයො. මේ වගෙ පොඩි චාරිත්‍රයක්වත් කරන්නෙ නැතුව මහ ලොකුවට බෞද්ධ වෙලා වැඩක් නැහැ නේද?

ගුණදාස කපුගේ ශූරීන්ගෙ සින්දුවකත් තියෙන්නෙ ” අහස උසට නැඟ ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නෙ….අහසෙ මාලිගා තැනුවට අපි පොලොවේ සිටින්නෙ…” කියල.

කුඹුරු වැඩ

දැන් නම් ලංකාවෙ ගොයං කපන කාලෙත් ඉවර වේගෙන එනව ඇති. ලංකාවෙ ඉන්න කොට යන්න set වෙන ගොයං කැපිලි 2 ක් තිබුණ. එකක් තමයි අපේම ගොයං කැපිල්ල, අනෙක මගෙ යාළුවෙක්ගෙ ගොයං කැපිල්ලක්.

7989536

යාළුවගෙ ගොයං කැපිල්ලට යන්න වෙන ප්‍රධානම හේතුවක් තමයි මම ඉස්සෙල්ල කිව්ව වගේ වාසනා චොකලට් කේක් කන්න හම්බ වෙන එක. අපේ ගොයං කැපිල්ලට යන්න ප්‍රධානම හේතුව තමයි ගෙදරින් බර බරේ දාන එක. හැබැයි තව හේතුවකුත් තියෙනව; ඒක තමයි “ජම්බෝල” කන්න හම්බවෙන එක. අපේ කුඹුර ලඟ තියෙන වත්තක හෙන විශාල ජම්බෝල ගහක් තියෙනව. ඇස්වහක් කටවක් නැහැ කොයි වෙලේ බැළුවත් ඔය ගහේ ජම්බෝල පිරිල.

අපි ඉතින් කුඹුරු වැඩ වලට ගියහම සැලකිය යුතු වෙලාවක් ගත කරන්නෙ ජම්බෝල කඩන්න තමයි. එක්කො පොලු වලින් ගහනව; නැත්නම් වැටිල තියෙන පරණ ගෙඩි වලින් ගහනව. කොහොම හරි ආපහු අපි එන්නෙ ඉහෙන් කණෙන් ජම්බෝල එල්ලගෙන.

කුඹුරු වැඩ වලින් එපාම කරපු වැඩේ තමයි වපුරන්න set වෙන එක. දවසම වගේ මඩේ බැහැල තමයි ඉන්න වෙන්නෙ. අපි කුඹුරු වලට බහින්නෙ ඉඳල හිටල නිසා වැපුරුව දවසට පහුවෙනිදට කකුල් වලට sorry තමයි!

ඊට පස්සෙ එපාමු කරපු වැඩේ තමයි කැපුවට පස්සෙ ගොයං ඇදිල්ල. යටි පැදුරු වලට කපපු ගොයං එකතු කරගෙන ගොයං කොළේ ගහන තැනට යන්න ඔනෙනෙ. ගොයං කොලේ ළඟ තැනක ගහනව නම් එච්චර අවුලක් නැහැ. හැබැයි ඕක ටිකක් දුරකනම් තියෙන්නෙ නියම rag එක. කපනකොට හරි කපල දාල තියෙන කොට හොඳ වැස්සක් වැස්සොත් ඉතින් ඔය ගොයං අදින එක මරු ආතල්! ඒක එතකොට දෙවෙනි වෙන්නෙ බර ඉසිලීමේ ක්‍රීඩාවට තමයි; වෙනසකට තියෙන්නෙ බර උස්සනවට අමතරව ඕක උස්සගෙන ඇවිදින්නත් ඕනෙ එක. ඊටත් වඩා නියම ආතල් එක තමයි ඉහෙන් කණෙන් වතුර බේරෙන එක.

“බොසේ” කිව්වහම අපේ පැත්තෙ කවුරුත් දන්න “කොළ මඬින යන්ත්‍රය” තියෙන නිසා ගොයං පාගන එක දැන් එච්චර ගේමක් නෙමෙයි. ( පොඩි කාලෙ එක වතවක් අපේ නැන්දලගෙ ගෙදර මී හරක් දාල ගොයං පාගනව මට ලාවට වගේ මතකයි.)

කුඹුරු වැඩ වලින් ලේසිම වැඩේ තමයි ගොයං කපන එක. හැබැයි ලේසියි කිව්වට ලේසිමත් නැහැ; ඒකෙ කලාව ඉගෙන ගන්න ඕනෙ; ඊට පස්සෙ හරි. හරියට දෑකැත්ත අල්ලන හැටි, බැත කපන හැටි ඉගෙන ගත්තෙ නැත්නම් ඉතින් අතේ ඇඟිලි වලට sorry තමයි. මගෙ නම් කීප වතාවක්ම දෑකැත්තට ඇඟිලි කැපිල තියෙනව.

මම ආසම කරන වැඩේ තමයි පාගල ඉවර කරපු ගොයං අත් ට්‍රැක්ටරෙ පටවගෙන ඕක උඩ නැඟගෙන ආපහු ගෙදර යන එක. ඔහොම යන්නෙ නිකං නෙමෙයි; කඩපු ජම්බෝල ගෙඩියක් කකා තමයි. මඟදි හම්බ වෙන ගමේ යාළුවන්ටත් බෙදන්න තරම් ඇති වෙනකම් ජම්බෝල stock එකක් තියෙන නිසා හතර වටේටම බෙදනව.

ඔන්න ඊට පස්සෙ දවසක තාත්ත කතා කරන්නෙ වී හුළං කරන්න. ඕක නම් මඟ අරින්න තමයි හැමදාම try කරන්නෙ. මොකද කාටුව නාන්න වෙන හින්ද. වී කාටුවට මුළු ඇඟම කහන්න ගන්නව; සමහර වෙලාවට පළුත් දානව.

මම ජීවිතේට කාල තියෙන හොඳම කෑම වේල කෑවෙත් අඳුරන අයිය කෙනෙකුගෙ ගොයං කයියකදි. එදා දවල්ට කන්න වුනේ ගොයං කපල, ඇදල, කොළෙත් ගැහුවට පස්සෙ. යකෙක් වුනත් කන්න පුලුවන් එදා තිබුන බඩගින්නට. කන්න තිබුනෙ මට මතක විදිහට, රතු කැකුළු බතුයි, මඤ්ඤොක්කයි, කට්ට කරෝල හොද්දකුයි, මෑකරල් ව්‍යාංජනයකුයි. රතු ළුණුයි බැදපු මිරිස් කරළුත් තිබුණද කොහෙද! අන්න කෑම; මතක් වෙනකොටත් කටට කෙළ උණනව!

දැන්නම් කුඹුරු වැඩ මතක් වෙනකොටත් මාර ආසාවක් තියෙන්නෙ. මේ සිංගප්පූරුවෙ මොන කුඹුරු වැඩද?

Previous Older Entries