Dis is Singලිෂ් lah……………

සිංගප්පූරුවට එන කට්ටියට අත්දකින්න ලැබෙන නියම experience එකක් තමයි මේගොල්ලන් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාව. ඒ තමයි Singlish! මේක හැදිල තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට වටේ පිටේ තියෙන මැලේ, චීන මැන්ඩ්‍රින්, චීන හොකේන් වගේ භාෂාවලින් එක එක කොටස් එකතු වෙලා.

ටික කලක් යනකං මෙහෙ මිනිස්සු කියන්නෙ මොනවද කියල හිතාගන්න බැහැ. මුල් කාලෙදි මේ ගොල්ලො කියන ඒවයෙ ටිකයි තේරෙන්නෙ; අනෙක් ටික මොනව කියනවද මන්ද!

හැම වාක්‍යයකට පස්සෙම “ලා……….” ගානව! පිස්සුද මන්ද! අපි “can’t” කිව්වහම උඩ බිම බලනව! ඒ අය කියන්නෙ “canno….t”! වාහනවලයි, ගෙවල් ව්ලයි තියෙන්නෙ “A..-con”. හැම වෙලාවෙම “correct-or-not”!

ටික කාලයක් ගියහම Singlish වලට හුරු වෙනව; එතකොට එච්චර ගාණක් නෑ! ඒත් ඉතින් මුල් කාලෙදි වෙච්ච පටලැවීම් මතක් වුනහම තාමත් හිනා!

මූණු පොත

Facebook කියන්නෙ දැන් අන්තර්ජාලයේ සැරිසරන අපේ කට්ටියට නැතිවම බැරි දෙයක්නෙ. සමහරු ඕකට ඇබ්බැහි වෙලා කිව්වොත් වරදක් නැහැ. ගෙදර ගියත්, කාර්යාලයේදිත් ඕකෙම එල්ලිලා ඉන්න අය ඕනෙ තරම්. ඒක නිසාම සමහර ආයතනවල තියෙන network වලින් Facebook යන එක block කරල.

ඕනෙම දෙයක හොඳ වගේම නරකත් තියෙනව. මම ලඟදි පත්තරේක දැක්ක Facebook හින්ද වෙච්ච මිනීමැරුමකුත්. අනේ මන්ද මිනිස්සු ඔච්චරම ඕකෙම එල්ලිලා ඉන්නෙ ඇයි කියල. ( ඔය කිව්වට මමත් දවසකට සැලකිය යුතු වෙලාවක් ඕකෙ ගත කරනව! ) එක එක අය Facebook වල කරන්නෙ එක එක දේවල්. සමහරු chat කරනව, තවත් අය වගා කරනව, සමහරු තමුන්ගෙ friend list එකට add කරගන්න ඇහැට කණට පේන අයට friend request යවනව; නානාප්‍රකාර වැඩ කෝටියයි!

Facebook එකෙන් ඇත්තටම ලොකු සේවයක් වෙන වෙලාවලුත් තියෙනව; තමුන්ට කාලෙකින් මුණ නොගැහුන පරණ යාළුවො එක්ක set වෙන්න; ‍යාළුවන්ගෙ ජීවිතවල සිද්ධවෙන විශේෂ අවස්ථා වල photo බලාගන්න වගේ දේවල්.

ඒත් දැන් ඉතින් බොහොමයක් කට්ටිය Facebook එක පාවිච්චි කරන්නෙ අනෙක් අයට මඩ ගහන්න. ඕකට ඉතින් මගෙ බඩ බැඳගත්ත යලුවෙක් හෙණ ප්‍රසිද්ධ application එකකුත් හදල තියෙනවනෙ. ඊට අමතරව අනෙක් අය post  කරන photo වලට නෝන්ඩි වෙන comments දාන එක දැන් fashion එකක් වෙලා! ඕකෙං මේකෙං කාගෙ කාගෙත් රෙදි ප්‍රසිද්ධියෙ ගලෝ ගන්න එක තමයි කරගන්නෙ.

මේකත් මම දන්න කියන ඇත්තෙකුට Facebook නිසා වුන විපැත්තියක්. ඒ ඇත්තා කන්න වගේමත් “බොන්නත්” හොඳ නමක් තියෙන එක්කෙනෙක්; ඊටත් වඩා තනිකඩයෙක් (ඒක නිසා කන බොන වැඩ වලට බාල්දි වැටුනෙත් නැහැ) “බිව්වහම” මරු! එයාගෙ වටපිට ඉන්න සහචරයො ඔය ඇත්තා කන බොන අවස්ථාවලදි ගත්ත photo ඇති පදමට album ගණන් Facebook එකට පැටෙව්ව; ඒ මදිවට හොඳ රසකතාත් ඔය photo වලට comment විදිහට ඇමිණුව. ලොක්කත් ඉතින් ඒවට හායි හූයි කිය කිය හිටිය.

ඔන්න මනුස්සය පෙරුම් පුරාගෙන හිටිය අවස්ථාව උදාවුනා. ඒ කියන්නෙ කරකාර ගන්න ස්ත්‍රී පරාණයක් හොයාගන්න එක.

ඒ ඇත්තගෙ සමාජ තත්ත්වයට ගැලපෙන, ලස්සන, තැන්පත්, ගුණ යහපත් බවලතෙකුත් ඔන්න හම්බවුනා. අපේ මිනිහත් කැමතියි, බවලතාත් කැමතියි. ඔන්න දවසක් ඔය බවලතා Facebook එකේ අපේ ඇත්තගෙ photo බලන්න set වුනාලු. බොහොමයක්ම තියෙන්නෙ කාල බීල ඉන්න photoලු! කිරි අප්පට බල්ලො පැනපි! බවලතා අපේ ඇත්තා ගැන තියෙන idea එක delete කොළා කියල පස්සෙ ආරංචිවුනා! මිනිහත් ගොඩක් කාලයක් ඕකට upset ගහල හිටියෙ මොකද, මිනිහ ඒ බවලතාට ගොඩක් කැමැත්තෙන් තමයි හිටියෙ!

මේව අපි කාට කාටත් හොඳ පාඩම්. මොකද අපි නොහිතා කරන දේවල් වලින් අනෙක් අයගෙ ජීවිත වලට සමහර වෙලාවල් වලදි ලොකු ලොකු බලපෑම් වෙන්න පුළුවන්. ඒක නිසා Facebook වගේ දැන් හැමෝම ගැවසෙන web-site වලදි වගකීමෙන් වැඩ කරන්න ඕනෙ කියල තමයි මම හිතන්නෙ.

පසු ලිවීම : අපේ ඇත්තට ආපහු හොඳ කටයුත්තක් set වෙලා කියල කණෙන් කොණෙන් ආරංචියක් ආව. ඒකවත් ඉස්සෙල්ල වුනා වගේ අලකලංචි නැතුව හරියන්න කියල මම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනව.

Sri Lankan Crabs

Black Pepper Sri Lankan Crab

A Black Pepper Sri Lankan Crab Dish

සිංගප්පූරුවෙ කට්ටියට Sri Lankan කිව්ව ගමන් ඊළඟට කියවෙන්නෙ Crabs කියල. ඒ තරම් අපේ රටේ කකුළුවො මෙහෙ ප්‍රසිද්ධයි. බාල -මහළු, ගෑණු-පිරිමි කියල වෙනසක් නැහැ මෙහෙ කට්ටිය Sri Lankan Crabs කන්න පුදුම ආසාවක්නෙ තියෙන්නෙ. මෙහෙ තියෙන අවන්හල්වල Menu එකේ ඉහලින්ම තියෙන කෑමක් තමයි ඕක.

මෙහෙ ඉන්න අපේ අයයි මෙහෙට එන අපේ අයයි ඉතින් ගිහින් රස කර කර Sri Lankan Crabs කනව! එයාලටත් ඉතින් සිංගප්පූරුවටම එන්න ඕනේ කකුළුවො කන්න!

පිණි වැස්ස

මේ එක ගත්තෙ අපේ ගෙවත්තෙදි. ඒකත් ඉතින් ඔය “ඡායාරූපකරණය” පිස්සුව හැදීගෙන එන දවස් වලදි. මුලදිම ගත්ත photo එකක් වුනත් “Macro” ගණයට දාන්න පුලුවන් හොඳ එකක් කියල මට හිතෙනව. පාවිච්චිකලේ  Fujifilm FinePix S5100 කියන කැමරාව.

පැය එකහමාර

මේක ඊයෙ පෙරේද අපේ ඔෆිස් එකේ අයියල සෙට් එකකට වෙච්ච සීන් එකක්.

අගෝස්තු 9 සිංගප්පූරුවෙ නිදහස් දවසනෙ. ඕක මෙදා පොටේ වැටිල තිබුනෙ ඉරිදාවක නිසා ඊට පහුවෙනිද ඒ කියන්නෙ සඳුද ඒ වෙනුවට නිවාඩු දුන්න. මෙහෙ ඉතින් ලංකාවෙ වගේ නෙමෙයි, නිවාඩුවක් තියෙන්නෙ අවාරෙට කජු වැටෙන්න වගේ. ඔන්න අපේ අයියල සෙට් එකක් මැලේසියාවෙ යන්න සෙට් වුනා. ටිකක් “enjoy “කරන්නත් ඕනෙ නිසා වැඩි දුර යන්නෙ නැතුව සෙට් වුනේ මලක්කා යන්න.

කට්ටය මලක්කා ගියා කියමුකො. කට්ටිය “enjoy” කරන්න පටන් අරගෙන ටික වෙලාවකින් ඕං ඔරලෝසු කණුවක් ලඟට ආපි. වෙලාව 7යි! එක්කෙනෙක් අතේ බැඳල තියෙන ඔරලෝසුවෙ වෙලාව බැළුව.

“දැන් සිංගප්පූරු වෙලාව රෑ 8 1/2 යිනෙ!”

එතන හිටපු තව එක්කෙනෙක් ගාණකටවත් ගන්නෙ නැතුව කියපි ” ඔව් මල්ලි පැය 1 1/2ක වෙනසක් තියෙනව!”

කට්ටිය ඉතින් ඕන් ආපහු මලක්කව enjoy කරන්න පටන්ගත්ත. දැන්නම් කට්ට කළුවරයි! අතේ බැඳල තියෙන ඔරලෝසුවෙ වෙලාව පාන්දර 2යි ගාණක්. ඔන්න කට්ටිය ආපහු එනකොටත් අර ඔරලෝසු කණුවම සෙට් වුනා. එතන හිටිය එක්කෙනෙක් ආපහු නිකමට වගේ ඔරලෝසු කණුවෙත් වෙලාව බැළුව!

“අයියෙ මේකෙ වෙලාව තාමත් 7යිනෙ!”

ඊට පස්සෙ රටවල් දෙකේ වෙලාව පැය 1 1/2ක්  වෙනස් කිව්ව අයියට වෙච්ච දේවල් ටික හිතාගන්න පුළුවන්නෙ?

පසු ලිවීම: රටවල් දෙකේ වෙලාවේ වෙනසක් නැහැ!

වාසනා චොකලට් කේක්

මේක ලියනවද නැද්ද කියල කීප පාරක්ම හිතල ඒත් ඔන්න ඔහේ ලියල දාන්න හිතුව. මොකද මේක ඇඩ් එකක් කියල සමහරු හිතයි කියල හිතුන නිසා.

හොරණ, මතුගම, අඟුරුවාතොට පැත්තෙ කවුරුහරි ඉන්නවනම් වාසනා කේක් කිව්වහම ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනෙ. විශේෂයෙන්ම චොකලට් කේක් එක.

මට මුලින්ම වාසනා කේක් කන්න හම්බවුනේ යාළුවෙකුගෙ ගොයං කැපිල්ලකට සෙට් වෙච්ච දවසක. එදා ගොයං කයියට මිල්ලනියෙ ඉඳන් ආපු කට්ටියක් ඔය වාසනා කේක් ගෙනැත් තිබුන. වැඩේ කියන්නෙ කොච්චර කෑවත් ඇතිවෙන්නෙ නැහැ. කොච්චර රහ වුනත් ගාණත් සාධාරණයි. සිංහල අළුත් අවුරුදු කාලෙටඔය කේක් ගන්න කඩේ ඉස්සරහ පෝලිමෙත් ඉන්න ඕනිලු. ඔයින් කොහොම හරි මට ඔය කේක් ජාතිය අල්ලල ගියා. අර යාළුවගෙ ගෙදර තියෙන ගොයං කැපිලි වලට ඔය කේක් එකනම් වැරදුනේ නැහැ; ඒ වගෙම මගේ පැමිණීමත් වැරදුනේ නැහැ.

ඔන්න ඔහෙම කාලය ගියා කියමුකො, පස්සෙ මට අඟුරුවාතොට තියෙන ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක රස්සාවක් හම්බවුනා. ඔන්න ඉතින් මට වාසනා කේක් කන්න නියම පොටක් තමයි පෑදුනේ. සෙනසුරාදාට වරුවෙන් වැඩ ඉවරවෙලා එන ගමන් බැල්ලපිටියෙ තියෙන වාසනා කඩෙන් චොකලට් කේක් කිලෝ 1ක් ගත්ත කියමුකො, හැබැයි ඉතින් ඕක ඉරිද දවල් වෙනකොට ඉවරයි. ඔන්න ඔහොමයි වැඩේ ගියේ. පස්සෙ ඉතින් මට මෙහෙ ජොබ් එක සෙට් වෙලා මම ආව. ඕකෙන් මේකෙන් වාසනා කේක් කන එකත් නැතුව ගියා. ඒත් අන්තිමට ආහපු ලංකාවට ගිය වෙලාවෙත් මම වාද්දුවෙ තිබුන මඟුල් ගෙදරක ගිහින් එනකොට ආහපු ඔය බැල්ලපිටියෙ කඩේට ගිහින් චොකලට් කේක් ගත්ත.

දැන්නම් කේක් ගොඩක් ගණන් ගිහින් වගේ. අමුද්‍රව්‍ය වියදම් ඉහල ගිය නිසා කේක්වල ගාණ වැඩිකරල කියල දැන්වීමකුත් තිබුන. අළුතින් පාදුක්කෙ තැපැල් කන්තෝරුව ඉස්සරහත් දැන් වාසනා කේක් කඩයක් තියෙනව මම දැක්ක. බිස්නස් නම් නැගල යනව වගේ. නැත්නම් අලුතින් කඩ දාන්න පුලුවනෑ?

මට හිටිගමන් මේ වාසනා කේක් මතක් උනේ, මම වාසනා කේක් කන්න පුරුදු වුන ගොයං කයිය පහුගිය දවසක තිබුන කියල ඒ යාළුව මට මූණු පොතේදි සෙට් වෙච්ච වෙලාවෙ කිව්ව නිසා. මේක කිසි විදිහකින්වත් වෙළඳ දැන්වීමක් නෙමේ; මට නිකං ලියන්න ඔනෙ කියල හිතුන නිසා ලිව්ව එකක්!

අලි පේර

අදනම් බ්ලොග් ලියන්න නියම දවස. අදහස් ගලාගෙන එනව. තවත් එකක් ලියන්න හිතුන නිසා ඔන්න ලියනව. මේ කථාව මමත් ඉගෙනගත්තෙ ඉරිද පත්තරේකට ආචාර්ය තිස්ස අබේසේකර ශූරීන් ලියපු ලිපියක් කියවල.

අලි පේර

අලි පේර

අලි පේර කිව්වහම ඉතින් ඔය හැමෝම දන්නවනෙ. ඕකට කියන ඉංග්‍රීසි නම මොකක්ද?

ඔය “අලි පේර” හැදිල තියෙන්නෙ “අලිගැට පේර” කියන වචනෙ කොට වෙලා. එතකොට “අලිගැට පේර” කියන එක හැදුනෙ?

ඒක හැදිල තියෙන්නෙ අලි පේර වලට කියන නියම ඉංග්‍රීසි නමක් වෙන “Alligator Pear ” කියන නමෙන්. ( Avacado කියන නම තමයි හුඟක්ම ප්‍රසිද්ධ ඉංග්‍රීසි වචනෙ) ඒ නමේ ලොකු ගැලපීමකුත් තියෙනවනෙ නේද? මොකද ඔය අලි පේර ගෙඩියක් ගත්තහම ඇලිගේටරයෙකුගෙ (ඇමරිකානු මහද්වීපයෙයි චීනෙයි ඉන්න කිඹුල් විශේෂයක්) මූණ වගෙ නිසා. ඒ ඉතින් හමේ ස්වභාවය, පාට වගේ දෙවල් ගැලපෙන නිසා.

“Alligator Pear “ගෙන් “අලිගැට පේර” වෙලා, ඒක “අලි පේර” විදිහට කොට වෙලා ඕක “Elephant Guava ” වුනොත් අන්තිමට අලියයි, කිඹුලයි එක සතෙක් වෙයිද?

බෝවිටියා

බෝවිටියා (Osbeckia sp.) ලංකාවෙ ඉන්න හැමෝම දන්න මලක්. ඒ තරම් ඔය පැළෑටිය ලංකාවෙ හැමතැනම වගේ විසිරිලා තියෙනව. ගමක ගත්තොත් පඳුරක් ගාණෙ තියෙන පැළෑටියක්නෙ ඉතින්!  “දං, බෝවිටියා කැළේ මැදින්….” කියල මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන්ගෙ සිංදුවක පදයකුත් තියෙනවනෙ.

මේ බෝවිටියා මල මම දැක්කෙ කිරිගල්පොත්ත කන්ද මුදුනෙදි. ඒ කියන්නෙ වළාකුළු වනාන්තරයකදි. මේ photo එක මම ගත්ත photoes වලින් මම ආසම කරන එකක්. මේක ගන්න පාවිච්චි කලේ Canon PowerShot SX100 IS කියන කැමරාව.

පසු ලිවීම : සිංගප්පුරුවෙ තියෙන “උබින්” කියන දූපතේදිත් මම බෝවිටියා දැකල තියෙනව.

කිරිගල්පොත්ත

කිරිගල්පොත්ත කන්ද ඈතට පේන හැටි

කිරිගල්පොත්ත කන්ද ඈතට පේන හැටි

අපේ කට්ටිය හොර්ටන්තැන්නට නම් ගිහින් ඇතිනෙ. ඔය ලෝකාන්තය, බේකර් ඇල්ල තියෙන්නෙ හොර්ටන්තැන්නෙනෙ ඉතින්. ඒත් ඔතනට ගිය කීයෙන් කීදෙනාද ඉතින් කිරිගල්පොත්ත කන්ද නැගල තියෙන්නෙ? කිරිගල්පොත්ත  කියන්නෙ මීටර 2392ක් උස ලංකාවෙ තියෙන දෙවෙනි උසම කන්ද. ඒත් අපිට යන්න පුලුවන් උසම තැන මොකද ආරක්ෂක හේතු නිසා පිදුරුතලාගල කන්ද දැන් නගින්න බැහැ.

අඩි පාර දිගේ

පාර දිගේ

අපි කිරිගල්පොත්ත නැග්ගෙ ටිකක් අහඹු විදිහට. මුලින්ම අපි හිතගෙන හිටියෙ සාමාන්‍ය විදිහට ලෝකාන්තය බලන්න යන්න. ඒත් අපි එදා ගිය පට්ටිපොල ඇතුලුවීමේ දොරටුවෙ දිග පෝළිමක් තිබුන ගමන් මලු පරීක්ෂා කරන්න. ඒක නිසා අපි පොලිමක් තියා කවුරුවත් යන්නවත් හිතල තිබුනෙ නැති කිරිගල්පොත්ත කන්ද නගින්න පටන්ගත්ත. මට මතක විදිහට පට්ටිපොල ඇතුලුවීමේ දොරටුවෙ ඉඳන් කිලෝ මීටර 11ක් තියෙනව පයින් යන්න කන්දෙ මුදුනට.

ගමන කොච්චර වෙහෙසකර වුනත් ආපහු බලනකොටනම් මාරම වටින ගමනක්. උදේ 10ට විතර පට්ටිපොල අතුලුවීමේ දොරටුවෙන් ඇතුලු වුනහම මට මතක විදිහට ආපහු අවෙ හවස 5ට විතර. පොඩි පොඩි රෙස්ට් අරගෙන නවත්තන්නෙ නැතුව ඇවිදින්න තමයි තියෙන්න. වටාපිටාවනම් මැක්ස!

ඊලඟ පාර හොර්ටන්තැන්නට ගියහම ඔයගොල්ලොත් මෙහෙ යන්න බලන්න.

තටු ලැබීම

මෙච්චරකල් හැමදාම අනං  මනං ලිව්ව එකේ මම ගත්ත photo එකක් blog එකේ දැම්මොත් හොඳයි කියල හිතුන.

මේ photo එක මම ගත්තෙ මැලේසියාවෙදි. මලක්කාව කිව්වොත් ලංකාවෙ කට්ටිය හරියටම තියෙන තැන දන්නෙ නැතිවුනාට හොඳට අහල තියෙනවනෙ. මේ එක ගත්තෙ ඔන්න ඔය කියන මලක්කාවෙ china-town කියන හරියෙදි. ඒ “චීන අලුත් අවුරුදු” උත්සව කාලෙ දවසක රෑ තිබුන එලිමහන් ප්‍රසංගයකදි. පාවිච්චි කලේ Canon Rebel XTi කියන කැමරාවයි  Canon EF 75-300mm f/4-5.6 III USM ලෙන්ස් එකයි.

Previous Older Entries Next Newer Entries