Wired!!

ටික කාලෙකින් post එකක් දාන්නත් බැරි වුනා. පහුගිය දවස්වල මගෙ යාළුවෙක් එක්ක තායිලන්තෙ ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් වෙන පුකෙට් කියන දූපතට යන්න chance එකක් හම්බවුනා. මේ තියෙන්නෙ එහෙදි ගත්ත photo එකක්.

Wired

Wired

මොකද හිතන්නෙ? මෙතන telephone, electrical කියන ඔක්කොම lines තියෙනව. වතුර line එකක් විතරයි අඩු මගෙ හිතේ! මේකත් එක්ක බැළුවහම අපේ රට දාහෙන් සම්පතයි කියල හිතුන.

පාළුව

කාලෙකින් බ්ලොග් එකට photo එකක් දාන්න බැරිවුනානෙ. ඔන්න එහෙනම්!


මේ photo එක මම ඡායාරූපකරණයට අත පොත් තිබ්බ දවස්වල ගත්ත එකක්. ස්ථානය හෝර්ටන් තැන්න. පාවිච්චි කලේ Canon PowerShot SX100 IS කියන Point & Shoot වර්ගයේ කැමරාවක්.

Header එකටත් දාන්න හොඳයි කියල හිතුන හින්ද ඒකටත් මේකෙන් කෑල්ලක් කපල දැම්ම.

රට රස්සාව

ලංකාවෙන් ගොඩක් කට්ටිය පිටරට රස්සාවල් කරන්න එනව. මෙහෙම එන කට්ටියගෙන් බොහොමයක්ම අය කරන්නෙ ගෘහ සේවය, ශ්‍රමික, කාර්මික , රියදුරු වගේ රස්සාවල්. වෘත්තීය රැකියාවලට එන්නෙ බොහොමයක් අඩුවෙන්. වෘත්තිකයො ආවත් බොහොමයක් අය කරන්නෙ දියුණු වෙච්ච රට වලට සංක්‍රමණය වෙන එකනෙ.

මේ ළඟදි මෙහෙ Super Market එකකදි මම දැක්ක දෙයක් ගැන තමයි මට අද ලියන්න හිතුනෙ. මම ඒ Super Market එකෙන් මට ඕනෙ බඩු ටිකක් අරගෙන Cashier ළඟට ගිහින් මුදල් ගෙවන්න හදනකොට එහා පැත්තෙ Cashier ළඟ බඩු අරගෙන සල්ලි ගෙවන්න තව දෙන්නෙකුත් හිටිය. පෙනුමෙන් මේ අය ඉන්දියාවෙ හරි බංගලිදේශයෙ හරි කට්ටිය වගෙ තමයි පෙණුනෙ. මේ අය අරගෙන තිබුනෙ එදිනෙදා කෑමට ඕනෙ කෑම උයන්න ගන්න බඩු ටිකක්. ඔන්න Cashier ගෑණු ළමය ඩොලර් 6 ක වගේ ගාණක් කිව්ව ඒ අයට ගෙවන්න. ඔන්න දෙන්නම ඉතින් සාක්කු වලට අතදාල සිල්ලර කාසි ගොඩක් අරගෙන දුන්න. ඔක්කොම එකතු කලහම ඩොලර් 5ක් වගේ තමයි තිබුණෙ මගෙ හිතේ. ඔන්න ඊට පස්සෙ දෙන්නත් එක්ක ගත්ත ඔක්කොම බඩු ගන්න සල්ලි නැති නිසා බොහොම අමාරුවෙන් මොකක්ද කෑම ජාතියක් ආපහු දුන්න. ඊට පස්සෙ ගණං බේරල ගියා.

මේක සාමාන්‍ය සිද්ධියක් වගේ පෙනුනට අපිට නොපෙනෙන පැත්තකුත් තියෙනව කියල තමයි මට හිතෙන්නෙ. රට රස්සාවල් කරන්න බොහොමයක් අය එන්නෙ තමුන්ගෙ පවුල්වල තියෙන අග හිඟකම් නිසා. බොහොමයක් අය මාසයක් ගානෙ තමුන්ට පඩි හම්බ වුනහම පුලුවන් තරම් සල්ලි ලංකාවෙ තමුන්ගෙ ගෙදරට අරිනව අතේ වියදමට කීයක් හරි තියාගෙන. ඔහොම අතේ වියදමට කියල තියාගන්නෙ සොච්චං මුදලක්. ඔය මුදලෙන් ඒ අය ඊළඟ මාසෙ පඩිය හම්බවෙනකං බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ අරගෙන යන්නෙ. ගොඩක් කට්ටිය නවාතැන් අරගෙන ඉන්නෙ පහසුකම් ගොඩක් අඩු, අන්ත අසරණ තැන් වල. ඔය විදිහට ගොඩාක් අමාරු ජීවිත ගතකරල තමයි රට රස්සාවල් කරන කට්ටිය ලංකාවට විදේශ විනිමය එවන්නෙ.

4000යි

කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න පුළුවන් වුනේ. ලියන්න ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල ටිකක් කම්මැලි ගතියක් ඇඟට ගහල. අනේ මන්ද? හැබැයි වැඩේ පබා වෙන එකක්නම් නැහැ මගෙ හිතේ.

පොඩ්ඩක් වටපිට බැළුවහම දැක්ක visit counter එක. කිරි අප්පට බල්ලො බුරපි! මෙන්න බොලේ 4000 පන්නල! මටත් හිතාගන්න බැහැ මගෙ බ්ලොග් එක පටන්ගෙන යාන්තම් මාස 2ක් විතර ගියා විතරයි මෙච්චර set එකක් මේක කියවලද කියල.

මොනව වුනත් මට මේ බ්ලොග් කෙරුවාව පටන් ගන්න මූලික වුනේ අපේ යාළුව “ම”ගෙ “මගේ මරණය” කියවල තමයි. ඒකට මම අපේ යාළුව “ම”ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

කට්ටිය “දියකැට පහණෙ” වෙන්න ඕනෙ වෙනස්කම්, අළුතින් එකතුවෙන්න ඕනෙ දේවල්, යෝජනා, චෝදනා ඉදිරිපත් කලානම් ඉතින් මට මගෙ මාස 2ක බ්ලොග් කෙරුවාව ගැන පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි.

Thank You

Bluetooth Headset එක

පබා බැලිල්ල කියවල අපේ Office එකේ ඉන්න අය ඇවිස්සිලා. කොහොමහරි මම ඒ කතාව ලිව්වෙ එක්කෙනෙක් subject කරගෙන වුනත් ඔයින් මෙයින් කොයි කාගෙත් රහස් එළිවෙලා. බැළුවහම අපේ කට්ටියගෙන් සෑහෙන්න පිරිසක් පබා බලන්න Laptop අරගෙන; තවත් කට්ටියක් පබා නෙමෙයි මුතු කිරිල්ලී බලන්නලු Laptop ගත්තෙ.

ඔයින් මෙයින් මගෙ ඉස්සෙල්ල කතාවෙ කතා නායකගෙ තවත් සැඟවෙච්ච කතාවක් එළියට ආව. ඔය මගෙ යාළුව වචන හරඹයට නියම දක්ෂය. තමුන්ගෙ පැත්තට මොකක් හරි ජල්තරස් සීන්-කෝන් එකක් එනව වගේනම් මිනිහ කොහෙන් හරි වචනයක් දාල වැඩේ හරවනව. ඔය විදිහට මිනිහගෙ කටේ තියෙන ජනප්‍රිය කියමනක් තමයි “ඇහුන් නෑ” කියන එක.

ඔන්න man, IT Show එකෙන් Bluetooth Headset එකක් අරගෙන Office  එකේදි පොඩි show එකක් දාන්නත් එක්ක. කවුරුත් ආසයිනෙ ඔය High-Tech Gadget ගැජට් වලට.

දැන් ඔන්න මිනිහ පබා බලන්න Laptop එක අරගත්ත කතාවත් එක්ක තවත් කතාවක් Office එකේ යනව IT Show එකේ Stall එකක හිටපු එකෙක් මිනිහට කන් ඇහෙන්නෙ නැති නිසා ශ්‍රවණාධාර Gadget එකක් කියල Bluetooth Headset එකක් විකුණල කියල. මොකද ඔය Bluetooth Headset එකත් ශ්‍රවණාධාර Gadget එක වගේමනෙ කණට හයි කරගන්න තියෙන්නෙ. අනේ මන්ද කවුරු ඇත්ත කියනවද කියල.

සරුංගලේ

නන්දා මාලිනියන්ගේ “සරුංගලේ” කියන සින්දුව මට අහම්බෙන් වගේ youtube එකේ කරක්ගහපු වෙලාවක අහන්න සෙට් වුනා.

ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන “බුද්ධි ගලනය” කියන මාතෘකාව නියමෙට මේ සින්දුවෙන් ආමන්ත්‍රණය කරනව කියල තමයි මටනම් හිතෙන්නෙ. ලංකාවෙන් බිහිවෙන හුඟක් ඉංජිනේරුවො, දොස්තරල ඒ තැන්වලට ආවහම හුඟක් කතා කරන්නෙ තමුන්ට නොමිළේ උගන්වපු රටට, තමුන්ගෙ අධ්‍යාපනයට වියදම් කරපු අසරණ මිනිස්සුන්ට තමුන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් නෙමෙයි; තමුන්ට, තමුන්ගෙ “ලොකු තත්ත්වයට” ලැබෙන්න ඕනෙ අයිතිවාසිකම් ගැන.

Swades - We The People

Swades - We The People

අපිව ඉංජිනේරුවො, දොස්තරල කරන්න ගඟේ වැලි ගොඩදාන මනුස්සයගෙ ඉඳල රටේ ඉන්න හැම දුප්පත් මිනිහම බදු ගෙවනව. එච්චර වෙහෙසක් දරල රට ඉංජිනේරුවො, දොස්තරල හදන්නෙ උන් මේ රටට සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්; එහෙව් එකේ දුප්පත් රටකින් නොමිළේ උසස් අධ්‍යාපනය ලබාගෙන තමුන්ගෙ ආත්මාර්ථය විතරක් බලාගෙන සංවර්ධනය වෙච්ච රටකට සංක්‍රමණය වීම කොච්චර බාල වැඩක්ද? Swades කියන හින්දි චිත්‍රපටියෙනුත් මේ ප්‍රශ්නය නියමෙට සාකච්ඡා කරනව.

කොහොම වුනත් දොස්තරලට, ඉංජිනේරුවන්ට නියම වෘත්තීය තත්ත්වයක් අපේ රටේ නැහැ කියන එකනම් පිළිගන්න වෙන සත්‍යයක්. ඒත් රට හැර දාල යන එක නෙමෙයි කරන්න ඕනෙ. අදාල වෘත්තීන්ට ලැබෙන්න ඕනෙ සාමාජීය හා ආර්ථික තත්ත්වය හදාගන්න එකත් එක්තරා දුරකට ඒ වෘත්තීන්වල යෙදෙන අයගෙම වගකීමක්. එහෙම හදාගන්න අමාරුයි කියළ හිතෙනවනම් පිටරටක වැඩ කළත් කමක් නැහැ, තමුන් හම්බකරන සල්ලි තමුන්ට උගන්වපු රටට එවනවනම් migrate වෙන්නෙ නැතුව. මේ ලෝකෙ මොන දේ වෙනස් කළත් ඉපදුන රටයි, අම්මවයි වෙනස් කරන්න බැහැ කියළ කොහෙද තිබුණ මට මතකයි.

උපන් බිමට වඩා තැනක් කොහෙද තියෙන්නේ………….

පබා බැලිල්ල

එක්තරා පුද්ගලික රූපවාහිනී නාළිකාවක් මීට කාලයකට ඉස්සෙල්ල අපේ රටේ කට්ටියට එක වසංගතයක් බෝකළා. ඒක ඔය කවුරුත් දන්න විදිහට සතියෙ හැම දවසකම රෑට පැය දෙකක් එක දිගට රූප පෙට්ටිය (අපේ ගෙදරනං ඕකට ඉස්සර කිව්වෙ “හූණියම් පෙට්ටිය” කියළ) ඉස්සරහට වෙලා “Soap Opera” බල බලා ඉන්න පුරුදු කරපු එක. ඒක කොයි තරම් සාර්ථක වුනාද කියනවනම් අනෙක් නාළිකාවල කට්ටිය ඒකට මඩ ගහන්න පටන් ගත්තනෙ “ගොං දෙපැය” කියල; ඊට පස්සෙ බද්දකුත් ගැහුවනෙ. එහෙම කරළත් බැරිම තැන ඒකට තරඟයක් දෙන්න තවත් නාළිකාවක සෙට් එකක් තවත් දෙපැයක් පටන් ගත්ත. ඔය දෙපැයත් සාර්ථක වුනා මොකද ඒ Soap Operaවල තියෙන්නෙ දේශීය කතා නිසා.

ඔහොම පටන් ගත්ත ලාංකේය Soap Operaවලට මුළින්ම ලොකු ඉල්ලුමක් තිබුන. මොකද මම හිතන විදිහට “ශාන්තී”, “ප්‍රගති”, “ප්‍රවීනා” වගේ ඉන්දීය නිළියන් රඟපාපු චරිත අපෙ කට්ටිය රඟපානව බලන්න අපේ අයට ලොකු ආසවක් තියෙන්න ඇති. ඊට පස්සෙ කට්ටිය ඕකට ඇබ්බැහි වුනා. දැන් අපේ කට්ටිය දත නියෝගෙන සති මාස ගණන් එකතැන පල්වෙන පබා දිහා බලාගෙන ඉන්නව. මට මතකයි මේ ළඟදි පත්තරේකත් තියෙනව “ප්‍රභානම් ඉවරයි ඒත් පබා?” කියළ! කට්ටිය තමුන්ගෙ කාලෙ, සල්ලි නාස්ති කරගෙන පබා බලන්නෙ කතාවෙ තියෙන වැදගත්කමකට නෙමෙයි ඔහේ බලන්නං වාලෙ වෙන වැඩක් නැති නිසා.

මම මෙහෙම කියන්නෙ පහුගිය දවසක වෙච්ච සිද්ධියක් නිසා. මෙහෙ සිංගප්පූරුවෙ ඉන්න මම දන්න ලංකාවෙ කට්ටියගෙන් 90%ක්ම අන්තර්ජාලය හරහා ඔය පබාව බලනව. ඔහොම පබාව බල බල හිටපු එක්කෙනෙක් ගිය පාර ලංකාවට ගිය සැරේ එයගෙ කොම්පියුටරෙත් එහෙට අරගෙන ගියා. දැන් ඔන්න මනුස්සය ආපහු මෙහෙ ආව; මිනිහට ලොකු ප්‍රශ්නයක්! මොකද්ද? පබා බලන්න කොම්පියුටරයක් නැහැ. ඔන්න ගිය සති අන්තෙ මෙහෙ අති විශාල IT Show එකක් තිබුන. මිනිහ මොනවද කළේ. රුපියක් ලක්ෂයකට පොඩ්ඩක් අඩු ගාණක් දීල පබා බළන්න Laptop එකක් ගෙනාව! මෙහෙමත් ඇබ්බැහි වීමක්! මෙහෙමත් පිස්සුවක්!

කොහොම වුනත් අනුන්ගෙ නිදහසට බාධාවක් නොවෙනතාක් තමන්ට කැමති දෙයක් කරන්න හැමෝටම නිදහස තියෙනව. ඒත් එකතැන පල්වෙන කතා set එකක් බලන්න මෙච්චර වියදමක්?

ඉස්සර අපේ ජාතික රූපවාහිනියෙ ගියේ කොච්චර අර්ථවත්, රසවත් ටෙලි නාට්‍යයද? “වෙද හාමිනේ”, “අකාල සන්ධ්‍යා”, “දඬුබස්නාමානය” වගේ. මගෙ හිතේ අන්තිමට ඔය වගේ හොඳ ටෙලියකට ගියෙ “මුතුමිණ” හිටපු “ඉසුරු යෝගය” තමයි. ඊට පස්සෙ ගියේ මුළදි පොඩ්ඩක් ලස්සන පස්සෙ බොහොම අමාරුවෙන් ඇදගෙන යන, අපේ මිනිස්සුන්ගෙ විඥාණය මොට කරන සෝඩා බොතල් ටෙලි නාට්‍ය!

Previous Older Entries