** ලියිට් කඩේ කොත්තුව

“පිස්සා” ට හැදුන අමාරුවක් ගැන කියෙව්වහම මටත් කැම්පස් කාලෙ වෙච්ච scene එකක් මතක් වුනා.

ඔය සිද්ධි දාමය වෙන්නෙ අපි කැම්පස් ගිය අළුත. කැම්පස් එක වටේම කෑම කඩ වැහි වැහැල නිසා අපිට මුල් දවස්වලදි කන්න ඕනෙ කොයි කොයි කඩවලින්ද කියල හරියටම idea එකක් තිබුනෙ නැහැ. අපේ බෝඩිමේ එතකොට 4දෙනෙක් හිටිය. ඔන්න ඉතින් කට්ටිය රෑට කන්න කියල බෝඩිමෙන් එලියට බැහැල මෝල්පෙ පාර දිගේ එනව. කැම්පස් එක ඉස්සරහට ආව ගමන් වමට ගියොත් චයිනීස්, දකුණට ගියොත් රතු හාල් බත්. ඒත් ඔන්න දවසක් කට්ටියට කොත්තු කන්න ආසාවක් ආව. ඒ දවස් වල පොඩියට කරපු විශේෂ පාටක ලියිට් එකක් ඉස්සරහ දාල තිබුන කඩයක් තිබුන කැම්පස් එක ළඟ. දැන්නම් ඒ කඩේ නැද්ද කොහෙද. ඒ කාලෙ කැම්පස් එකේ හිටපු කට්ටිය නම් දන්නව ඇති මොකද්ද මේ කඩේ කියල. ඒත් නම කියන එක හරි නැහැ කියල තමයි මම හිතන්නෙ.

ඔන්න කොහොමහරි කට්ටිය බඩ පැලෙනකං කොත්තු කාල එළියට ආව. බඩට කොන්ක්‍රීට් දාල වගේ. ඊට පස්සෙ සුපුරුදු විදිහට කාඩ් කුට්ටමෙන් 304කුත් බලල කට්ටිය නිදාගත්ත. ඕන් බොළේ මහ රෑ එක පාරටම ඇහැරුණා. උදරයෙන් මහා වේදනාවක් එනව. ඔන්න තව ටිකකින් අවශ්‍යතාවයත් එනව. ඉන්නම බැහැ. මොනවද උනේ කියල හිතාගන්නත් වෙලාවක් නැහැ. අඩියෙන් දෙකෙන්, නිදාගෙන හිටපු එවුන්ගෙ ඇඳන් උඩින් පැනල shortestම path එකෙන් ඔන්න රිංගුව අවශ්‍යතාවය ඉටුකරගන්න පොට් එකට. ඔන්න ඉතින් මහා මේරු පර්වතය උස්සගෙන ඉඳල බිමින් තිබ්බවගේ බරකින් සැහැල්ලු වෙලා ආපහු ඇවිත් ඇඳට වැටුන විතරයි එහා පැත්තෙ ඇඳේ හිටපු එකා ඇහුව “මචෝ උඹටත් වැඩේ හරි නේද?” කියල. බැලින්නම් උටත් මට ඉස්සෙල්ල වැඩේ charge වෙලා. ඔන්න ඔහොම කියල කට ගත්ත විතරයි තවත් එකෙක් ගාල කඩාගත්ත හරක වගේ ඇඳෙන් බිමට පැනල ****** එකට දුවපි. මිනිහත් ඉතින් හෝන්දු මාන්දු වෙලා ඔන්න බඩත් අල්ලගෙන එලියට ආව.

“උඹටත් හරි නේද?” උට කට හොල්ලන්නවත් පණ නැහැ. බඩ රිදිල්ලෙ වැඩි කමට නින්ද යන්නෙත් නැහැ. ඔන්න තව විනාඩි 10කින් විතර ඉතුරු වෙලා හිටපු එකම එකාත් පටස් ගාල ඇතුළට රිංගුව.

දැන්නම් කට්ටියටම කොත්තුවෙ රඟේ තේරිලා තිබුනෙ. ඒත් හරියටම ෂුවර් නැහැ ඒකමද හේතුව කියල. කොයි එකටත් කියල ආපහු දවසක් කට්ටිය ඔය කඩෙන් කොත්තු කාල බැළුව. කිරි ගහට ඇන්නවගේ ඕං බෙහෙත වැඩ! මධ්‍යම රාත්‍රියෙ කණිසම වදින්නෙ බඩ ඇතුළෙ. ආපහු අර ස්ටෝරියම තමයි.

ඒදා ඉඳන් කැම්පස් එකෙන් out වෙනකං අපි නෙමෙයි ආපහු ඒ කඩේට ගියේ! ඒ දවස් වල අපෙ කටේ තිබුන එකක් තමයි “මළබද්ධයට අත්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත ** ලියිට් කඩේ කොත්තු” කියන එක. කිරි ගහට ඇන්නවගේ බලාගෙන ඉන්නකොට ප්‍රතිඵල දෙනව.

Advertisements

Jalan Petaling යමු! – (KL යමු අවසාන කොටස)


ලබන මාසෙ ලංකාවෙ මගෙ ගජයො සෙට් එකක් මැලේසියා එනවලු.  මම කිව්වෙ ඉතින් උන්ට සිංගප්පූරුවටත් ඇවිත් යන්න කියල. මෙහෙ ආවොත් උන්ගෙ බජට් පනිනවලු; වීසා අරගෙන තියෙන්නෙත් Single Entry ලු. කමක් නැහැ, ඒව මොනව උනත් කට්ටියටම දැනගන්න KL ගැන මම දන්න ටික ලියන එක ඔන්න ආපහු පටන් ගත්ත.

මැලේසියාවෙ සමස්තයක් වශයෙන් ගත්තහම බඩුවල ගණං අඩුයි. කොහේ හරි ගියහම ඔහේ කරන්නන්වාලෙ Shopping කරල වැඩක් නැහැ. මුලින්ම මුට්ටියක් දාල බලල තමයි මමනම් වැඩේට බහින්නෙ. ඉඳල හිටල ඔය වැඩේ upset ගියාට හුඟක් වෙලාවට වැඩේ හරියනව.

Jalan Petaling වලට ඇතුළුවෙන තැන

Jalan Petaling වලට ඇතුළුවෙන තැන

අනාගතේදි පාවිච්චි කරන්න ගන්න බඩුයි, souvenirs විදිහට ගන්න බඩුයි කියල මම නම් කොහේ හරි ගියහම ගන්න බඩු වර්ග කරල තියෙන්නෙ. පාවිච්චි කරන්න ගන්න බඩු වල quality එක වගේම ගාණත් බලනව. souvenirs විදිහට ගන්න බඩුවල ඒක සමරුවක් විදිහට කොච්චර වටිනවද කියල තමයි මම බලන්නෙ. සමහරවිට අපි ඒ රටට හරි පළාතට හරි යන්නෙ ඒ වතාවෙ විතරක් වෙන්න පුළුවන් නිසා ටිකක් ගණන් වැඩිවුණාට කමක් නැහැ කියල තමයි මගෙ අදහස. මේ ගැන වෙනත් විදිහක අදහස් තියෙන අයත් ඉන්න පුළුවන්.

KL වල shopping යන්න ඕනෙ තරම් තැන් තියෙනව. පෙට්‍රෝනාස් යට තියෙන Suria KLCC සාප්පු සංකීර්ණයෙන් පටන් ගත්තහම තරු පන්තියෙ සාප්පු සංකීර්ණ KL වල ඕනෙ තරම්! ඕවයෙන් බඩු ගන්න නම් ඉතින් වැඩිදෙයක් දැනගන්න ඕනෙ නැහැ; සල්ලි ටිකක් වැඩිපුර තියෙන්නෙ විතරයි ඕනෙ.

ඒත් ඉතින් මම කියන්න යන්නෙ අපි වගේ මධ්‍යම පාන්තිකයන්ට ගැළපෙන KL වල Street Shopping ගැන.

KL වල Street Shopping වලට හොඳම China Town කියන  area එක තමයි මම දන්න විදිහට. ඔය හරිය නිකන් කොටුවෙ මල්වත්ත පාර, Keyzer Street එක, පළවෙනි දෙවෙනි හරස් වීදි තියෙන හරිය වගේ තමයි. පාර දෙපැත්තෙ Pavement කඩ ඕනෙ තරම්.

Jalan Petaling වල Street Market එක

Jalan Petaling වල Street Market එක

ගෑණු අයගෙ අත් බෑග්, T-Shirt, Shirt, කලිසම්, මේස්, සපත්තු වගේම පෙට්‍රෝනාස්, KL Tower වගේ ගොඩනැඟිලි තියෙන souvenirs වගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් ඔය Street Market එකේ තියෙනව.

China Town වලිනුත් Jalan Petaling කියන පාරෙ තමයි ගොඩක්ම කඩ තියෙන්නෙ. (මැලේ භාෂාවෙන් Jalan කියන්නෙ වීදිය කියන එකට.) ඔය අතරෙ කෑම කන්නත් තැන් ඕනෙ තරම් තියෙනව. ඒත් ඒවයෙ පිරිසිඳුකම ගැන නම් මට එච්චර පැහැදීමක් නැහැ.

ඔය Jalan Petaling කියන පාර ආවරණය වෙන්න උඩින් වහළයක් ගහල තියෙන්නෙ. ඔය වහළය කොළපාට නිසා ඕකට කට්ටිය දැන් කියන්නෙ “Green Dragon” කියල.

ඔන්න කොහොමහරි ඔය පාරට ඇතුල් වුනා කියමුකො. මුල්ම දේ තමයි ඉන්නෙ මැලේසියාවෙ කියල මතක තියාගන්න ඕනෙ එක. තමුන්ගෙ බෑග්, පර්ස් එක වගේ ඒව ගැන හොඳ අවදානයකින් ඉන්න ඕනෙ. කඩවල ඉන්න අය මුලින්ම බඩුවක ගාණ කියන්නෙ නියම ගාණ වගේ 3, 4 ගුණයක් වැඩියෙන්. ඒක නිසා කොච්චර ඕනෙ වුනත් පැනපු ගමන් ගන්න එපා. කරන්න ඕනෙ හොඳම දේ තමයි මුළින්ම රවුමක් දාල තමුන්ට ගන්න ඕනෙ බඩු තියෙන තැන් ටිකක් මීටරේට දාගන්න එක. ඊට පස්සෙ කට්ටියම සෙට් වෙලා එකට ගිහින් ගාණ අඩුම තැන්වලින් බඩු ගන්න එක. හෙට්ටු කරල බඩුවල ගණං ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒකට දක්ෂතාවයත් තියෙන්න ඕනෙ. ගොඩක් කට්ටිය එකම තැනින් බඩු ගන්නවනම් තවත් ගාණ අඩුවෙනව; ඒවගේම සෙට් එක එකට ඉන්නකොට ආරක්ෂාවත් හොඳයි.

ඔය Street Market එකෙන් souvenirs ගන්න එකනම් මම එච්චර අනුමත කරන්නෙ නැහැ; අනෙක් බඩුනම් කමක් නැහැ. Souvenirs ඒ අදාල තැන්වලින්ම ගන්න එක තමයි හොඳ. උදාහරණයක් විදිහට පෙට්‍රෝනාස්වල souvenirs පෙට්‍රෝනාස් යට තියෙන තැනින් ගන්න පුළුවන්. අදාල තැන්වල තියෙන souvenirs වල quality එක නියමෙට තියෙනව street market වල තියෙන ඒව වගේ නෙමෙයි.

මම හිතන්නෙ KL ගැන ලිව්ව ඔය ඇති. ඒත් මැලේසියාවෙ තියෙන යන්න මරු තවත් තැන් කීපයක් ගැන පස්සෙ ලියන්න බලාපොරොත්තු වෙනව.

ආපහු සෙට් වෙමු එහෙනම්!

මළගිය ඇත්තන්ගේ මාසය

චීන ජාතිකයන්ගෙ දින දර්ශනයට අනුව දැන් මේ ගතවෙන්නෙ 7වෙනි මාසය. ඒගොල්ලන්ගෙ විශ්වාසයට අනුව මේ 7වෙනි මාසෙ 15වෙනි දවසට අපායෙ ගේට්ටු ඇරෙනවලු. එතකොට අපායෙ ඉන්න මළගිය ප්‍රාණකාරයො ආපහු මහ පොළොවට එනව.

මළගිය ඇත්තන්ට කෑම

මළගිය ඇත්තන්ට කෑම

ඔන්න ඉතින් කට්ටිය මේ ඒන මළගිය ප්‍රාණකාරයො සතුටු කරන්න  14වෙනි දවසෙ නොයෙකුත් දේවල් ඒගොල්ලන්ට දෙනව. කන්න බොන්න වගේම සල්ලිත් දෙනව. කට්ටිය ඉටිපන්දම් පත්තු කරල මළගිය ඇත්තන්ට දෙන්න සල්ලි පුච්චන එක මේ දවස්වල සිංගප්පූරුවෙ හැමතැනම දැකගන්න පුළුවන්.

සමහර තැන්වල හඳුන්කූරු පත්තු කරල මේසයක් පිරෙන්න කෑම පුරෝල තියෙනව කට්ටිය වෙනුවෙන්.

මළගිය ඇත්තන්ට සල්ලි

මළගිය ඇත්තන්ට සල්ලි

එකපාරටම මේක අපිට අමුතු විදිහට පෙනුනට අපිත් මේ වගේ වැඩ කරනවනෙ. ඇයි අපි ඔය පෙරේත තට්ටු තියන්නෙ! පෙරේත තට්ටු තියන්න අවුරුද්දෙ වෙන් වෙච්ච දවස් නැහැනෙ; ඒත් මේගොල්ලො ඒකට කාලයක් වෙන්කරගෙන. දානයක් දුන්නහම, පිරිතක් කිව්වහම වගේ පිං අතේ වැඩ කලහම අපි අපේ මළගිය ඇත්තන්ට පිං අනුමෝදන් කරන්නෙ; මේකත් ඒක වගේම තමයි. ඔය කොයි දේ කළත් අන්තිමට බැළුවහම කරන්නෙ අපෙ මියගිය ඥාතීන්ට කෘතගුණ සැළකීමනෙ. ඒකයි වැදගත් වෙන්නෙ.

KL (ක්වාලාලම්පූර්) යමු! – 3 කොටස

Aquaria KLCC ඇතුළේ තියෙන කෘතිම මුහුද

Aquaria KLCC ඇතුළේ තියෙන කෘතිම මුහුද

පෙට්‍රෝනාස් ගියාට පස්සෙ ලේසියෙන්ම යන්න පුළුවන් තැන තමයි Aquaria KLCC කියන මින් මැදුර. ඒකත් තියෙන්නෙත් KLCC Park එකේම තමයි. තියෙන්නෙ අස්සකට වෙන්න හින්ද map එකක් බලල තැන හොයාගන්න පුළුවන්; පෙට්‍රෝනාස් ඉඳන් ටැක්සියක යන්න තරම් දුරක් නැහැ. මේකට යන්න නම් සල්ලි දීල ටිකට් ගන්න ඕනෙ. බලන්නනම් දේවල් ගොඩක් ඒකෙ තියෙනව. ඊටපස්සෙ කට්ටියට ඕනෙ සමරු ගන්නත් shop එකක් ආපහු එලියට එන්න ඉස්සෙල්ල තියෙනව.

Aquaria KLCC බලල එලියට ආවට පස්සෙ KL Tower එක බලන්න යන එක තමයි හොඳ. මේකටත් සල්ලි දීල ටිකට් ගන්න ඕනෙ. KLCC Park එකේ ඉඳන් ඕනෙ නම් පයින් ඇවිදගෙන එන්නත් පුළුවන්; ටැක්සියක් ගත්තත් කමක් නැහැ. මේ කුළුණ තියෙන්නෙ කන්දක් උඩ. ඒ නිසා ඇතුළුවෙන තැන තියෙනෙ ගේට්ටුව ළඟ ඉඳන් tower එක ළඟට van එකක් තියෙනෙව නොමිලේ යන්න. මේක උඩට නඟින්න ගන්න ටිකට් එකෙන් එකේ තියෙන තවත් ක්‍රීඩා වගේ දේවල් වලටත් සහභාගී වෙන්න පුළුවන් ඒව ගැන විස්තර එතන ඉන්න නිළධාරීන්ගෙන් අහලල බලන්න. KL Tower එකේ උඩට නැග්ගහම ක්වාලාලම්පූර් නගරයම බලාගන්න පුළුවන්.

රෑට පෙට්‍රෝනාස් KL Tower එකේ Public Observation Platform එකට පේන හැටි

රෑට පෙට්‍රෝනාස් KL Tower එකේ Public Observation Platform එකට පේන හැටි

KL Tower එක ඇත්තටම Broadcasting Tower එකක්;  අයිතිය ලංකාවෙ ජනප්‍රිය ජංගම දුරකතන සේවා සපයන ආයතනයක් වෙන “ඩයලොග්” සමාගමේ මව් සමාගම වෙන “Axiata Group Bhd” ( ඉස්සර “Telekom Malaysia International” කියපු ) සමූහ ව්‍යාපාරයටම අයිති “Menara Kuala Lumpur Sdn. Bhd” කියන සමාගමට. සාමාන්‍යයෙන් සංචාරකයන්ට යන්න පුලුවන් Public Observation Platform කියන තට්ටුවට. Public Observation Platform එකට උඩින් Revolving Restaurant කියල අංශක 360ක් කැරකෙන ආපන ශාලාවකුත් තියෙනව. මම හිතන විදිහට නම් KL Tower බලන්න යන්න හොඳම රෑට. මොකද ඕනෑම නගරයක Skyline එකේ ලස්සන වැඩිපුරම පේන්නෙ රෑට. රෑට පෙට්‍රෝනාස් වල ලයිට් දාල තියෙන හැටි KL Tower එකට ලස්සනට පේනව. photo ගන්න අයට කියාපු scene එකක් තමයි ඕක.

දවල්ට KL Tower එකේ ඡායාව ළඟ තියෙන ගොඩනැඟිල්ලක පේන හැටි

දවල්ට KL Tower එකේ ඡායාව ළඟ තියෙන ගොඩනැඟිල්ලක පේන හැටි

KL Tower එකත් බැළුවට පස්සෙ පොඩි rest එකක් අරගෙන ආපහු shopping පාරක් දැම්ම නං හරි. හැබැයි ඉතින් KL වල තියෙන කඩවල ඉන්නෙ හොඳට මීටරේ on කරගෙන වැඩකළේ නැත්නම් අපේ කණෙන් රිංගල යන අයියල.

KL වල shopping අත්දකීම් ඊළඟට ලියන්නම්.

අම්මයි තාත්තයි

“ආදරයේ උල්පතවූ අම්මා…….” කියන සින්දුවෙන් පටන්ගත්තහම අම්ම ගැනත් “අම්මා සඳකි; මම ඒ ලොව හිරුය රිදී..” කියල පටන්ගත්තහම තාත්ත ගැනත් (අම්ම ගැන තරම් නැති වුනත්) කවි, සින්දු ගොඩක් ලියවිලා තියෙනවනෙ.

ඒවා අතරින් යුගලයක් විදිහට මට පේන සින්දු 2ක් තමයි කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්ගෙ “නිල් දියවර” කියන ගීත එකතුවෙ තියෙන “ගමට කලින්” කියන සින්දුවයි “අන්දර යායේ”කියන සින්දුවයි.

රජරට ගැමි සමාජයේ ජීවිත වෙන අයගෙ සිතුම් පැතුම් මේ සින්දු දෙකෙන් මොනවට පැහැදිලි වෙනව කියල මට නම් හිතෙන්නෙ.වැව කියන්නෙ රජරට ගැමි සමාජයේ තියෙන පූජනීය වස්තුවක්; වැවෙන් වතුර අරන් අස්වද්දන කුඹුර තමයි අනෙක් වටිනාම වස්තුව.

“කලා වැවේ නිල් දියවර අපෙ අම්මා….” කියල අම්මාව අඳුන්වල දෙනකොට පූජනීය බව, අම්මගෙ ආදරයේ තියෙන විශාලත්වය, සශ්‍රීකත්වය වගේ ගොඩක් දේවල් කියවෙනව.

අනෙක් සින්දුවෙදි
“දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී…”

කියන කොට කොයිතරම් ගෞරවයක් තාත්තට දෙනවද? හැම දෙයකම ආරම්භය, හැම දෙයක්ම පිටිපස්සෙ ඉඳන් අත්වැල දෙන්නෙ තාත්ත කියන එක කොච්චර ලස්සනට කියල තියෙනවද?

මේ සිංදු දෙකේම පාවිච්චි කරල තියෙන ඉතාමත් සරල, සෘජු වචන වලින් ගැමියාගෙ තියෙන නිර්ව්‍යාජ හැඟීම් හොඳට ප්‍රකාශ කරල තියෙනව කියල තමයි මට නම් හිතෙන්නෙ.

ඔය සින්දු දෙක කැමති අය මෙතනින් ගිහින් අහන්න.

ගමට කලින්.. අන්දර යායේ..

Next Newer Entries