මලක්කා

Frol de la mar නැවේ අනුරුව

Frol de la mar නැවේ අනුරුව

හරියටම තියෙන තැන දන්නෙ නැතිවුනාට ලංකාවෙ ගොඩක් අය “මලක්කා” කිව්වහම දන්නවනෙ. ඒ ලෝක ප්‍රසිද්ධ “මලක්කා සමුද්‍ර සන්ධිය” නිසා.

මලක්කාව කියන්නෙ මැලේසියාව තියෙන ලෝක උරුම නගරයක්; ඒ වගේම ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක්. අපි “මලක්කා” (Malacca)  කිව්වට මැලේසියාවෙදි ඒ අය කියන්නෙ “මෙලකා”  (Melaka) කියල. මලක්කා ගිය වෙලාවෙදි හරියටම කියනවනම් මට හැඟුනෙ “ගාල්ලට” ගියා වගේ. ඇත්තටම මට පෙනුන විදිහට මලක්කාවෙයි ගාල්ලෙයි ගොඩක් සමානකම් තියෙනව.

මලක්කාව මුලින්ම පෘතුගීසීන්ටත් ඊට පස්සෙ ලන්දේසීන්ටත්, අන්තිමට ඉංග්‍රීසීන්ටත් යටත් වෙලා තිබුණ නගරයක්. ඒ වගේම බලන්නත් ගොඩක් දේවල් තියෙනව.

කට්ටිය “බජට් ගුවන් සේවයෙන්” ක්වාලා ලම්පූර් යන්න හිතාගෙන ඉන්නවනම් මලක්කාවටත් යන්න බලන්න. ක්වාලා ලම්පූර්වල “පුදුරයා” බස් මධ්‍යස්ථානයෙන් මලක්කාවලට බස් එකක් ගන්න පුලුවන්. KL වල ඉඳන් පැය 4ක විතර බස් ගමනකින් එහෙට යන්න පුළුවන්.

සාම්ප්‍රදායික චීන අළුත් අවුරුද්ද වෙනුවෙන් මලක්කාවෙ තිබුන ප්‍රසංගයක හිටපු නර්ථන ශිල්පිනියක්
සාම්ප්‍රදායික චීන අළුත් අවුරුද්ද වෙනුවෙන් මලක්කාවෙ තිබුන ප්‍රසංගයක හිටපු නර්ථන ශිල්පිනියක්

Advertisements

කඩ්ඩ

අපි සාමාන්‍යයෙන් “කඩ්ඩ” කියන්නෙ ඉංග්‍රීසි භාෂාවටනෙ. ඔය නම හැදුනෙ ඉස්සර ඉංග්‍රීසිය සල්ලි තියෙන අය ආභරණයක් විදිහට කැපී පෙනෙන්නයි සල්ලි බාගෙ නැති අය “කපා දාන්නයි” පාවිච්චි කරපු නිසා කියල තමයි මම නම් හිතන්නෙ.

ඒත් දැන් ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් වෙලා. අපි කැමති වුනත් නැතත් සමාජයේ ඉස්සරහට යන්න අවශ්‍ය මෙවලමක් වෙලා.

ඒක නිසා හැමෝම පුළු පුළුවන් විදිහට ඕක ඉගෙන ගන්නවනම් තමයි හොඳ. තමුන්ගෙ මවු භාෂාව නොවන නිසා 100%ක්ම නිවැරදියට ඕක පාවිච්චි කරන්න ඕනෙ නැහැ. අනෙක් මිනිහට තමන් අදහස් කරන එක තේරෙනවනම් එච්චරයි.

හැබැයි මම කියන්නෙ යන්නෙ ඕකෙ වෙනම පැත්තක් ගැන. තමුන්ට කොච්චර “කඩ්ඩ” පුළුවන් වුනත් තමුන්ගෙ මුල් අමතක කරන්න හොඳ නැහැ. ප්‍රංශකාරයො දෙන්නෙක් මුණගැහුනොත් උන් දෙන්න කතාකරන්නෙ ප්‍රංශ භාෂාවෙන්. ඉතාලිකාරයො දෙන්නෙක් උනත් එහෙමයි. වැඩිය ඕනෙ නැහැ අපේ ලංකාවෙ දමිළ සහෝදරයො දෙන්නෙක් වුනත් එහෙමයි. එහෙම පිට තැනකදි තමුන්ගෙ මවු භාෂාවෙන් කතාකරන එක ඒ අයට ආඩම්බරයක් කියල මට මගෙ පිටරට යාළුවො කීපදෙනෙක්ම කියල තියෙනව.

හැබැයි මම අහල දැකල තියෙන විදිහට සිංහල මිනිස්සු දෙන්නෙක් පිට තැනකදි මුණ ගැහුණොත් ඒ දෙන්නම හදන්නෙ එක්කෙනෙක්ට වඩා අනෙක් එකාට හොඳට “කඩු හරඹ” පුළුවන් බව පෙන්නන්න. අපිට වැරදුනේ කොයි තැනදිද?

යෝධයා

මේකත් ඇත්ත කතාවක්. හැබැයි දැනට ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල වෙච්ච පොඩි ළමයෙක්ගෙ සිද්ධියක්. සීයාගෙන් අක්කා දස මහා යෝධයින් ගැන කතන්දර අසමින් සිටි තැනට ආව පොඩි කොළු ගැටයෙක්,

“සීයෙ, යෝධයො කියන්නෙ කවුද?”
“යෝධයො කියන්නෙ පුතේ ගොඩක් ශක්තිය තියෙන කට්ටියක්”
“ඒගොල්ලන්ට මොනවද කරන්න පුලුවන්?”
“මහ විශාල පර්වත උස්සන්න පුලුවන්, ලොකු ගස් උදුරන්න පුළුවන්, ගහට නඟින්නෙ නැතුව ගහේ කරටිය හොලවල පොල් ගස් වළින් ගෙඩි කඩන්න පුළුවන්…”
“අයියෝ ඕක කරන්න යෝධයෙක් වෙන්න ඕනෙ නැහැනෙ. මමත් අපේ ගෙදර පිටිපස්සෙ තියෙන පොල් ගහේ කරටිය හොළවන්නංකො!”

අවුරුදු 6ක් විතර වයස කොළු ගැටයාගේ මේ කතාවට සීයාටද පුදුම හිතුණි.

“ඒ කියන්නෙ ඔයාට ඒ පොල් ගහේ කරටිය හොළවන්න පුළුවන්ද? එහෙනම් ඔයත් යෝධයෙක්! හැබැයි දැන් කරල පෙන්නන්න ඕනෙ!”

“හරි එහෙනං සීය එන්නකො මම පොල් ගහ හොලවනව බලන්න.”

සීයාත් පොඩි එකාගේ වික්‍රමය බැලීමට ඔහු පසු පස පොල් ගස දෙසට ගියේය. පොල් ගස සෙලවීමට ගස යටට යනු වෙනුවට මඳක් දුරින් පිහිටි ලුණු මිදෙල්ල ගස වෙත ගිය කොළු ගැටයා පොල් ගස නිවස දෙසට යෑම වැළැක්වීම පිණිස ගසේ කරටිය ලුණු මිදෙල්ල ගසේ මුලට තදින් බැඳ තිබුන ලෝහ කම්බියේ එල්ලී පැද්දෙන්නට විය. අපේක්ෂා කල ලෙසම පොල් ගසේ කරටිය එහෙට මෙහෙට වැනෙන්නට විය.

අන්ද මන්ද වූ සීයා
“මම හිතුවෙ පුතා ගහ යට ඉඳන් ගහ හොළවයි කියල!”
“මම සීයට එහෙම කිව්වෙ නැහැනෙ. මම කිව්වෙ මම කරටිය හොළවනව කියල විතරයිනෙ!”
එසේ කියමින් උජාරුවෙන් අක්කා ළඟට ගොස්
“අක්කෙ ඔන්න එහෙනම් දැන් මගෙ නමත් ලියන්න ඔය යෝධයින්ගෙ නම් වලට!”

පසු කතාව : යෝධයෙක් කෙසේ වෙතත් මේ කොළු ගැටයා පස්සෙ කාලෙක ඉංජිනේරුවෙක් නම්  වුණා.

Moon Cake

Moon Cake ඇසුරුම

Moon Cake ඇසුරුම

සිංගප්පූරුවෙ ඉන්න චීන ජාතිකයින් මළවුන් වෙනුවෙන් කරන චාරිත්‍රයක් ගැන මම බ්ලොග් එකේ ලිව්ව මතක ඇතිනෙ. මේකත් ඒවගේ චීන ජාතිකයින් කරන අපූරු දෙයක්.

මේ අය  Mid-Autumn Festival කියල උත්සවයක් සමරනව. ඒ සාම්ප්‍රදායිකව චීන ජාතිකයින්ගෙ අස්වනු නෙලන කාලයයි හඳට වන්දනා කිරීමයි සම්බන්ධව ආරම්භ වුනු උත්සවයක්. අපි අපේ අවුරුද්දට කැවිලි පෙවිලි බෙදනව වගේ මේ අයත්  මේ උත්සව කාලෙට Moon Cake කියල කේක් ජාතියක් නෑදෑයින්ට, යාළුවන්ට බෙදනව.

සෙන්ටි මීටර 10ක් විතර විශ්කම්භයක් තියෙන රවුමක හැඩය තියෙන මේ Moon Cake හදන්නෙ නෙළුම් ඇට වලින් හදපු පිටි ජාතියකින්. කේක් එකේ මතුපිට චීන අකුරු වලින් සුභ පතන වැකියක් සටහන් කරල තියෙනව. මේ Moon Cake පැණි රසයි; හැබැයි සමහර වෙලාවට ලුණු වල දාල තිබුන තාර බිත්තර කහ මදයකුත් කේක් එක මැද තියෙනව. ලස්සනම දේ තමයි මේ කේක් අසුරල තියෙන විදිහ. මාර ලස්සනයි. සාමාන්‍යයෙන් රත්තරන් පාට ඇසුරුමක අසුරල ඊට පස්සෙ ආභරණ පෙට්ටියක් තරමට ලස්සන වැඩ දාපු පෙට්ටි වල දාල තමයි මේව තියෙන්නෙ.

පොඩියට වගේ පෙනුනට සාමාන්‍යයෙන් මේ කේක් එකක් කෑවොත් වරුවක් නොකා ඉන්න පුළුවන් තරමට බඩ පිරෙනව. ඒත් තාර බිතතර කහ මදේනම් කන්න ටිකක් අමාරුයි.

තෙලේ බලේ

මේක කැම්පස් කතාවක්. කතාව ඇත්ත. ඒත් නම් වෙනස් කලා මොකද ඉතින් කට්ටියට හොඳ මදිනෙ.

ස්ථානය : පටුවතවිතාන නේවාසිකාගාරය, මොරටුව විශ්වවිද්‍යාලය

දිනය සහ වේලාව: 2007 වර්ෂයේ මුල් මාසයක දවසක දහවල් ආහාර වෙලාවෙන් පසු.

පසු බිම් කතාව: දඟයා, UPS සහ දැමා කැම්පස් එකේ lecture වලට cut එක දීමට උපන්නාවු තුන්දෙනෙකි. ගොඩ කැන්ටිමෙන් බඩ පැලෙන්න දවල් ආහාරය ගත් පසු ආ නිදිමත lecture එකට යෑමට වඩා ලොකු වූ බැවින් lecture එකට cut එක දී කට්ටියම පටුවේ ඔවුන්ගේ කාමරයට බඩගෑවේ ඇතිවෙනකම් නිදාගැනීමේ අටියෙනි.

සුපුරුදු පරිදි දඟයා ඇඳට පැන නිදාගන්නට උත්සාහ  කලත් බිම මෙට්ට දමා ගෙන සීලිම දෙස බලාගෙන දැමා කරගෙන යන “අරුත්බර” lecture එක නින්දට බාධාවකි. අද මාතෘකාව පොදු ප්‍රවාහන සේවයයි.

“දැන් බලපං UPS උදේට මට කොලොන්නාවෙ ඉඳන් කැම්පස් එකට බස් එකේ එනවනම් කොච්චර වෙලා යනවද?. ගාට ගාට එනකොට මටනම් එපා වෙනව. එහෙම කියල රෝද හතරක් ගන්නත් බැහැනෙ. බලපං පෙට්‍රල්, ඩීසල් වල ගණං! කොහොමද  ඔච්චර වියදමක් දරන්නෙ. මම නම් ඔය ඉංජිනේරු පට්ටම අමතක කරල ගන්නව motor-bike එකක්. සිං සිං ගාල එහෙං මෙහෙං රිංගල traffic මඟ ඇරල එන්න පුළුවන්නෙ බං! ඉන්දියන් bike එකක් ගත්තහම පෙට්‍රල් ලීටරයකින් අඩුම ගානෙ කිලෝමීටර 60ක් වත් දාගන්න පුළුවන්නෙ. කොහොම හරි කරල bike පදින්න license එක ගම්මු බං!”

දෙවෙනි දවස: එදා වගේමය. පළමු දවසෙන් සතියක් ගතවු තැන යෙදුන boring lecture එකක් සඳහා වෙන් වූ කාල පරිච්ඡේදයකි. අද lecture එක cut කර පටුවේ අල වීමට කාමරයේ ඉන්නා මහජනතාවගෙන් අඩු UPS විතරය. ඒකත් ඔහු ගෙදර ගොස් ඇති බැවිනි. මෙවර දැමාගේ lecture එකට සවන් යොමාගෙන සිටීමේ “අල කේස්” එක සෙට් වී ඇත්තේ ලමියාටයි.

“උඹට කියන්න ලමියො, පාරෙ වෙන ඇක්සිඩන්ට් වලින් ගොඩකටම හේතුව මේ motor-bike නෙ බං. කොල්ලයි, බල්ලයි හැම එකාටම දැන් ලීසිං එකක් දාගත්තහම bike එකක් ගන්න පුළුවන්නෙ! අනෙක දැන් හැම එකාම වගේ ගන්නෙ ඔය ඉන්දියන් bike නෙ. ඒව නිකන් පපඩම වගේ. කොහේ හරි වැදුනොත් ඉතින් පදින එකාට දෙයියන්ගෙම පිහිටයි. අනෙක engineer කෙනෙක් වෙලා ඉන්දියන් bike එකක් පදිනකොට තියෙන තත්ත්වෙ මොකක්ද බං? ඒ වගේද රෝද හතරක යනකොට? මම නම් out වුනු ගමන් කොහොමහරි කාර් එකක් බස්සනව!”

නිදා ගැනීමට වෙරදරමින් සිටි දඟයා එක වරම අවදිවී
“ඈ බොළ දැමෝ, තෝ එදා UPSව අල්ලගෙන හොඳටම තෙල ගැහුව නේද උට motor-bike පදින්න license ගම්මු කියල? උඹ උට එහෙම කියල දැං මේ ලමියට කාර් ගන්න තෙල ගහන්නෙ ?

හනික නැගී සිටි දැමා වහාම කැම්පස් එක බලා පිටත් වුයේ තව දුරටත් කාමරයේ සිටියොත් ඉතිරිවී තියෙන සායමත් දියවී යන බැවිනි.

Sunway Lagoon

Sunway Lagoon ඇතුළුවීම

Sunway Lagoon ඇතුළුවීම

මැලේසියා සංචාරය ගැන කියන විස්තරේ අවසාන කොටසට තමයි දැන් මේ ඇවිල්ලඉන්නෙ. ඒත් ඉඩ ලැබෙන හැටියට ආපහු මැලේසියා යන්න ලැබුනොත් එහෙම යන්න හම්බවෙන තැන් ගැන ලියන්නම්.

KL ගියහම යන්න හොඳයි කියල කියන්න පුලුවන් තව තැනකට තියෙන්නෙ Sunway Lagoon කියන Theme Park  එක තමයි.

සංගිලි පාළම

සංගිලි පාළම

GENTING නුයි A’ Famosa Water World ගිහින් තියෙන අයට නම් මේක එච්චර ගතියක් නැති තැනක් කියල හිතෙයි. ( A’ Famosa Water World  එක තියෙන්නෙ මලක්කාවෙ. ඒක ගැන ඊළඟට ලියන්නම්.) හැබැයි ලංකාවෙ ඉඳන් KL වලට ඇවිල්ල KL වටේ විතරක් යන්න plan කරගෙන එන අයටනම්  recommend කරන්න පුළුවන්.

Sunway Lagoonතියෙන්නෙ KL නගර සීමාව ඇතුළෙමයි. ඒක නිසා බස් කීපයකින්ම යන්න පුළුවන්. එහෙම නැත්නම් ටැක්සියක් අරගෙන ගියත් එච්චර ගාණක් වෙන්නෙ නැහැ. පුදුරයා බස් නැවතුමට ගිහින් Sunway Lagoon යන්න පුළුවන් බස් එක මොකක්ද කියල ඇහුවොත් කවුරු වුනත් කියයි.

Sunway Lagoon වලත් ක්‍රීඩා ගොඩක් තියෙනව. කෘතීම මුහුදක්, Park එක උඩින් එක කොනක ඉඳන් අනෙක් කොන වෙනකම් ඇදල තියෙන සංගිලි පාලමක් වගේ වැඩ කෑලි ගොඩක් තියෙනව. ගිහිල්ලම බලන්නකො.

එදා මෙදා තුර ………

ගෙදර ඉස්තෝප්පුවේ විවේක සුවයෙන් ඉඳින පුද්ගලයෙකි. ඔහු හමුවට පැමිණෙන තරුණයෙක් “මට __________ මුණගැහෙන්න ඕනෙ”.
“ඔව් මම තමයි”
“මම ලියපු ගීතයක් තියෙනව. ඔබට ඒක ගායනා කරන්න පුළුවන්ද?”
“කෝ බළමු”
තරුණයා ඔහුගේ සාක්කුවෙන් කොළයක් ගෙන අනෙක් පුද්ගලයාට දෙන ගමන් “මේක මම ලියපු පළවෙනි ගීතය. ඒ වගෙම මම ලියන අන්තිම ගීතයත් මේක.”
අනෙක් පුද්ගලයා තරුණයා දුන් ගිතය කියවා.
“හොඳ ගීතයක්. ඇයි ඔයා කිව්වෙ මේක ඔයා ලියන අවසාන ගීතය කියල?”
“මට තව ගීත ලියන්න හැකියාවක් නැහැ. මේකෙ තියෙන්නෙ මගෙ අත් දැකීමක්.”
“මොකක්ද ඒ?”

මේ තරුණයා තරුණියක් සමඟ ඇති කරගත් පෙම් සබඳතාවයට තරුණියගේ ගෙදරින් ඉතා දැඩි විරෝධයක් එල්ලවිය. ඒ සමඟම තරුණයාට දුර පළාතකට යන්නට සිදුවිය. (මගේ මතකය නිවැරදි නම් රාජකාරිය උදෙසා) මේ සමඟම පෙම්වතියගෙන් දුරස් වෙන්නට සිදුවූ අතර ඇය පිළිබඳ තොරතුරුද නොලැබී ගියේය.
සැලකිය යුතු කාලයකට පසු තරුණයාට පෙම්වතියගේ පියාගෙන් විදුලි පණිවිඩයක් එයි. “වහාම පැමිණෙන්න!”
තරුණයා පෙම්වතියගේ නිවෙසට යනවිට එහි අවමඟුලකි. ඒ අවමඟුළ තමාගේ පෙම්වතියගේ බව ටික වේලාවකින් ඔහුට වැටහෙයි.
ඔහු ගීතයේ ලීවේ තමා මුහුණදුන් ඒ අවාසනාවන්ත අත්දැකීමය. විමල් ජයශාන්ත නම් ඔහුගේ ගීතය ගායනා කල ගායකයා අන් කවරෙකුත් නොව ශ්‍රිලාංකීය ගීත සාහිත්‍යයේ නොමැකෙන නමක් සටහන් කල මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතායි. සනත් නන්දසිරි මහතාට අනුව ඊට පසු මේ ගීතයේ රචකයා වන විමල් ජයශාන්ත ඔහුට නැවත මුණගැසී නැත. පසුව ඔහු ජීවතුන් අතර නොමැති බව ආරංචි විය.

එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා….

දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට පියේ….

සින්දුව මෙතැනින් අහන්න.
විශේෂ ස්තූතිය : පසුබිම් කතාව කියපු මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාට

Previous Older Entries