පෑන් ගැසීම සහ අනෙකුත් ක්‍රීඩා

ඉස්කෝලෙ යන කාලෙ අපි ඉතින් බලාගෙන ඉන්නෙම  free period එකක් හම්බ වෙනකං නෙ! ඒකට එක එක හේතු තිබුන. ඔහොම තිබුන එක හේතුවක් තමයි “පෑන් ගහන්න” තිබුන පිස්සුව. සමතලා මතුපිටක් තියෙන desk එකක් හරි එහෙම desk දෙකක් එකට ළං කරගෙන හරි ඔන්න කට්ටිය පෑන් ගහන්න සෙට් වෙනව. එක පිලකට එක් කෙනෙක් හරි දෙන්නෙක් හරි සෙල්ලම් කරනව. අනෙක් පිලේ ඉන්න අයගෙ පෑන් තමුන්ගෙ පෑනෙන් ගහල desk එකෙන් බිමට වට්ටන්න ඕනෙ. පෑනට ගහන්න ඕනෙ කැරම් ගහනකොට disc එකක්ට ගහනව වගේ.

ඔය පෑන් ගහන පිස්සුව කට්ටියට කොච්චර තිබුනද කියනවනම් කට්ටිය පෑන් ගහන්නම විශේෂයෙන් පෑනුත් හදාගන්න පටන් ගත්ත. පෑනෙ බර වැඩි කරගන්න නොයෙකුත් විදි! සමහරු එක එක ලෝහ කෑලි පෑන ඇතුලට දානව; තවත් සමහරු විවිධ හැඩ තියෙන පෑන්! ඒක හරියට මලල ක්‍රීඩා වලදි කට්ටිය තහනම් උත්තේජක පාවිච්චි කරනව වගේ. ඒක නිසා game එකක් පටන්ගන්න ඉස්සෙල්ල කට්ටිය අනෙක් පිළේ අයගෙ “හොර වැඩ” හොයන්නත් පුරුදු වෙලා තිබුන. ඔයින් මෙයින් කොහොම කොහොම හරි පෑන් ගහන වැඩෙත් නැගල ගියා!

ඔය වගේ free periods වලදි කරපු තවත් නොයෙකුත් “සෙල්ලං” තිබුන. book cricket ගැහිල්ල, නයා දිගේ පෑන් යැවිල්ල වගේ නොයෙකුත් දේවල්.

ප.ලි.) ඔන්න මගේ කොත්තුව ලක්බිම පත්තරේ පළවෙලා! ආහ් තව එකක්! සිංගප්පූරුවෙ කොත්තු තියෙන තැනක් ගැන හෝඩුවාවක් හම්බවුනා. ගිහින් බලල විස්තර කියන්නම්.

Lemon Chicken

Lemon Chicken

ඔන්න ආපහු තවත් මැක්ස කෑමක්. මේ දවස්වල කෑම ගැනමයි ලියවෙන්නෙ. 😀 (හික්ස්) මේ Lemon Chicken කියන එකත් මම කන්න කැමති එකක්. ලංකාවෙදි අපි මස්, මාළු කන්නෙ මිරිස්, තුනපහ දාල නිසා සමහර කට්ටියට ඕව නැතුව කන්න බැහැ. ඒත් වෙනස් රසවලටත් පුරුදු වෙන්න පුළුවන්නම් හොඳයි.

Lemon Chicken වල රසත් මටනම් නියමෙට අල්ලල ගිහින් තියෙන්නෙ. ඒත් තවම හදන්න try එකක් දුන්නෙ නැහැ. ඒත් පුළුවන් වෙලාවක බලන්න ඕනෙ. මෙන්න recipe එක.

Soy Sauce Chicken

කෑම ගැන ලියාගෙන යනකොට අනිවා ලියන්න ඕනෙ කෑමක් තමයි මේ Soy Sauce Chicken කියන්නෙ. මේක උතුරු  චීන කෑමක්; ඒත් දැන් නම් චීන මිනිස්සු ඉන්න ඕනෙ දිහාවක තියෙනව. මෙහෙ තියෙන කෑම වලින් මම කැමතිම කෑමත් මේක.

Soya Sauce Chicken

මුලින්ම මට මේ Soy Sauce Chicken කන්න හම්බවුනේ මම වැඩකරන ආයතනයේ ආපන ශාලාවෙන්. පස්සෙ මම මේක හදන හැටි අන්තර්-ජං-ජාලයෙන් හොයාගෙන අපි මෙහෙ ඉන්න apartment ඒකේදි හදල බැළුව.  Recipe එක එළට වැඩ. පස්සෙ නිවාඩුවට ලංකාවට ගිය වෙලේ එහෙදිත් හැදුව. මේකට ඕනෙ Dark Soya Sauce කියන සෝයා සෝස් එක ලංකාවෙදි හොයා ගන්න හම්බ වුනේ නැහැ. මට තේරුන විදිහටනම් ලංකාවෙ “සෝයා සෝස්” කියල තියෙන්නෙ  Light Soya Sauce.

කැමති කට්ටිය හදල බලන්න. Recipe එක මෙන්න.  ඉඟුරු ටිකක් වැඩිපුර දාන්න. කියල තියෙන ඒවට අමතරව රම්පෙ, කරපිංච ටිකක්, කරඳමුංඟු, කරාබු නැට්ටක් එහෙමත් දාන්න. ඇයි ලුණුත් ඕනෙ.

තෝෆු (Tofu)

අදත් කියන්න යන්නෙ තවත් මරු කෑමක් ගැන. මටනම් සිංගප්පූරුවෙ කෑම වලින් අල්ලලම ගිය කෑමක් මේ “තෝෆු”; අනෙක් අය ගැන නම් කියන්න දන්නෙ නැහැ.

ටෝෆු dish එකක්

තෝෆු කියන්නෙ චීනය මුල් කරගත් අග්නිදිග ආසියානු රටවල තියෙන කෑමක්; හදන්නෙ සෝයා කිරි වලින්. දැන් ලංකාවෙත් ජනප්‍රිය “සෝයා අයිස් ක්‍රීම්” හදන්නෙත් ඔය සෝයා කිරි වලින් තමයි. මෙහෙ මිනිස්සුන්ට සොයා කියන්නෙ අපිට පොල් වගේ තමයි! සෝයා කිරි විශේෂ ක්‍රමයකට මුදවල තමයි තෝෆු හදන්නෙ. නියම තෝෆු වල කියන්න තරම් රහක් නැහැ; කිරි රසක් විතරයි තියෙන්නෙ. ඒත් එක එක කෑම ජාති (dishes) හදන්න තෝෆු පාවිච්චි කරනව. විවිධ රසවල් එක්ක මිශ්‍ර වුනහම තෝෆු මාර රසයි මටනම්.

ඔය නියම තෝෆු වලට අමතරව බිත්තර කලවම් කරල හදපු බිත්තර තෝෆු වගේම එක එක දේවල් මිශ්‍ර කරල විවිධ රසවල් එන විදිහට හදපු තෝෆු වර්ගත් මෙහෙ තියෙනව.

පහුගිය පාර ලංකාවට ආපු වෙලේ මම ලංකාවෙ ගොඩක් තැන්වල තියෙන සුපිරි වෙළෙඳසැල් වල තෝෆු හෙව්වට හම්බවුනේ නැහැ. ඒත් පස්සෙ මට කවුද කිව්ව වැල්ලවත්තෙ කාගිල්ස් එකේ තියෙනව කියල. අන්තර්-ජං-ජාලයෙන් කෑම වට්ටෝරුවක් හොයාගෙන කට්ටියත් තෝෆු හදල බලන්න.

(මුල් ලිපියේ තිබූ “ටෝෆු”; තෝෆු ලෙස නිවැරදි කරන ලදී!)

මී (Mee)

අද කියන්න යන්නෙ මී ගැන. මේක කෑමක්. ඒත් අර අපේ ආදිවාසී ඇත්තෝ බැද්දට වැදිල කඩන මී නම් නෙමෙයි.

හොකේන් මී

“මී” කියල කියන්නෙ noodles වර්ගයක්; සමහරුන්ට අනුව noodles වලට චීන “හොකේන්” භාෂාවෙන් කියන නම. නම එච්චර වැඩක් නැහැනෙ කන්න පුළුවන් නම්! සිංගප්පූරුවෙ ඉන්න කොට නම් ගොඩක් කන්න හම්බවෙන කෑම ජාතියක් තමයි මේ මී. එක එක විදිහට, එක එක රසට හදන්න පුළුවන්. විවිධ ඝණකමට විවිධ හැඩ වලට ගන්නත් පුළුවන්. විවිධ රසවල් ගැන කතා කරනකොට ඉතින් මෙහෙ ඉන්න චීන්නු නම් සෝස් පප්පල. හදන ඕනෙම කෑමකට මොකක් හරි සෝස් එකක් දානව. රසයක් නැත්තෙමත් නැහැ ඉතින්.

සෝයා සොස් දාපු බී හූන්

“බී හූන්” කියන හාල්පිටි වළින් හදන මී ජාතිය තමයි මම කන්න කැමතිම. ඔය බී හූන් ලංකාවෙත් තියෙනව මට මතකයි. ලංකාවෙ තියෙන්නෙ අර “කොත්තු මී” කියල  ජාතියක්. ඕකට “මී” ආවෙ මේ “මී” වලින්ද දන්නෙ නැහැ. “කොත්තු මී” ප්‍රීමා brand එකක් නිසා වෙන්නත් පුළුවන්! මොකද ප්‍රීමා කියන්නෙ සිංගප්පූරු කොම්පැණියක්නෙ.

කොත්තුව

මේ දවස්වල එච්චර වැඩක් නැති නිසාත්, අපේ මරණෙ හැම තිස්සෙම කන බොන ඒව ගැන කියන නිසාත් මටත් හිතුන කෑමක් ගැන ලියන්න.

ඒ ඉතින් අපි හැමෝම කාල තියෙන “කොත්තු”. කොත්තුවක් කාල නැති එකෙක් ලංකාවෙන් හොයාගන්නත් බැරුව ඇති මගෙ හිතේ. එච්චරටම කොත්තුව ලාංකීය වෙලානෙ. කොත්තු කියන්නෙ දුප්පත් මිනිහගෙ කෑමක් කියල කිව්වට දැන් නම් හොඳට සල්ලිය බාගෙ තියෙන අයගෙත් favourite කෑමක් වෙලානෙ. ඉස්සරනම් මට මතක කොත්තු “රොටි “ගැන; ඒත් දැන් නම් ඉඳි ආප්ප කොත්තුත් තියෙනවනෙ. කොත්තුව ඉතින් vegetable කොත්තු, බිත්තර කොත්තු, chicken කොත්තු, beef කොත්තු කියල වර්ග ගොඩයිනෙ. හැබැයි මම නම් pork කොත්තුවක් ගැන අහල නැහැ. සමහර විට තියෙනවත් ඇති.

කොත්තු රොටි

කොත්තුව හදනකොට දාන music එකෙනුත් කොත්තුවට unique ගතියක් එනව. ඒකනෙ අර සින්දුවක කියන්නෙ “සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය…..” කියල. 😀 (හික්ස්) මම හිතන්නෙ වැඩියෙන්ම සද්ද දාල හදන කෑම කොත්තු වෙන්න ඇති. කොත්තු හදන්නත් හැමෝටම බැහැ. ඒකට “කොත්තු බාස්” කෙනෙක්ම ඕනෙ. ඒකත් මරු job  එකක් වෙන්න ඇති!.

මෙහෙ ඉඳන් ලංකාවට නිවාඩු ගියහම මුල් දවස් ටිකේ රෑ කෑම කොත්තුවක්ම තමයි. ඒක අනිවා! සිංගප්පූරුවෙ කොච්චර ඉන්දියන් කඩ තිබුනත් කොත්තුවක් කන්න තැනක් නැහැ මගෙ දැනීමෙ හැටියටනම්. හැබැයි මෙහෙ පරාටා නම් තියෙනව. දවසක try එකක් දාල බලන්න ඕනෙ පරාටා වලින් කොත්තුවක් හදන්න.

Pizza වල උපත සිද්ධ වුනේ ඉතාලියෙ නාපෝලි නගරයේ වගෙ කොත්තුවෙ උපත වෙලා තියෙන්නෙ ලංකාවෙ මඩකළපුවෙන් කියල තමයි මම අහල තියෙන්නෙ. මමත් ඉතින් ඕන් කට්ටියට ඔය කතා කිය කිය අපේ නැගෙනහිර චාරිකාවෙදි ගියා මඩකළපුවට කොත්තුවක් කන්න. මොන කොත්තුද? අපි යනකොට මඩකළපුව වතුරෙන් යටවෙලා ඒ දවස්වල වැහැපු ධාරාණිපාත වර්ෂාව හින්ද. ඒත් මම ගේම අත අරින්නෙ නැහැ ආපහු යනව මඩකළපු, කොත්තුව උපන් නගරයෙන්ම කොත්තුවක් කාල එන්න.

කට්ටියම මඩකළපුවෙදි සෙට් වෙමුද කොත්තු කන්න?

වෙහෙරගල චාරිකාව

Nokia GPS එළට වැඩ!

දෙසැම්බර් මාසෙ නිවාඩු අරගෙන ලංකාවට ආපු වෙලාවෙදි මගෙ යාළුවෙක් අපූරු ගමනක් යන්න කතා කලා. ඒ වෙහෙරගල ජලාශය බලන්න යන්න. වෙහෙරගල ජලාශය භාර ඉංජිනේරු මහත්මය විදිහට ඉන්නෙ අපිත් එක්ක එකට විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගත්ත අපේ හොඳ යාළුවෙක් නිසා ඇත්තටම අපිට මේ ගමන අපේ යාළුවෙක්ව බලන්න යන ගමනකට සමාන වුනා.

වෙහෙරගල පිහිටල තියෙන්නෙ බුත්තල – කතරගම මාර්ගයට බටහිරින් වෙන්න ලුණුගම්වෙහෙරට ඊසාන දෙසින්. ව්‍යාපෘතියෙ අරමුණ වෙලා තියෙන්නෙ මැණික් ගඟේ වතුර ලුණුගම්වෙහෙරට අරගෙන යන එක. හරියටම තියෙන තැන කියනවනම් වෙහෙරගල තියෙන්නෙ යාල ජාතික වනෝද්‍යානයෙ කලාප අංක 5හේ. බුත්තල – කතරගම මාර්ගයෙ ඇවිත් ගල්ගේ හරියෙදි තමයි ඇතුළුවීමේ මාරිගය තියෙන්නෙ. මේ වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය 100%ක්ම අපේ ඉංජිනේරුවන් කරපු වැඩක්.

ඔන්න අපි කට්ටිය පාදුක්ක -> ඉංගිරිය -> රත්නපුර -> පැල්මඩුල්ල -> තිඹොල්කැටිය මාර්ගයේ තණමල්විල වෙනකම් ඇවිත් අපේ යාළුව මුණගැහිල දවස් කීපයකට සෑහෙන්න බඩුත් අරගෙන ගමනට සෙට් උනා. අපි යනකොට ඒ පැත්තට හොඳටම වහිනව. අපේ යාළුව කිව්වෙ සමහරවිට දවස් 2ක 3ක් යනකොට මුල්ම වතාවට ජලාශයෙ වාන් දොරටු අරින්නත් සිද්ධ වෙයි කියල.ඒක නිසා දිවා – රෑ නොබලා ඒ අය ජලාශයෙ වතුර මට්ටම ගැන අවධානයෙන් හිටියෙ.

මැසි මාරා

අපිට අපේ මිතුරත් එක්ක ඉන්න ලැබුණෙ දවස් 3ක් විතරයි මොකද ඊට පස්සෙ තවත් යාළුවෙක්ගෙ විවාහ උත්සවයක් තිබුණ. වතුර මට්ටම පිටාර මට්ටමට ගොඩක් ආසන්න වුනත් වාන් දොරටු අරින්න තරම් තත්ත්වයක් අපි එහෙ ගතකරපු දින කීපයේදි උදාවුනේ නැහැ.

වෙහෙරගල ජලාශය අවට වන සත්තුන්ගෙන් නම් අඩුවක් උනේ නැහැ. සත්තු කිව්වහම මදුරුවො තමයි වැඩියෙන් හිටියෙ. හැබැයි ඒ රෑ නිදාගන්න වෙලාවෙදි තමයි. කාලෙකට පස්සෙ ලංකාවට ගියහම මදුරුවෙක් කෑවෙ නැති වුනහමත් ගතියක් නැහැනෙ ඉතින්. 😀 (හික්ස්)

තිත් මුවා

යාල ජාතික වනෝද්‍යානයෙ කලාප අංක 5හේ වෙහෙරගල ජලාශයට ආසන්නව වෙහෙරගල, වෙහෙර හත කියන පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් පිරිච්ච නටඹුන් වෙච්ච පැරණි බෞද්ධ සිද්ධස්ථාන පිහිටල තියෙනව. අපිට ඒ සිද්ධස්ථාන බලන්නත් යන්න පුළුවන් වුනා.

ඔය ගමනෙදි තවත් අපූරු අත්දැකීමක් අපිට ලැබුන. ඒ තමයි “වල් අලි එලවිල්ලකට” සෙට් වෙන්න හම්බවෙච්ච එක. ඒක සෙට් වුනේ ටිකක් අහඹු විදිහකට. වෙහෙරගල ජලාශය පිරෙනකොට කොහෙදෝ ගම්මානයකට වතුර ගලල කියල ආරංචියක් ලැබුන නිසා අපි ඒ ගැන හොයන්න යනකොට තමයි අපි ඔය “වල් අලි එලවිල්ලට” මැදි උනේ. පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවට අයත් අලි එලවිල්ලටම නවීකරණය කරපු ට්‍රැක්ටරයකින් තමයි අලි එලෙව්වෙ! අන්න ට්‍රැක්ටර්! 😀 😀 (හික්ස්)

වල් අලි එලවිල්ල

අපි දවස් 3ක් වෙහෙරගල ඉඳල ආවයි කියමුකො. ඔන්න ඊට පස්සෙ දවසෙ රෑ ප්‍රවෘත්ති වලට කියනව වෙහෙරගල ජලාශයෙ වාන් දොරටු ඇරිය කියල.! 😀 (හික්ස්) මක් කොරන්නද ඉතින්?

වෙහෙරගල ජලාශයෙ ඉස්මත්තට වෙන්න වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති සංචාරක බංගලාවක් තියෙනව. කට්ටිය යන්න කැමතිනම් ඕක book කරගෙන ගිහින් බලන්න.

චාරිකාවෙ තවත් ඡායාරූප මෙතනින්.

Previous Older Entries