පෙත්සම

පහුගිය දොහේ බ්ලොග් එකේ කොටන්න බැරි වුනා. චාරිකා සටහන් පොත් කීපයක් කියවල ආපු අදහසකට අනුව මමයි මකරයි සෙට් වෙලා සෙලමට් ඩටාන් (Ayubowan) කියල Travel Blog වර්ගයෙ බ්ලොග් එකක් පටන්ගත්ත අපි සිංගප්පූරුවෙදි අත්විඳපු අත්දැකීම් සටහන් කරන්න. ඔය Selamat Datang කියන්නෙ මැලේ භාෂාවෙන් ආයුබෝවන් කියන එකට. මේ බ්ලොග් එකට pick up එකක් දෙන්න ඕනෙ නිසා “දියකැට පහණ” කොටන එකට පොඩි තිත් කොමාවක් දාල හිටියෙ. දැනට සිංගප්පූරුවෙ ඉන්න මගෙ තවත් යාළුවො දෙන්නෙකුටත් මම ආරාධනා කළා අපේ මේ සෙලමට් ඩටාන් (Ayubowan) වලට සහභාගී වෙන්න කියල. යහපත් ප්‍රතිචාර ලැබිල තියෙන්නෙ. ඒ දෙන්න මේ බ්ලොග් කෙරුවාවට ආධුනික නිසා තමයි පොඩ්ඩක් පස්ස ගහන්නෙ. බලමුකො ඉතින්.

ඔන්න එහෙනම් මාතෘකාවට බහිමුකො.

පෙත්සම

“ගමේ වැව වාංදැමීම ඉතාම සිරියාවන්තයි.” කියල පටන්ගන්න මේ පොත මම කියවපු මුල්ම දවසෙ ඉඳන් ගොඩක්ම ඇලුම් කරපු පොතක්. පොත්වලට ආදරය කරන කට්ටියනම් මේ වාක්‍යය කියපු ගමන් දන්නව මොකක්ද මේ පොත කියල. ඔව්. ඒ ලීල් ගුණසේකර ශූරීන්ගෙ “පෙත්සම” කියන පොත.

ලංකා සිවිල් සේවය බැබළවූ කීර්තිමත් දිසාපතිවරයෙක් වෙච්ච ලීල් ගුණසේකර ශූරීන්ගෙ මේ “පෙත්සම”ට 1962දි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ලැබුණ. මේ පොතට ඇළුම් කරන ප්‍රධානම හේතුව තමයි ලියල තියෙන සරල භාෂාව. ඒක නිසා මේ පොත එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. ඒ වගේම ඒ සරල භාෂාව නිසා “ගැමිකම” කියන දේ ඉතාමත් හොඳින් ඉස්මතු වෙනව. කථානායකය වෙච්ච තිලකරත්නගෙ පොඩි කාලෙන් පටන් අරගෙන තරුණ කාලය වෙනකං දිවයන මේ කතාවෙන් ඒකාලයේදී රජරට ගැමියා මුහුණ දීපු දුක් දොම්නස් කම්කටොලු ඉතාමත් හොඳට විස්තර වෙනව.

මට මේ පොත ලැබුණෙ නාලන්දාවෙ 9 වසර අවසන් කරපු දවසෙදි හෑගොඩආරච්චි ගුරු පියාණන්ගෙන් තෑග්ගක් විදිහට. පස්සෙ කාලෙකදි මේ කතාවෙ දෙවෙන කොටස කියවෙන “අත්සන” පොතත් කියවන්න හම්බවුනා. ඒ මගෙ අම්මගෙයි තාත්තගෙයි පොත් එකතුවෙ තිබිල.

හෑගොඩආරච්චි ගුරු පියාණන්ට තුති!

මේ තියෙන්නෙ ලීල් ගුණසේකර ශූරීන් ගැන සිළුමිණ පත්‍රයේ පළවුන ලිපියක්.
මේ තියෙන්නෙ “පෙත්සම” ගැන මහාචාර්යය තිස්ස කාරියවසම් ශූරීන්ගෙ විචාරයක්.

කට්ටිය කියවල බලන්නකො ඉතින්!

Litter Bug

කාලෙකින් කියන්නෙ ගොඩ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දැන් ඉතින් ඉන්න හිටින තැනුත් වෙනස් වෙලා. සිංගප්පූරු ජීවිතයට ආයුබෝවන් කියල ආපහු සිරිබර සිරි ලංකාවෙ ඉඳන් තමයි බ්ලොග් එක කොටන්නෙ.

සෑහෙන කාලෙකට පස්සෙ ඊයෙ කොළඹ යන්න පුළුවන් උනා. මම විශ්වාස කරන විදිහට කොහේ ගියත් ඒ පළාතෙ නියම ජන ජීවිතය අධ්‍යයනය කරන්න ඕනෙ නම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න ඕනෙ. ඔන්න ඉතින් කොළඹ ගිහින් තිබුණ වැඩේත්  ඉවරකරගෙන තුම්මුල්ලෙන් 125ක නැග්ග ආපහු ගම රට බලා එන්න.

මීට අවුරුදු 2කට කලින් තිබුණ කොළඹත් එක්ක බලනකොට භෞතිකමය වශයෙන් සැලකියයුතු දියුණුවක් තියෙනව. අළුත් රථ වාහන ගමන් මාර්ග සංකල්පය මරේ මරු. ඉස්සර වගේ නෙමෙයි traffic ගොඩක් අඩු වෙලා. ඒක ඇත්තෙන්ම ලොකු දියුණුවක්.

ඒත් දූවිල්ල, කුණු කියන දේවල්නම් වැඩිවෙලා කියල තමයි මගෙ කල්පනාව. මගේ අත්දැකීම් අනුව රටක් නගරයක් කොච්චර භෞතිකමය වශයෙන් දියුණු වුනත් වැඩක් වෙන්නෙ නැහැ ඒ රට නගරය පිරිසිදු නැත්නම්. මම දැකල තියෙන හොඳම උදාහරණය තමයි මැලේසියාවෙ ක්වාලා ලම්පූර් නගරය. නගරය කොච්චර දියුණු වුනත් පිරිසිදුකම අන්තිමයි, හැම තැනම කුණු.

කැලි කසල නියමිත තැන්වලට බැහැර කරන්න

ඒත් සිංගප්පූරුව ගත්තහම පිටින් එන සංචාරකයින්ට පෙන්නන්න හදන්නෙ ලෝකෙ තියෙන පිරිසිදුම නගරය කියල. ඒ අය ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ රටේ ඉන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරල නම් නෙමෙයි. සිංගප්පූරුව කියන්නෙ දැඩි නීති රීති තියෙන, ඒ වගේම ඒ නීති ඒ විදිහටම ක්‍රියාත්මක කරන තැනක්. නීති රීති තද වැඩි නිසා මිනිස්සු වරදක් කරන්න කළින් කීප පාරක් හිතල බලනව.

වැඩිය ඕනෙ නැහැ අපේ රටේ කීයෙන් කී දෙනාද අපි විසි කරන ටොපි කොළේ, පොඩි කඩදාසි කෑල්ල කුණු බාල්දියට දාන්නෙ? මම හිතන විදිහට අපි කවදහරි මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරල ඕක කරන්න ඉන්නවනම් කවදාවත් අපිට ඕක කරන්න වෙන්නෙ නැහැ. මට මතකයි කවුද කියනව “ලෝකෙ කොහේ හිටියත් මිනිස්සු, මිනිස්සුමයි; හැබැයි ඔය හැම මිනිහම දඬුවමට බයයි” කියල.

ඔන්න මහරගමදි බස් එකට නැග්ග පිරිමි කෙනෙක් අතේ රටකජු හරි ගල් සියඹලා හරි ගොට්ටක් එක්ක. මේ මිනිහ ඒ ටික කාල ඉවරවෙනකල්ම කලේ රොඩු ටික බස් එකේ ජනේලයෙන් එළියට විසිකරන එක. ඔන්න ඔහොමලු කොළොම්පුරේ ශ්‍රියා!

සිංගප්පූරුවේ සීගිරිය..

දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයි නොවැ. ඉඳල හිටල තමයි බ්ලොග් එකේ ලියන්නෙ. හැබැයි දවස ගානෙ අනෙක් අය ලියන ඒවනම් අඩුවක් නැතුව කියවනව. ඔය අල්ල පනල්ලෙ තමයි දැනගත්තෙ අපේ සහෲද බ්ලොග්කරුවෙක් වුන තම තම නැණ පමණින් ලියපු කුමුදු පින්තු මහතා අප අතරින් වෙන් වෙලා ගිහින් කියල. ඉතින් දියකැට පහණෙන් මමත් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනව.

 

Marina Bay Sands

Marina Bay Sands

 

ආපහු මාතෘකාවට එමු. ඔන්න දැන් සිංගප්පූරුවට එන කට්ටියට බලන්න යන්න තවත් අළුත් තැනක් තියෙනව. නම Marina Bay Sands. මේක integrated resort එකක්. ඒ කියන්නෙ නවාතැන් පහසුකම් තියෙන හෝටලයක් විතරක් නෙමෙයි සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයක්, කැසිනෝ , රාත්‍රී සමාජශාලා, අවන්හල්  වගේ තවත් ගොඩක් දේවල් තියෙනව. Marina Bay Sands අයිති වෙන්නෙ ඇමරිකාවෙ ලාස් වේගාස් මූලස්ථානය කරගත්ත Sands කියන කැසිනෝ සමූහයට. ආසියාව ගත්තහම Sands සමූහයේ චීනයෙ මැකාවෝ වලට පස්සෙ සිංගප්පූරුවෙ තමයි ශාඛාවක් තියෙන්නෙ.

Marina Bay Sands වල තියෙන ඒවගෙන් මැක්සම දේ තමයි කුළුණු 3කින් සහ තට්ටු 55කින් සමන්විත මේ ගොඩනැගිල්ල උඩ තියෙන Sky Park එක. සිංහලෙන් ඕනෙනම් “අහස් උද්‍යානය” කියන්න පුළුවන්. මේක තියෙන්නෙ පොළොව මට්ටමේ ඉඳන් මීටර 200ක් උඩින්.

මේ Sky Park එකට ගියහම නවීන් සිංගප්පූරුවේ අංශක 360ක දර්ශනයක් බලාගන්න පුළුවන්. ඒ දර්ශනය ඇත්තටම නියම අත්දැකීමක්.

Sky Park Details
Marina Bay Sands SkyPark එක කොටස් කීපයකින් සමන්විත වෙනව. Public Observation Deck කියන්නෙ මහජනයාට ඇවිත්  සිංගප්පූරුවෙ Skyline එක බලාගන්න පුළුවන් නැරඹුම් ප්‍රදේශයක්. ඊට අමතරව මේකෙ Infinity Pool කියල මීටර 150ක් දිග පිහිණුම් තටාකයක් තියෙනව. මේ පිහිණුම් තටාකයෙ එක පැත්තක් හදල තියෙන්නෙ පිටින් බැලුවහම SkyPark එකේ කොණේම තියෙනව වගේ පේන්න. ඔය ක්‍රමේට කියන්නෙ Vanishing Edge ලු. ඒකනම් මරේ මරු. ඕව මේවට අමතරව තව පොඩි Sky Gargen එකතුත් එන කට්ටියට කන්න බොන්න ඕනෙ වුනොත් ආපනශාලා පහසුකම් එහෙමත් තියෙනව. හැබැයි ඉතින් ලෝකෙ මුල්ම අහස් උද්‍යානය හැදුවෙ ලංකාවෙ අය. (බැබිලෝනියාවෙ එල්ලෙන උද්‍යානයක් තිබ්බ කිව්වට සාක්ෂි නැහැනෙ ) ඒ ඉතින් අපේ සීගිරියනෙ.
සිංගප්පූරුවට ආපු වෙලාවක කට්ටිය මෙතනට නොවරදාවම යන්න. හැබැයි ඉතින් ඩොලර් 20ක ටිකට් එකක් ගන්න වෙනව. සිංගප්පූරුවෙ  MRT System එකේ Circle line එකේ තියෙන Promenade කියන station එකෙන් බැහැල විනාඩි 10ක් විතර ගමනකින් මෙතනට යන්න පුලුවන්. තව ටික කාලෙකින් North – South line එකේ Marina Bay කියන station එකෙනුත් එන්න පුළුවන් වෙයි මගෙ හිතේ. SkyPark එකට යන්න ටිකට් ගන්න තියෙන්නෙ Marina Bay Sands වල 3වෙනි කුළුණ යටින්. කට්ටිය එහෙනම් සිංගප්පූරුවෙ සීගිරියටත් ගිහින් බලන්නකො.

 

19 වසරකට පෙර – ගාමිණී කුලරත්න

හසලක වීරයා

හසලක වීරයා

ගොඩක් කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. ඒත් අදනම් ලියන්නම ඕනෙ. ඒ අද දවසෙ තියෙන ලොකු වැදගත්කමක් නිසා.

හරියටම අවුරුදු 19කට ඉස්සර අද වගේ දවසක ඉතා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් ලාංකීය ජාතියේ තියෙන නිර්භීතභාවය මොනවට පෙන්නමින් ජාතිය වෙනුවෙන් තමුන්ගෙ ජීවිතය පරිත්‍යාග කලා.

මහනුවරට ආසන්න කුඩා නගරයක් වන හසලක ලංකාව  ඇතුළත විතරක් නෙමෙයි මුළු ලෝකයම දැන් දන්නේ හසලක වීරයගෙ ගම හැටියට. හසලක වීරය කියන්නෙ කවුද කියල ඇහැව්වොත් ඒ වීරයගෙ නම කියන්න බැරි උනත් ඒ වීරය කරපු වීර ක්‍රියාව පොඩි ළමයි පවා දන්නව.

එදා අලිමංකඩ හමුදා කඳවුරත් කඳවුරේ සිටින සහෝදර සෙබළුත් බේරා ගන්න තමුන්ගෙ ජීවිතය පූජා කලේ කොයි කවුරුත් හසලක වීරය කියල කියන කෝප්‍රල් ගාමිණී කුලරත්න PWV රණ විරුව. ඒ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය රණ විරුවෙකු වෙනුවෙන් පිරිනමන උසස්ම සාංග්‍රාමික පදක්කම වෙන පරම වීර විභූෂණයෙන් මුළින්ම පිදුම් ලැබුව; ඒ 1991 ඔක්තොම්බර් 10 වෙනිද එවකට ජනාධිපති වෙලා හිටපු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින්.

නූතන ජාතික වීර පරපුරක අමරණීය සටහනක් තැබූ මේ ශ්‍රී ලාංකීය රණ විරුවාට දිය කැට පහණේ උත්තමාචාරය මෙසේ පිරිනැමෙන වගයි.

ප.ලි.) සුප්‍රකට Reader’s Digest සඟරාවේ හසලක වීරයා ගැන පළවූ ලිපියක සිංහල පරිවර්තනය මෙතැනින් කියවන්න.

මෙන්න Safety

ලංකාවෙ වගේ නෙමෙයි අනෙක් ගොඩක් රටවල කර්මාන්තශාලා සහ වැඩ බිම් වලදි සේවකයින්ගෙ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිළිමත් වෙනව. ඒවගේම ගොඩක් තද නීති රීති එහෙමත් තියෙනව. සිංගප්පූරුවෙ තියෙන ඔය “සේවක වැඩබිම් ආරක්ෂාව” (Industrial Workers’ Safety) ගැන දැනුවත් කිරීමේ දේශනයකදි අපිට පෙන්නුව photo ටිකක් තමයි අද මේ post කරන්නෙ.

කොහොමද පින්තූර ටික? පිස්සු හැදෙනව නේද? ඇමරිකාවෙ New York නගරයේ Empire Estate කියන ගොඩනැගිල්ල හදන කාලෙ (1931දි විතර)  ගත්ත පින්තූර ටිකක් මේ! අරන් තියෙන්නෙ Lewis Wickes Hine කියන එක්කෙනා. මේ පින්තූර ටික ඒ දවස් වලදි ඇමරිකානු සමාජයේ ඇස් අවදි කරවන පින්තූර ටිකක් වෙලා. ඊට පස්සෙ තමයි ඔය “සේවක වැඩබිම් ආරක්ෂාව” කියන එක දිහාවට බලධාරීන්ගෙ ඇස් යොමු වෙලා තියෙන්නෙ.

සරුංගලේ

නන්දා මාලිනියන්ගේ “සරුංගලේ” කියන සින්දුව මට අහම්බෙන් වගේ youtube එකේ කරක්ගහපු වෙලාවක අහන්න සෙට් වුනා.

ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන “බුද්ධි ගලනය” කියන මාතෘකාව නියමෙට මේ සින්දුවෙන් ආමන්ත්‍රණය කරනව කියල තමයි මටනම් හිතෙන්නෙ. ලංකාවෙන් බිහිවෙන හුඟක් ඉංජිනේරුවො, දොස්තරල ඒ තැන්වලට ආවහම හුඟක් කතා කරන්නෙ තමුන්ට නොමිළේ උගන්වපු රටට, තමුන්ගෙ අධ්‍යාපනයට වියදම් කරපු අසරණ මිනිස්සුන්ට තමුන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් නෙමෙයි; තමුන්ට, තමුන්ගෙ “ලොකු තත්ත්වයට” ලැබෙන්න ඕනෙ අයිතිවාසිකම් ගැන.

Swades - We The People

Swades - We The People

අපිව ඉංජිනේරුවො, දොස්තරල කරන්න ගඟේ වැලි ගොඩදාන මනුස්සයගෙ ඉඳල රටේ ඉන්න හැම දුප්පත් මිනිහම බදු ගෙවනව. එච්චර වෙහෙසක් දරල රට ඉංජිනේරුවො, දොස්තරල හදන්නෙ උන් මේ රටට සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්; එහෙව් එකේ දුප්පත් රටකින් නොමිළේ උසස් අධ්‍යාපනය ලබාගෙන තමුන්ගෙ ආත්මාර්ථය විතරක් බලාගෙන සංවර්ධනය වෙච්ච රටකට සංක්‍රමණය වීම කොච්චර බාල වැඩක්ද? Swades කියන හින්දි චිත්‍රපටියෙනුත් මේ ප්‍රශ්නය නියමෙට සාකච්ඡා කරනව.

කොහොම වුනත් දොස්තරලට, ඉංජිනේරුවන්ට නියම වෘත්තීය තත්ත්වයක් අපේ රටේ නැහැ කියන එකනම් පිළිගන්න වෙන සත්‍යයක්. ඒත් රට හැර දාල යන එක නෙමෙයි කරන්න ඕනෙ. අදාල වෘත්තීන්ට ලැබෙන්න ඕනෙ සාමාජීය හා ආර්ථික තත්ත්වය හදාගන්න එකත් එක්තරා දුරකට ඒ වෘත්තීන්වල යෙදෙන අයගෙම වගකීමක්. එහෙම හදාගන්න අමාරුයි කියළ හිතෙනවනම් පිටරටක වැඩ කළත් කමක් නැහැ, තමුන් හම්බකරන සල්ලි තමුන්ට උගන්වපු රටට එවනවනම් migrate වෙන්නෙ නැතුව. මේ ලෝකෙ මොන දේ වෙනස් කළත් ඉපදුන රටයි, අම්මවයි වෙනස් කරන්න බැහැ කියළ කොහෙද තිබුණ මට මතකයි.

උපන් බිමට වඩා තැනක් කොහෙද තියෙන්නේ………….

මළගිය ඇත්තන්ගේ මාසය

චීන ජාතිකයන්ගෙ දින දර්ශනයට අනුව දැන් මේ ගතවෙන්නෙ 7වෙනි මාසය. ඒගොල්ලන්ගෙ විශ්වාසයට අනුව මේ 7වෙනි මාසෙ 15වෙනි දවසට අපායෙ ගේට්ටු ඇරෙනවලු. එතකොට අපායෙ ඉන්න මළගිය ප්‍රාණකාරයො ආපහු මහ පොළොවට එනව.

මළගිය ඇත්තන්ට කෑම

මළගිය ඇත්තන්ට කෑම

ඔන්න ඉතින් කට්ටිය මේ ඒන මළගිය ප්‍රාණකාරයො සතුටු කරන්න  14වෙනි දවසෙ නොයෙකුත් දේවල් ඒගොල්ලන්ට දෙනව. කන්න බොන්න වගේම සල්ලිත් දෙනව. කට්ටිය ඉටිපන්දම් පත්තු කරල මළගිය ඇත්තන්ට දෙන්න සල්ලි පුච්චන එක මේ දවස්වල සිංගප්පූරුවෙ හැමතැනම දැකගන්න පුළුවන්.

සමහර තැන්වල හඳුන්කූරු පත්තු කරල මේසයක් පිරෙන්න කෑම පුරෝල තියෙනව කට්ටිය වෙනුවෙන්.

මළගිය ඇත්තන්ට සල්ලි

මළගිය ඇත්තන්ට සල්ලි

එකපාරටම මේක අපිට අමුතු විදිහට පෙනුනට අපිත් මේ වගේ වැඩ කරනවනෙ. ඇයි අපි ඔය පෙරේත තට්ටු තියන්නෙ! පෙරේත තට්ටු තියන්න අවුරුද්දෙ වෙන් වෙච්ච දවස් නැහැනෙ; ඒත් මේගොල්ලො ඒකට කාලයක් වෙන්කරගෙන. දානයක් දුන්නහම, පිරිතක් කිව්වහම වගේ පිං අතේ වැඩ කලහම අපි අපේ මළගිය ඇත්තන්ට පිං අනුමෝදන් කරන්නෙ; මේකත් ඒක වගේම තමයි. ඔය කොයි දේ කළත් අන්තිමට බැළුවහම කරන්නෙ අපෙ මියගිය ඥාතීන්ට කෘතගුණ සැළකීමනෙ. ඒකයි වැදගත් වෙන්නෙ.

Previous Older Entries