නිදිකුම්බා

“නිදිකුම්බා” කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නෙ කටු තියෙන තට්ටු කළාම ඇකිලෙන පොඩි පැළෑටියක්නෙ. අපි දැකල තියෙන නිදිකුම්බා මල රෝස පාට එකක්නෙ; ඒත් කහ පාට නිදිකුම්බා මලක්? ඔව් තියෙනව. මම මේ කහ පාට මල් පිපෙන නිදිකුම්බා දැක්කෙ සිංගප්පූරුවෙ තියෙන “ටෙකොං” කියන දූපතේදි. මේ පැළෑටියෙ මල රෝස පාට නිදිකුම්බා මලට වඩා ටිකක් ලොකුයි. කොළවල පාටත් ටිකක් තදයි.

රෝස නිදිකුම්බා

රෝස නිදිකුම්බා

kaha nidhikumbaa

කහ නිදිකුම්බා

Advertisements

කිරිගල්පොත්ත

කිරිගල්පොත්ත කන්ද ඈතට පේන හැටි

කිරිගල්පොත්ත කන්ද ඈතට පේන හැටි

අපේ කට්ටිය හොර්ටන්තැන්නට නම් ගිහින් ඇතිනෙ. ඔය ලෝකාන්තය, බේකර් ඇල්ල තියෙන්නෙ හොර්ටන්තැන්නෙනෙ ඉතින්. ඒත් ඔතනට ගිය කීයෙන් කීදෙනාද ඉතින් කිරිගල්පොත්ත කන්ද නැගල තියෙන්නෙ? කිරිගල්පොත්ත  කියන්නෙ මීටර 2392ක් උස ලංකාවෙ තියෙන දෙවෙනි උසම කන්ද. ඒත් අපිට යන්න පුලුවන් උසම තැන මොකද ආරක්ෂක හේතු නිසා පිදුරුතලාගල කන්ද දැන් නගින්න බැහැ.

අඩි පාර දිගේ

පාර දිගේ

අපි කිරිගල්පොත්ත නැග්ගෙ ටිකක් අහඹු විදිහට. මුලින්ම අපි හිතගෙන හිටියෙ සාමාන්‍ය විදිහට ලෝකාන්තය බලන්න යන්න. ඒත් අපි එදා ගිය පට්ටිපොල ඇතුලුවීමේ දොරටුවෙ දිග පෝළිමක් තිබුන ගමන් මලු පරීක්ෂා කරන්න. ඒක නිසා අපි පොලිමක් තියා කවුරුවත් යන්නවත් හිතල තිබුනෙ නැති කිරිගල්පොත්ත කන්ද නගින්න පටන්ගත්ත. මට මතක විදිහට පට්ටිපොල ඇතුලුවීමේ දොරටුවෙ ඉඳන් කිලෝ මීටර 11ක් තියෙනව පයින් යන්න කන්දෙ මුදුනට.

ගමන කොච්චර වෙහෙසකර වුනත් ආපහු බලනකොටනම් මාරම වටින ගමනක්. උදේ 10ට විතර පට්ටිපොල අතුලුවීමේ දොරටුවෙන් ඇතුලු වුනහම මට මතක විදිහට ආපහු අවෙ හවස 5ට විතර. පොඩි පොඩි රෙස්ට් අරගෙන නවත්තන්නෙ නැතුව ඇවිදින්න තමයි තියෙන්න. වටාපිටාවනම් මැක්ස!

ඊලඟ පාර හොර්ටන්තැන්නට ගියහම ඔයගොල්ලොත් මෙහෙ යන්න බලන්න.

මැලේසියාවට යමු! වතුර වෙනුවට තෙල් බොමු! ඔන්න තෙලේ බලේ

sfසිංගප්පූරුවට අල්ලපු සහ ලඟම රට තමයි මැලේසියාව. සිංගප්පූරුව නිදහස ගත්තෙත් මැලේසියාවෙන්. සිංගප්පූරුවෙ ඉඳන් මැලේසියාවට බස් එකේ, බයිසිකලේ නැත්නම් තමුන්ගෙ වාහනයක උනත් යන්න පුලුවන්.දැන් කියන්න යන්නෙත් මැලේසියාව ගැනම තමයි; මැලේසියාවෙ තෙල් ගැන.

ලංකාවෙදි ඔක්ටේන් 95 කියන හොඳම පෙට්‍රල් ලීටරයක් රු142ක් විතර වෙනව. සිංගප්පූරුවෙ නම් S$ 1.6 ක් (ලංකා රු130ක්) විතර වෙනව. මැලේසියාවෙ රිංගිට් 1.5ක් (ලංකා රු60ක්) විතර තමයි ගාණ. (බොන වතුර ලීටරයේ බොතලයක් එහෙ රිංගිට් 2ක් විතර වෙනව!)

මැලේසියාවෙ තෙල්වල ගාණ මෙච්චර අඩු වෙලා තියෙන්නෙ තමුන්ගෙම තෙල් පාවිච්චි කරන නිසා. මේ රට ඛණිජ තෙලුයි ස්වාභවික වායුයිවලින් හුඟක් පොහොසත් රටක්. රටේ ජාතික තෙල් අධිකාරිය වෙන “පෙට්‍රෝනාස්” තමයි දැනට ආසියාවෙ තියෙන වැඩියෙන්ම ලාභ ලබන ආයතනය. ඔය “පෙට්‍රෝනාස්”ම තමයි 1998ටේ ඉඳන් 2004 වෙනකම් ලෝකෙ උසම ගොඩනැඟිල්ල වෙලා තිබුන “පෙට්‍රෝනාස් නිවුන් ගොඩනැගිලි”වල අයිතිකාරයත්! ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද තෙලේ බලේ. රටේ ස්වාභාවික සම්පතක් නියම විදිහට කළමණාකරණය කරල ඒක ආසියාවෙම හොඳම ව්‍යාපාරය කරගෙන.eww

දැන් යුද්දෙත් ඉවරවෙලා තියෙන එකේ අපේ වාසනාවට තෙල් හම්බ වුනොත් අපේ කට්ටිය උදාහරණයට ගන්න ඔනෙ “පෙට්‍රෝනාස්” කියල තමයි මමනම් හිතන්නෙ. තෙල් කෙසේ වෙතත් හරියට කළමණාකරණය කරනවනම් ලංකාවෙ කොච්චරනම් කියල ස්වාභාවික සම්පත් තියෙනවද?

පසු වදන: අල්ලපු රටේ කොච්චර ගණන් අඩු වුනත් සිංගප්පූරුවෙ වාහනවලට මැලේසියාවට ගිහින් තෙල් ගහගෙන එන්න බැහැ. සිංගප්පූරු දේශසීමාවෙන් වාහනයක් එලියට යනකොට අඩුම තරමෙන් තෙල් ටැංකියෙන් 3/4ක් වත් පිරිල තියෙන්න ඔනෙ. එහෙම නැතිවුනොත් S$500ක දඩයක් ගහල වාහනේ ආපහු හරවලත් යවනව. ඔන්න ඔහොමයි මෙහෙ වැඩ! සිංගප්පූරුව කියන්නෙ බදු උල්පතක්! බද්දක් ගහන්නෙ නැති දෙයක් නැහැ! අල්ලපු රටට වඩා 230%ක් විතර හැම දෙයකම ගාණ වැඩියි.

ශ්‍රි ලංකාව සහ සිංගප්පූරුව

11මා ඉපදුන, හැදුන රට සහ දැනට සිටින රට සමඟ සැසඳීම තරම් නොවන දෙයක්. නමුත් අපට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංගප්පූරුවෙනුත්, සිංගප්පූරුවට ලංකාවෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.

1965 දී මැලේසියාවෙන් නිදහස ලබන විට සිංගප්පූරුව යනු අන්ත දුප්පත් රටක්. ඒත් ඊට අවුරුදු 40 කට පස්සෙ දැන් ලෝකයේ දියුණුම රටක් බවට පත් වෙලා. මුලදී සිංගප්පූරුවට ඕනෑ වුනේ කොළඹ නගරය “තරම්වත්” දියුණු වෙන්න. ඒ කාලෙ කොළඹට කිව්වෙ  “ආසියාවේ හරිත නගරය” කියල.

පොල් ගහේ කරටියට ගල් ගහන්න නම් හඳටවත් ඉලක්ක කළ යුතුයැයි කියමනක් තියෙනවනෙ. ඒත් පොල් ගහේ කරටියට ඉලක්ක කර ගල් ගැසූ සිංගප්පූරුව දැන් හඳට ගොහිං ඇත. අපේ කොළඹත්, රටත් ගියේ කොයිබටද? (පැවති යුද්ධය එක සාධකයක් පමණක් බව මම විශ්වාස කරමි. )

සිංගප්පූරුව අධික ජන ඝනත්වයක්ද අධික ජන විවිධත්වයක්ද ඇති රටකි. නමුත් ඉතා පිරිසිදු රටකි; මහජනතාවගේ විනය පවත්වා ගැනීම සඳහා ඉතා දැඩි නීති පනවා ඇති රටකි. නීති කඩ කලවිට මෙහි ඇති දඩ ඔලුව උස්සන්නට බැරි දඩය. Singapore is a FINE CITY කියන්නේ තේරුමක් ඇතිවය. මේ රටේ ස්වාභාවික සම්පතක් කියා කිසිවක් නැත. බොන්නට වතුර ටිකත් අල්ලපු රට වන මැලේසියාවෙන්ය. මෙහෙ මිනිස්සු පවුල් පිටින් විනෝද සවාරි යන්නේ මුහුදු වෙරළේ කූඩාරම් ගැසීමටය. නමුත් සිංගප්පූරු වැසියෝ ඔවුන්ට ඇති දේවල් උපරිමයෙන් භවිතා කරති; අලුත් ආකාරයට සිතති. ඒවා ක්‍රියාත්මක කරති; ඉතාමත් දක්ෂ සැලසුම් කරුවෝය.

ස්වාභාවික කැළයක් නැති රටේ ලොකයේ නොයෙකුත් රටවලින් සතුන් රැගෙනවිත් අග්‍රගණ්‍ය සත්තු වත්තක් සාදා ඇත. රෑට කළුවර වැටුන පසු මිනිස්සුන්ව බස් එකක් ඇතුලේ දමාගෙන සත්තු වත්ත ඇතුළේ සත්තු පෙන්නන්න එක්කං යෑම “Night Safari “යැයි කියා market කර ඇත.( ‍යාල, උඩවලව ඇතුළට රෑට එක්කගෙන ගියානම් මේගොල්ලන්ට තේරෙයි “Night Safari ” කියන්නෙ මොකක්ද කියල! මෙහෙ ඉන්නෙ කූඩු ඇතුලෙ දමාගෙන ඉන්න සත්තු. එහෙ ඉන්නෙ කැලේ ඉන්න නිදහස් සත්තු. ) අපේ රටේ ගොඩ කරන්නෙ වවාගෙන කන්න තියෙන කුඹුරු; මෙහෙ ගොඩ කරන්නෙ මහ මුහුද. තව අවුරුදු ගාණක් එහාට සැලසුම් කරල වැඩිවෙන ජනගහනයට අවශ්‍ය භූමිය හදාගන්න මෙයාල මුහුද ගොඩ කරනව.

තව අවුරුදු ගාණකට පස්සෙ අවශ්‍යවන ප්‍රවහන අවශ්‍යතා දැන්මම හදල ඉවරයි. රට කොයි තරම් නාගරීකරණය උනත් පුළුවන් හැම තැනම ගස් වවල, හැම නගරයකම නාගරික උද්‍යාන! කැලි කසල පාලනය නියමෙට. ලංකාව වගේම ලෝක සිතියමේ නියම තැනක තියෙන මේ රට ඒ වාසිය නියමෙට අරගෙන තියෙන්නෙ වරායෙනුයි, රටේ ගුවන් තොටුපොලෙනුයි. රටේ බදු අහස උසට උනාට මිනිස්සුන්ට එයාලගෙ බදු මුදල් වලින් කෙරෙන වැඩ ඇස් පනාපිටම බලාගන්න පුලුවන්. “මාටිය පාරවල්” මෙහෙ නැහැ.

දැන් බැළුවහම මීට අවුරුදු ගාණකට ඉස්සර අපෙන් පාඩම් ඉගෙනගෙන දියුණු වුණු රටෙන් අපිට පාඩම් ඉගෙන ගන්න වෙලා. හැබැ‍යි ඒක ලැජ්ජ වෙන්න ඕනි දෙයක් කියල කියන්න බැහැ. මොකද අපි තවමත් පරක්කු නැති නිසා; මේ රටේ නැති ස්වාභාවික සම්පත් ගොඩාක් අපෙ රටේ තියෙනව. ප්‍රශ්නෙ තියෙන්න අපේ අය මෙයාලගෙන් පාඩම් ඉගෙන ගන්න කැමතිද කියන එක විතරයි.

හැබැයි මේ ටිකත් කියන්න ඕනෙ. මොන දීප දේසංකරේ ගියත් අපි ලංකවෙ මිනිස්සු. අපි හිතන්නෙ පතන්නෙ ලංකාවෙ විදිහට. අපි කොයි වෙලාවෙත් හිතන්නෙ ආපහු කවද්ද ලංකාවට යන්නෙ කියල. කොච්චර දියුණු වුනත් මෙහෙ මිනිස්සුන්ගෙ සාරධර්ම අන්තිමයි. මිනිස්සු Roboල වගේ; තමුන්ගෙ වැඩේ විතරයි. අනෙකට මොනව උනත් ගාණක් නෙහෙ. අපේ රටෙ බස් එකක, කොච්චියක යනකොට වයසක කට්ටියට, ගැබිණි මව්වරුන්ට කට්ටිය නැගිටල වාඩි වෙන්න දෙනව. මෙහෙ එහෙම නැහැ. බලන බලන හැම තැනම ගහල තිබුනත් ගොඩක් අය ඔහේ අහක බලාගෙන යනව.

එතකොට තමයි අපිට අපෙ පුංචි රටේ අගය තෙරෙන්නෙ. සමහරු හැම තිස්සෙම දකින්නෙ තමුන් ඉපදුනු, හැදුනු, තමන්ට නොමිලේ උගන්වපු අපේ රටෙ වැරදිම විතරයි. එත් පිටරටකට ආවහම තමයි අපේ රට කොච්චර හොඳංද කියල තේරෙන්නෙ. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල වෙන අපේ යුතුකම වෙන්න ඔනෙ අපේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න දියුණු ලෝකයේ තාක්ෂණික දැණුම අපෙ රටට ප්‍රේෂණය කරන එක. එහෙම නැතුව බුරුතු පිටින් දියුණු රටවලට මාරු වෙන එක නෙමෙයි. මම හිතන විදිහට ඕක තමයි සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමාට අපි කරන ලොකුම ගෞරවය.

Next Newer Entries