පෙත්සම

පහුගිය දොහේ බ්ලොග් එකේ කොටන්න බැරි වුනා. චාරිකා සටහන් පොත් කීපයක් කියවල ආපු අදහසකට අනුව මමයි මකරයි සෙට් වෙලා සෙලමට් ඩටාන් (Ayubowan) කියල Travel Blog වර්ගයෙ බ්ලොග් එකක් පටන්ගත්ත අපි සිංගප්පූරුවෙදි අත්විඳපු අත්දැකීම් සටහන් කරන්න. ඔය Selamat Datang කියන්නෙ මැලේ භාෂාවෙන් ආයුබෝවන් කියන එකට. මේ බ්ලොග් එකට pick up එකක් දෙන්න ඕනෙ නිසා “දියකැට පහණ” කොටන එකට පොඩි තිත් කොමාවක් දාල හිටියෙ. දැනට සිංගප්පූරුවෙ ඉන්න මගෙ තවත් යාළුවො දෙන්නෙකුටත් මම ආරාධනා කළා අපේ මේ සෙලමට් ඩටාන් (Ayubowan) වලට සහභාගී වෙන්න කියල. යහපත් ප්‍රතිචාර ලැබිල තියෙන්නෙ. ඒ දෙන්න මේ බ්ලොග් කෙරුවාවට ආධුනික නිසා තමයි පොඩ්ඩක් පස්ස ගහන්නෙ. බලමුකො ඉතින්.

ඔන්න එහෙනම් මාතෘකාවට බහිමුකො.

පෙත්සම

“ගමේ වැව වාංදැමීම ඉතාම සිරියාවන්තයි.” කියල පටන්ගන්න මේ පොත මම කියවපු මුල්ම දවසෙ ඉඳන් ගොඩක්ම ඇලුම් කරපු පොතක්. පොත්වලට ආදරය කරන කට්ටියනම් මේ වාක්‍යය කියපු ගමන් දන්නව මොකක්ද මේ පොත කියල. ඔව්. ඒ ලීල් ගුණසේකර ශූරීන්ගෙ “පෙත්සම” කියන පොත.

ලංකා සිවිල් සේවය බැබළවූ කීර්තිමත් දිසාපතිවරයෙක් වෙච්ච ලීල් ගුණසේකර ශූරීන්ගෙ මේ “පෙත්සම”ට 1962දි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ලැබුණ. මේ පොතට ඇළුම් කරන ප්‍රධානම හේතුව තමයි ලියල තියෙන සරල භාෂාව. ඒක නිසා මේ පොත එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. ඒ වගේම ඒ සරල භාෂාව නිසා “ගැමිකම” කියන දේ ඉතාමත් හොඳින් ඉස්මතු වෙනව. කථානායකය වෙච්ච තිලකරත්නගෙ පොඩි කාලෙන් පටන් අරගෙන තරුණ කාලය වෙනකං දිවයන මේ කතාවෙන් ඒකාලයේදී රජරට ගැමියා මුහුණ දීපු දුක් දොම්නස් කම්කටොලු ඉතාමත් හොඳට විස්තර වෙනව.

මට මේ පොත ලැබුණෙ නාලන්දාවෙ 9 වසර අවසන් කරපු දවසෙදි හෑගොඩආරච්චි ගුරු පියාණන්ගෙන් තෑග්ගක් විදිහට. පස්සෙ කාලෙකදි මේ කතාවෙ දෙවෙන කොටස කියවෙන “අත්සන” පොතත් කියවන්න හම්බවුනා. ඒ මගෙ අම්මගෙයි තාත්තගෙයි පොත් එකතුවෙ තිබිල.

හෑගොඩආරච්චි ගුරු පියාණන්ට තුති!

මේ තියෙන්නෙ ලීල් ගුණසේකර ශූරීන් ගැන සිළුමිණ පත්‍රයේ පළවුන ලිපියක්.
මේ තියෙන්නෙ “පෙත්සම” ගැන මහාචාර්යය තිස්ස කාරියවසම් ශූරීන්ගෙ විචාරයක්.

කට්ටිය කියවල බලන්නකො ඉතින්!

Advertisements

පොතපතට පෙම බැඳ

ඔන්න ඉතින් හැම අවුරුද්දෙම වගේ මේ පාරත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවෙදි සාහිත්‍ය මාසය වෙනුවෙන් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනව. අද වෙන වැඩකට කොළඹ ගිය අල්ල පනල්ලෙ ඕකටත් ගොඩවැදිල එන්න අවස්ථාවක් හම්බ වුනා. ගිය අවුරුද්දෙනම් පොත් ප්‍රදර්ශනයට යන්න බැරි වුනේ ලංකාවෙ නොහිටපු නිසා. නැත්නම් හැම වතාවකම නොවරදවාම යන අවස්ථාවක් තමයි. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලනෙ කට්ටිය කියන්නෙ ඉතින්!

කියවීම කෙසේ වෙතත් පොත් ප්‍රදර්ශනයෙන් එකතු කරගත්ත අල්මාරියක් පිරෙන පොත් කන්දක්නම් තියෙනව. හැබැයි ඉතින් නොකියවනවමත් නෙමෙයි.. ඔය අතරින් ගුණදාස අමරසේකර ශූරීන් ලියපු “ගමනක මුල” පොතෙන් පටන් ගන්න “සිංහල මැද පන්තියේ” පරිණාමය කතා මාලාව, නීල් විජේරත්න ශූරීන්ගෙ “මදුරාසි කොල්ලා” සහ “බෙංගාලි යෙහෙළිය”, තිස්ස රවීන්ද්‍ර පෙරේරා ශූරින් රිවිර පුවත් පතේ ආරක්ෂක තොරතුරු තීරයේ පළකල ලිපි එකතු කරල සකස් කරපු පොත් කීපය, ශරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය ශූරීන්ගෙ “පරිනීතා”, පොඩිකාලෙ මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණ “කයිමන් දොරකඩ” නම හැදිච්ච හැටි ඉගෙනගත්ත සමන් කළුආරච්චි ශූරීන්ගෙ “කොළඹ පුරාණය” කියන පොත් කීපය තමයි මගෙ ප්‍රියතම පොත් ටික. ඔයිට අමතරව නාලන්දාවේ සිප් සතර ලබන කාලේ හෑගොඩආරච්චි ගුරු පියාණන්ගෙන් තිළිණයක් විදිහට ලැබිච්ච ලීල් ගුණසේකර ශුරීන්ගෙ “පෙත්සම” පොතටත් ගොඩක්ම කැමතියි. කාටූන් වලින් නම් ඉතින් ඉස්සර පිස්සු හැදිල වගේ කියෙව්වෙ හර්ජ් මහත්තයගෙ “ටින් ටින්” තමයි.

I can jump puddles

අද පොත් ප්‍රදර්ශනයට ගිය වෙලාවෙ ඉතින් සුරංගනා ලෝකෙක අතරමං වුනා වගේ. එක එක මාතෘකා ගැන ලියපු, පරිවර්ථනය කරපු පොත් ඕනෙ තරම්. මම හිතන්නෙ අපි පොතක් කියවනකොට ඒ පොත ඇතුලෙ ජීවත් වීමෙන් අපි අවට තියෙන සැබෑ ලෝකයෙන් නිදහස් වීමේ ප්‍රීතිය භුක්ති විඳිනව; අපි අවට ලෝකයේ තියෙන ප්‍රශ්න, හැල හැප්පීම් නිසා නිරන්තරයෙන්ම අපිට අත්දකින්න ලැබෙන මානසික ආතතීන්ගෙන් නිදහස පොතක් තුළට සමවැදීමෙන් ලබෙනව කියල. ඒ කෙසේ වෙතත් තවත් කෙනෙක් කියන කතාවක්, තවත් කෙනෙක් ලෝකය දකින ආකාරය, තව කෙනෙකුගෙ ජීවත අත්දැකීම් අපිත් පොතක් තුළින් අත්දැකීමෙන් අපේ විඥාණයට ලැබෙන දැනුම ගොඩක්ම වටිනව කියල තමයි මගෙ අදහස.

තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් තවමත් පොත් වලට ඇලුම්කරන කට්ටිය කොච්චරක්ද කියල සතියෙ දවසක් වෙච්ච අද ප්‍රදර්ශන භූමියෙ හිටපු සෙනඟ කන්දරාවෙන් හිතාගන්න පුළුවන්. “විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය”, “විදර්ශන ප්‍රකාශකයෝ” සහ “සූරිය ප්‍රකාශකයෝ” කියන තැන්වල තමයි ගොඩක් වෙලා ගත කළේ. බොහොම අමාරුවෙන් හිත හදාගෙන ගන්න පොත් ලැයිස්තුව පොත් 11කට සීමාකරගත්ත. ඒවයින් ගොඩක්ම පරිවර්ථන. ඒ අතරින් කත්‍යානා අමරසිංහ මහත්මිය සිංහලෙන් “මට පුළුවන්” කියල පරිවර්ථනය කරපු ඕස්ට්‍රේලියානු ජාතික රචකයෙක් වෙන Alan Marshallගෙ “I can jump puddles” කියන ස්වයං චරිතාපදානය ගොඩක් වටිනව කියල මට හිතෙනව. 2008 වර්ෂයේ හොඳම නවකතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති ශූරීන්ගෙ “අටවක පුත්තු” පොතත් නීල් විජේරත්න ශූරීන් ඉන්දියානු අත්දැකීම් ගැන ලියපු 3වෙනි පොත වෙන “කේරළ නළඟන” කියන පොතත් තියෙනව.

කොහොම හරි මේ පාරනම් ගත්ත පොත් ඔක්කොම කියවනව… 😀 හික්ස්!

Litter Bug

කාලෙකින් කියන්නෙ ගොඩ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දැන් ඉතින් ඉන්න හිටින තැනුත් වෙනස් වෙලා. සිංගප්පූරු ජීවිතයට ආයුබෝවන් කියල ආපහු සිරිබර සිරි ලංකාවෙ ඉඳන් තමයි බ්ලොග් එක කොටන්නෙ.

සෑහෙන කාලෙකට පස්සෙ ඊයෙ කොළඹ යන්න පුළුවන් උනා. මම විශ්වාස කරන විදිහට කොහේ ගියත් ඒ පළාතෙ නියම ජන ජීවිතය අධ්‍යයනය කරන්න ඕනෙ නම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න ඕනෙ. ඔන්න ඉතින් කොළඹ ගිහින් තිබුණ වැඩේත්  ඉවරකරගෙන තුම්මුල්ලෙන් 125ක නැග්ග ආපහු ගම රට බලා එන්න.

මීට අවුරුදු 2කට කලින් තිබුණ කොළඹත් එක්ක බලනකොට භෞතිකමය වශයෙන් සැලකියයුතු දියුණුවක් තියෙනව. අළුත් රථ වාහන ගමන් මාර්ග සංකල්පය මරේ මරු. ඉස්සර වගේ නෙමෙයි traffic ගොඩක් අඩු වෙලා. ඒක ඇත්තෙන්ම ලොකු දියුණුවක්.

ඒත් දූවිල්ල, කුණු කියන දේවල්නම් වැඩිවෙලා කියල තමයි මගෙ කල්පනාව. මගේ අත්දැකීම් අනුව රටක් නගරයක් කොච්චර භෞතිකමය වශයෙන් දියුණු වුනත් වැඩක් වෙන්නෙ නැහැ ඒ රට නගරය පිරිසිදු නැත්නම්. මම දැකල තියෙන හොඳම උදාහරණය තමයි මැලේසියාවෙ ක්වාලා ලම්පූර් නගරය. නගරය කොච්චර දියුණු වුනත් පිරිසිදුකම අන්තිමයි, හැම තැනම කුණු.

කැලි කසල නියමිත තැන්වලට බැහැර කරන්න

ඒත් සිංගප්පූරුව ගත්තහම පිටින් එන සංචාරකයින්ට පෙන්නන්න හදන්නෙ ලෝකෙ තියෙන පිරිසිදුම නගරය කියල. ඒ අය ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ රටේ ඉන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරල නම් නෙමෙයි. සිංගප්පූරුව කියන්නෙ දැඩි නීති රීති තියෙන, ඒ වගේම ඒ නීති ඒ විදිහටම ක්‍රියාත්මක කරන තැනක්. නීති රීති තද වැඩි නිසා මිනිස්සු වරදක් කරන්න කළින් කීප පාරක් හිතල බලනව.

වැඩිය ඕනෙ නැහැ අපේ රටේ කීයෙන් කී දෙනාද අපි විසි කරන ටොපි කොළේ, පොඩි කඩදාසි කෑල්ල කුණු බාල්දියට දාන්නෙ? මම හිතන විදිහට අපි කවදහරි මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරල ඕක කරන්න ඉන්නවනම් කවදාවත් අපිට ඕක කරන්න වෙන්නෙ නැහැ. මට මතකයි කවුද කියනව “ලෝකෙ කොහේ හිටියත් මිනිස්සු, මිනිස්සුමයි; හැබැයි ඔය හැම මිනිහම දඬුවමට බයයි” කියල.

ඔන්න මහරගමදි බස් එකට නැග්ග පිරිමි කෙනෙක් අතේ රටකජු හරි ගල් සියඹලා හරි ගොට්ටක් එක්ක. මේ මිනිහ ඒ ටික කාල ඉවරවෙනකල්ම කලේ රොඩු ටික බස් එකේ ජනේලයෙන් එළියට විසිකරන එක. ඔන්න ඔහොමලු කොළොම්පුරේ ශ්‍රියා!

පෑන් ගැසීම සහ අනෙකුත් ක්‍රීඩා

ඉස්කෝලෙ යන කාලෙ අපි ඉතින් බලාගෙන ඉන්නෙම  free period එකක් හම්බ වෙනකං නෙ! ඒකට එක එක හේතු තිබුන. ඔහොම තිබුන එක හේතුවක් තමයි “පෑන් ගහන්න” තිබුන පිස්සුව. සමතලා මතුපිටක් තියෙන desk එකක් හරි එහෙම desk දෙකක් එකට ළං කරගෙන හරි ඔන්න කට්ටිය පෑන් ගහන්න සෙට් වෙනව. එක පිලකට එක් කෙනෙක් හරි දෙන්නෙක් හරි සෙල්ලම් කරනව. අනෙක් පිලේ ඉන්න අයගෙ පෑන් තමුන්ගෙ පෑනෙන් ගහල desk එකෙන් බිමට වට්ටන්න ඕනෙ. පෑනට ගහන්න ඕනෙ කැරම් ගහනකොට disc එකක්ට ගහනව වගේ.

ඔය පෑන් ගහන පිස්සුව කට්ටියට කොච්චර තිබුනද කියනවනම් කට්ටිය පෑන් ගහන්නම විශේෂයෙන් පෑනුත් හදාගන්න පටන් ගත්ත. පෑනෙ බර වැඩි කරගන්න නොයෙකුත් විදි! සමහරු එක එක ලෝහ කෑලි පෑන ඇතුලට දානව; තවත් සමහරු විවිධ හැඩ තියෙන පෑන්! ඒක හරියට මලල ක්‍රීඩා වලදි කට්ටිය තහනම් උත්තේජක පාවිච්චි කරනව වගේ. ඒක නිසා game එකක් පටන්ගන්න ඉස්සෙල්ල කට්ටිය අනෙක් පිළේ අයගෙ “හොර වැඩ” හොයන්නත් පුරුදු වෙලා තිබුන. ඔයින් මෙයින් කොහොම කොහොම හරි පෑන් ගහන වැඩෙත් නැගල ගියා!

ඔය වගේ free periods වලදි කරපු තවත් නොයෙකුත් “සෙල්ලං” තිබුන. book cricket ගැහිල්ල, නයා දිගේ පෑන් යැවිල්ල වගේ නොයෙකුත් දේවල්.

ප.ලි.) ඔන්න මගේ කොත්තුව ලක්බිම පත්තරේ පළවෙලා! ආහ් තව එකක්! සිංගප්පූරුවෙ කොත්තු තියෙන තැනක් ගැන හෝඩුවාවක් හම්බවුනා. ගිහින් බලල විස්තර කියන්නම්.

Homesick

කාලාන්තරයක් තිස්සෙ පෙරුම් පුරල ඔන්න දෙසැම්බර් මාසෙ ගෙදර ගොහින් එන්න ගියා. යන්න ඉස්සෙල්ල plan ගොඩයි. ලංකාවට ගියහම අරක කරනව, මේක කරනව, අරෙහෙ යනව, මෙහෙ යනව.

හැබැයි ඔහොම plan කරන වැඩ වලින් කීයෙන් කීයද අපි කරන්නෙ? ඒත් මේ පාරනම් miss උනේ සමහර පරණ යාළුවො හම්බ වෙන්න යන්න හිතාගෙන හිටිය ගමන් කීපයක් විතරයි.

අපේ SBU කට්ටියත් එක්ක දෙසැම්බර් 19 සෙට් වෙන්න ලැබුන එකනම් මරේ මරු. ඊට අමතරව යාල, ලුණුගම්වෙහෙර කියන වනෝද්‍යාන අතර මැද තියෙන වෙහෙරගලට ගිය චරිකාව, නැගෙනහිර චාරිකාව වගේම සිංගප්පූරුවට ආවට පස්සෙ මගෙ මේ ශරීර කූඩුව කොච්චර අල වෙලාද කියල මටම තේරුම් කරල දුන්න මගේ 2වෙනි වර කිරිගල්පොත්ත කන්ද නැගීම කියන චාරිකා ටිකත් එළම එළ. (මම මගේ පළමු කිරිගල්පොත්ත චාරිකාව ගැන ඉස්සර ලිව්ව.)

set වෙච්ච මරු picnic එකක් තමයි අපි යාළුවො සෙට් එක Leisure World ගිය එක. මම නම් ඉතින් මැලේසියාවෙ A’Famosa Water World එකට challenge කරන්න පුළුවන් water park එකක් දැකල නැහැ. ඒක නිසා Leisure World එකේ සෙල්ලම් වලට ගියේ කරන්න දෙයක් නැති නිසා. ඒක නිසා ඒකෙ තියෙන ඔය water slides එහෙම ගියේ යන්න පුළුවන් උපරිම වේගයෙන්. ඔහෙම මමයි තව තඩි යාලුවෙකුයි අර tube එකේ යන්න තියෙන water slide එක ගිහින් තව පොඩ්ඩෙන් නතර වෙන්නෙ ඉස්පිරිතාලෙ. හොඳ වෙලාවට ඉස්සරහ යකඩ වැටක් ගහල තියෙනව, ඒකෙ වැදිල තමයි දෙන්නව නතර උනේ. හික්ස් 😀 😀 😀 කට්ටිය Leisure World ගියහම water slides area එක ඉස්සරහ නැවිච්ච වැටක් දැක්කොත් ඒක තමයි අපි දෙන්න නවපු එක. ඒකත් ඉතින් ලංකාවට ආපහු ආව ගමන ගැන මතක් කරන්න පුළුවන් හිනා යන scene එකක්.

ඔය ටිකට අමතරව ඉතින් කලේ ගෙදරට වෙලා අල වෙන එකයි, ගමේ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙච්ච එකයි තමයි.

දැන් ඉතින් back to work. ආපහු එන්න Airport එකට ආවෙ මරන්න අරගෙනයනව වගේ.  දැන් මෙහෙදි මනෝ ගහන්න සෙට් වෙනකොට හිතෙන්නෙ ලංකාවෙ හිටියනම් මේ වෙලාවට මොකද කරන්නෙ? තව සතියක් තිබුන නම්? තව කොච්චර කාලෙකින්ද ආපහු යන්න වෙන්නෙ? වගේ ඒව. මෙහෙ එකෙක් මට කියනව “උඹට Homesick”ලු.

ඇත්තටම Homesick කියන්නෙ මොකක්ද?

සිංහපුරයේ වසරක මතක සටහන්

මේ අවුරුද්ද ආරම්භ කරමින් සිංහදේශයේ ඉඳන් සිංහපුරයට ආවෙ නොදන්න අඩවියක්, නොදන්න ඉසව්වක් ගවේෂණය කරන්න වගේම බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන. අවුරුද්දකට පස්සෙ ආපහු යනකොට ඒ බලාපොරොත්තු වලින් කොපමණ ඉෂ්ට කරගන්න පුළුවන් උනාද කියන දේ තරමක් දුරට ප්‍රශ්නාර්ථයක් උනත් ජීවිතේට අළුත් අත්දැකීම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන් උනා.

ඒ මොනව උනත් අපිට අපි උපන්න, හැදුන වැඩුන රටට වඩා වෙන රටක් අල්ලන්නෙ නැහැ.

හෙරළි ටිකක් තම්බල පොල් බෑයක් ගාගෙන රතු ළුනු ගෙඩි තුන හතරක්, කට්ට කරවල හොද්දක් එක්ක කන්න හම්බ වෙන්නෙ ඉතින් අපේ ලංකාවෙදිම විතරයි නෙ. අමතක උනා; රතු මිරිස් කරල් දෙක තුනකුත් ලුණු පොල්කට්ටෙ දාල අරගෙන බැදල තිබුනොතින් ඉතින් කියල වැඩක් නැහැ.

දැන් ඉතින් ඉස්සෙල්ල දවසක කිව්ව වගේ හතර වරිගෙට ගේන්න කියපු බඩු ටික අඩුක් කරන්න ඕනෙ. ඒකටත් ඉතින් වෙනමම training එකක් ඕනෙනෙ.

එහෙනං කතා කරගත්ත විදිහට දෙසැම්බර් 19 වෙනිදට Excel World වලදි කට්ටිය සෙට්වෙමු!

මතකද?

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ, WWV, RWP, RSP

රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ සටනේදී සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දක්වපු වීරෝදාර ශ්‍රී ලාංකීය පුත්‍රයෙක් අපට අහිමිවී ගොස් හෙටට අවුරුද්දක් පිරෙනව.

ඒ වීර වික්‍රම විභූෂණ සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ විශේෂ බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවා.

අපි හැමදෙනාම ශ්‍රී ලංකා මාතාවගේ ඒ ශ්‍රේෂ්ඨ පුත්‍රයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

මට මතකයි කොහේ හරි තිබුන කියමනක් “හමුදා සෙබලෙකුට ජාතික කොඩියත් එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්. තමුන් යන තැන කොඩිය ඔසවන්න ඕනෙ; නැත්නම් කොඩියෙ එතිල ගෙදර යන්න ඕනෙ කියල.”

ලලිත් ජයසිංහ කියන්නෙ ගිය ගිය තැන් සිංහ කොඩිය ලෙලදෙන්න සලස්සපු නියම සෙබලෙක්.

ලලිත් ජයසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය පුත්‍රයාට දියකැට පහණේ උත්තමාචාරය මෙසේ පිරිනමන වගයි……..

Previous Older Entries