රටේ නම කෑම

මේ blog post එකට දාන්න හොඳ මාතෘකාවක් කොච්චර කල්පනා කරත් හිතා ගන්න බැරිවුනා. අන්තිමට දැම්ම මාතෘකාව කොච්චර ගැලපෙනවද නම් දන්නෙ නැහැ.

ඒත් වැදගත් වෙන්නෙ ලියන දේ කියල තමයි මමනම් හිතන්නෙ.

පොඩිකාලෙ ඉඳල අපිට උගන්වන දෙයක් තමයි තමුන්ගෙ රට ගැන ඒ කියන්නෙ ලංකාව ගැන ආඩම්බර වෙන්න කියල. ඉස්සර කාලෙ අපේ රටේ මෙහෙමයි…අරව තිබුන…මේව තිබුන…යෝධයො හිටිය…වගේ ගොඩක් කතා පොඩි කාලෙ ඉඳල උගන්වනව.

ඒත් ඕකෙ අපි නොහිතන පැත්තක් තියෙනව. ඇත්තටම බැළුවහම අපි ආඩම්බර වෙන්නෙ අපේ මුතුන්මිත්තන්ගෙ අතීතය ගැන නේද? අපිට අපේ පරපුරේ අතීතය ගැන හරි වර්තමානය ගැන හරි ආඩම්බරයෙන් කතාකරන්න පුළුවන්ද?

මෑත කාලයේදී ත්‍රස්තවාදීන් විනාශකිරීම හැරුනහම අපිට අපේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් මොනව ගැනද?

අපේ රටින් අනෙක් රටවලට අනවසරයෙන් පළායන සංක්‍රමණිකයින් ගැනද? එහෙම නැත්නම් අපේ රටේ මානව හිමිකම් කඩවෙනව කිය කියා ලෝකයට කෑගහන අය ගැනද?

මේ දේවල් ගැන ටිකක් අවදානයෙන් බැළුවහම පේන්නෙ අපේ රටේ නම කැත කරන්න විශාල දයකත්වයක් දෙන්නෙ අපේම රටේ මිනිස්සු වීම.

මට මේ blog post එක ලියන්න අදහස පහළ වුනෙත් මේ වගේ අපේ රටේම අය කරන වැඩක් දැකල.

ලංකාවෙ ඉඳන් ගොඩක් අය සිංගප්පූරුවට කෙටි සංචාර සඳහා එනව. මෙහෙම ගොඩක් අය එන්නෙ තම තමුන්ගෙ ව්‍යාපාර සඳහා අවශ්‍ය බඩු අරගෙන එන්න. මෙහෙම එන අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමුන්ට ගුවන් යානයේ අරගෙන යන්න පුළුවන් බර ප්‍රමාණයට වඩා වැඩියෙන් බඩු තිබීම.
ඒ ප්‍රශ්නයට උදවු කරන්නත් අපේම රටේ කට්ටියක් සිංගප්පූරුවෙ ගුවන් තොටුපොලේ ඉන්නව. මේ අය කරන්නෙ ඔහොම ඉන්න කට්ටියගෙන් සල්ලි අරගෙන ලංකාව බලා එන ගුවන් යානයට Check-In වෙන අනෙක් අයට අර කට්ටියගෙ බඩු දීල අරගෙන යන්න කියන එක. කවුරුහරි ඒක ප්‍රතික්ෂේප කලොත් සමහර වෙලාවට අසභ්‍ය වචනයෙන් බණින වෙලාවලුත් තියෙනව. මේ ළඟදි දවසක ඔහොම ප්‍රශ්නයකදි රණ්ඩුවකුත් ගියාලු.

කවුරුහරි කැමැත්තෙන් උදවුවක් වශයෙන් බඩු ටිකක් අරගෙන යන එක වෙනම දෙයක්. ඒත් තමුන් අකමැතිනම් ප්‍රතික්ශේප කරන්න අයිතිය තියෙනව, මොකද කවුද දන්නෙ නීති විරෝධී බඩු දෙනවද කියල අරගෙන යන්න.

ඒත් ඔහොම වෙන කාලගෝට්ටි නිසා වෙන්නෙ ලෝකයක් ඉදිරියේ රටේ නම කැතවෙන එක.

Advertisements

කඩ්ඩ

අපි සාමාන්‍යයෙන් “කඩ්ඩ” කියන්නෙ ඉංග්‍රීසි භාෂාවටනෙ. ඔය නම හැදුනෙ ඉස්සර ඉංග්‍රීසිය සල්ලි තියෙන අය ආභරණයක් විදිහට කැපී පෙනෙන්නයි සල්ලි බාගෙ නැති අය “කපා දාන්නයි” පාවිච්චි කරපු නිසා කියල තමයි මම නම් හිතන්නෙ.

ඒත් දැන් ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් වෙලා. අපි කැමති වුනත් නැතත් සමාජයේ ඉස්සරහට යන්න අවශ්‍ය මෙවලමක් වෙලා.

ඒක නිසා හැමෝම පුළු පුළුවන් විදිහට ඕක ඉගෙන ගන්නවනම් තමයි හොඳ. තමුන්ගෙ මවු භාෂාව නොවන නිසා 100%ක්ම නිවැරදියට ඕක පාවිච්චි කරන්න ඕනෙ නැහැ. අනෙක් මිනිහට තමන් අදහස් කරන එක තේරෙනවනම් එච්චරයි.

හැබැයි මම කියන්නෙ යන්නෙ ඕකෙ වෙනම පැත්තක් ගැන. තමුන්ට කොච්චර “කඩ්ඩ” පුළුවන් වුනත් තමුන්ගෙ මුල් අමතක කරන්න හොඳ නැහැ. ප්‍රංශකාරයො දෙන්නෙක් මුණගැහුනොත් උන් දෙන්න කතාකරන්නෙ ප්‍රංශ භාෂාවෙන්. ඉතාලිකාරයො දෙන්නෙක් උනත් එහෙමයි. වැඩිය ඕනෙ නැහැ අපේ ලංකාවෙ දමිළ සහෝදරයො දෙන්නෙක් වුනත් එහෙමයි. එහෙම පිට තැනකදි තමුන්ගෙ මවු භාෂාවෙන් කතාකරන එක ඒ අයට ආඩම්බරයක් කියල මට මගෙ පිටරට යාළුවො කීපදෙනෙක්ම කියල තියෙනව.

හැබැයි මම අහල දැකල තියෙන විදිහට සිංහල මිනිස්සු දෙන්නෙක් පිට තැනකදි මුණ ගැහුණොත් ඒ දෙන්නම හදන්නෙ එක්කෙනෙක්ට වඩා අනෙක් එකාට හොඳට “කඩු හරඹ” පුළුවන් බව පෙන්නන්න. අපිට වැරදුනේ කොයි තැනදිද?

සරුංගලේ

නන්දා මාලිනියන්ගේ “සරුංගලේ” කියන සින්දුව මට අහම්බෙන් වගේ youtube එකේ කරක්ගහපු වෙලාවක අහන්න සෙට් වුනා.

ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන “බුද්ධි ගලනය” කියන මාතෘකාව නියමෙට මේ සින්දුවෙන් ආමන්ත්‍රණය කරනව කියල තමයි මටනම් හිතෙන්නෙ. ලංකාවෙන් බිහිවෙන හුඟක් ඉංජිනේරුවො, දොස්තරල ඒ තැන්වලට ආවහම හුඟක් කතා කරන්නෙ තමුන්ට නොමිළේ උගන්වපු රටට, තමුන්ගෙ අධ්‍යාපනයට වියදම් කරපු අසරණ මිනිස්සුන්ට තමුන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් නෙමෙයි; තමුන්ට, තමුන්ගෙ “ලොකු තත්ත්වයට” ලැබෙන්න ඕනෙ අයිතිවාසිකම් ගැන.

Swades - We The People

Swades - We The People

අපිව ඉංජිනේරුවො, දොස්තරල කරන්න ගඟේ වැලි ගොඩදාන මනුස්සයගෙ ඉඳල රටේ ඉන්න හැම දුප්පත් මිනිහම බදු ගෙවනව. එච්චර වෙහෙසක් දරල රට ඉංජිනේරුවො, දොස්තරල හදන්නෙ උන් මේ රටට සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්; එහෙව් එකේ දුප්පත් රටකින් නොමිළේ උසස් අධ්‍යාපනය ලබාගෙන තමුන්ගෙ ආත්මාර්ථය විතරක් බලාගෙන සංවර්ධනය වෙච්ච රටකට සංක්‍රමණය වීම කොච්චර බාල වැඩක්ද? Swades කියන හින්දි චිත්‍රපටියෙනුත් මේ ප්‍රශ්නය නියමෙට සාකච්ඡා කරනව.

කොහොම වුනත් දොස්තරලට, ඉංජිනේරුවන්ට නියම වෘත්තීය තත්ත්වයක් අපේ රටේ නැහැ කියන එකනම් පිළිගන්න වෙන සත්‍යයක්. ඒත් රට හැර දාල යන එක නෙමෙයි කරන්න ඕනෙ. අදාල වෘත්තීන්ට ලැබෙන්න ඕනෙ සාමාජීය හා ආර්ථික තත්ත්වය හදාගන්න එකත් එක්තරා දුරකට ඒ වෘත්තීන්වල යෙදෙන අයගෙම වගකීමක්. එහෙම හදාගන්න අමාරුයි කියළ හිතෙනවනම් පිටරටක වැඩ කළත් කමක් නැහැ, තමුන් හම්බකරන සල්ලි තමුන්ට උගන්වපු රටට එවනවනම් migrate වෙන්නෙ නැතුව. මේ ලෝකෙ මොන දේ වෙනස් කළත් ඉපදුන රටයි, අම්මවයි වෙනස් කරන්න බැහැ කියළ කොහෙද තිබුණ මට මතකයි.

උපන් බිමට වඩා තැනක් කොහෙද තියෙන්නේ………….

** ලියිට් කඩේ කොත්තුව

“පිස්සා” ට හැදුන අමාරුවක් ගැන කියෙව්වහම මටත් කැම්පස් කාලෙ වෙච්ච scene එකක් මතක් වුනා.

ඔය සිද්ධි දාමය වෙන්නෙ අපි කැම්පස් ගිය අළුත. කැම්පස් එක වටේම කෑම කඩ වැහි වැහැල නිසා අපිට මුල් දවස්වලදි කන්න ඕනෙ කොයි කොයි කඩවලින්ද කියල හරියටම idea එකක් තිබුනෙ නැහැ. අපේ බෝඩිමේ එතකොට 4දෙනෙක් හිටිය. ඔන්න ඉතින් කට්ටිය රෑට කන්න කියල බෝඩිමෙන් එලියට බැහැල මෝල්පෙ පාර දිගේ එනව. කැම්පස් එක ඉස්සරහට ආව ගමන් වමට ගියොත් චයිනීස්, දකුණට ගියොත් රතු හාල් බත්. ඒත් ඔන්න දවසක් කට්ටියට කොත්තු කන්න ආසාවක් ආව. ඒ දවස් වල පොඩියට කරපු විශේෂ පාටක ලියිට් එකක් ඉස්සරහ දාල තිබුන කඩයක් තිබුන කැම්පස් එක ළඟ. දැන්නම් ඒ කඩේ නැද්ද කොහෙද. ඒ කාලෙ කැම්පස් එකේ හිටපු කට්ටිය නම් දන්නව ඇති මොකද්ද මේ කඩේ කියල. ඒත් නම කියන එක හරි නැහැ කියල තමයි මම හිතන්නෙ.

ඔන්න කොහොමහරි කට්ටිය බඩ පැලෙනකං කොත්තු කාල එළියට ආව. බඩට කොන්ක්‍රීට් දාල වගේ. ඊට පස්සෙ සුපුරුදු විදිහට කාඩ් කුට්ටමෙන් 304කුත් බලල කට්ටිය නිදාගත්ත. ඕන් බොළේ මහ රෑ එක පාරටම ඇහැරුණා. උදරයෙන් මහා වේදනාවක් එනව. ඔන්න තව ටිකකින් අවශ්‍යතාවයත් එනව. ඉන්නම බැහැ. මොනවද උනේ කියල හිතාගන්නත් වෙලාවක් නැහැ. අඩියෙන් දෙකෙන්, නිදාගෙන හිටපු එවුන්ගෙ ඇඳන් උඩින් පැනල shortestම path එකෙන් ඔන්න රිංගුව අවශ්‍යතාවය ඉටුකරගන්න පොට් එකට. ඔන්න ඉතින් මහා මේරු පර්වතය උස්සගෙන ඉඳල බිමින් තිබ්බවගේ බරකින් සැහැල්ලු වෙලා ආපහු ඇවිත් ඇඳට වැටුන විතරයි එහා පැත්තෙ ඇඳේ හිටපු එකා ඇහුව “මචෝ උඹටත් වැඩේ හරි නේද?” කියල. බැලින්නම් උටත් මට ඉස්සෙල්ල වැඩේ charge වෙලා. ඔන්න ඔහොම කියල කට ගත්ත විතරයි තවත් එකෙක් ගාල කඩාගත්ත හරක වගේ ඇඳෙන් බිමට පැනල ****** එකට දුවපි. මිනිහත් ඉතින් හෝන්දු මාන්දු වෙලා ඔන්න බඩත් අල්ලගෙන එලියට ආව.

“උඹටත් හරි නේද?” උට කට හොල්ලන්නවත් පණ නැහැ. බඩ රිදිල්ලෙ වැඩි කමට නින්ද යන්නෙත් නැහැ. ඔන්න තව විනාඩි 10කින් විතර ඉතුරු වෙලා හිටපු එකම එකාත් පටස් ගාල ඇතුළට රිංගුව.

දැන්නම් කට්ටියටම කොත්තුවෙ රඟේ තේරිලා තිබුනෙ. ඒත් හරියටම ෂුවර් නැහැ ඒකමද හේතුව කියල. කොයි එකටත් කියල ආපහු දවසක් කට්ටිය ඔය කඩෙන් කොත්තු කාල බැළුව. කිරි ගහට ඇන්නවගේ ඕං බෙහෙත වැඩ! මධ්‍යම රාත්‍රියෙ කණිසම වදින්නෙ බඩ ඇතුළෙ. ආපහු අර ස්ටෝරියම තමයි.

ඒදා ඉඳන් කැම්පස් එකෙන් out වෙනකං අපි නෙමෙයි ආපහු ඒ කඩේට ගියේ! ඒ දවස් වල අපෙ කටේ තිබුන එකක් තමයි “මළබද්ධයට අත්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත ** ලියිට් කඩේ කොත්තු” කියන එක. කිරි ගහට ඇන්නවගේ බලාගෙන ඉන්නකොට ප්‍රතිඵල දෙනව.

මළගිය ඇත්තන්ගේ මාසය

චීන ජාතිකයන්ගෙ දින දර්ශනයට අනුව දැන් මේ ගතවෙන්නෙ 7වෙනි මාසය. ඒගොල්ලන්ගෙ විශ්වාසයට අනුව මේ 7වෙනි මාසෙ 15වෙනි දවසට අපායෙ ගේට්ටු ඇරෙනවලු. එතකොට අපායෙ ඉන්න මළගිය ප්‍රාණකාරයො ආපහු මහ පොළොවට එනව.

මළගිය ඇත්තන්ට කෑම

මළගිය ඇත්තන්ට කෑම

ඔන්න ඉතින් කට්ටිය මේ ඒන මළගිය ප්‍රාණකාරයො සතුටු කරන්න  14වෙනි දවසෙ නොයෙකුත් දේවල් ඒගොල්ලන්ට දෙනව. කන්න බොන්න වගේම සල්ලිත් දෙනව. කට්ටිය ඉටිපන්දම් පත්තු කරල මළගිය ඇත්තන්ට දෙන්න සල්ලි පුච්චන එක මේ දවස්වල සිංගප්පූරුවෙ හැමතැනම දැකගන්න පුළුවන්.

සමහර තැන්වල හඳුන්කූරු පත්තු කරල මේසයක් පිරෙන්න කෑම පුරෝල තියෙනව කට්ටිය වෙනුවෙන්.

මළගිය ඇත්තන්ට සල්ලි

මළගිය ඇත්තන්ට සල්ලි

එකපාරටම මේක අපිට අමුතු විදිහට පෙනුනට අපිත් මේ වගේ වැඩ කරනවනෙ. ඇයි අපි ඔය පෙරේත තට්ටු තියන්නෙ! පෙරේත තට්ටු තියන්න අවුරුද්දෙ වෙන් වෙච්ච දවස් නැහැනෙ; ඒත් මේගොල්ලො ඒකට කාලයක් වෙන්කරගෙන. දානයක් දුන්නහම, පිරිතක් කිව්වහම වගේ පිං අතේ වැඩ කලහම අපි අපේ මළගිය ඇත්තන්ට පිං අනුමෝදන් කරන්නෙ; මේකත් ඒක වගේම තමයි. ඔය කොයි දේ කළත් අන්තිමට බැළුවහම කරන්නෙ අපෙ මියගිය ඥාතීන්ට කෘතගුණ සැළකීමනෙ. ඒකයි වැදගත් වෙන්නෙ.

කුඹුරු වැඩ

දැන් නම් ලංකාවෙ ගොයං කපන කාලෙත් ඉවර වේගෙන එනව ඇති. ලංකාවෙ ඉන්න කොට යන්න set වෙන ගොයං කැපිලි 2 ක් තිබුණ. එකක් තමයි අපේම ගොයං කැපිල්ල, අනෙක මගෙ යාළුවෙක්ගෙ ගොයං කැපිල්ලක්.

7989536

යාළුවගෙ ගොයං කැපිල්ලට යන්න වෙන ප්‍රධානම හේතුවක් තමයි මම ඉස්සෙල්ල කිව්ව වගේ වාසනා චොකලට් කේක් කන්න හම්බ වෙන එක. අපේ ගොයං කැපිල්ලට යන්න ප්‍රධානම හේතුව තමයි ගෙදරින් බර බරේ දාන එක. හැබැයි තව හේතුවකුත් තියෙනව; ඒක තමයි “ජම්බෝල” කන්න හම්බවෙන එක. අපේ කුඹුර ලඟ තියෙන වත්තක හෙන විශාල ජම්බෝල ගහක් තියෙනව. ඇස්වහක් කටවක් නැහැ කොයි වෙලේ බැළුවත් ඔය ගහේ ජම්බෝල පිරිල.

අපි ඉතින් කුඹුරු වැඩ වලට ගියහම සැලකිය යුතු වෙලාවක් ගත කරන්නෙ ජම්බෝල කඩන්න තමයි. එක්කො පොලු වලින් ගහනව; නැත්නම් වැටිල තියෙන පරණ ගෙඩි වලින් ගහනව. කොහොම හරි ආපහු අපි එන්නෙ ඉහෙන් කණෙන් ජම්බෝල එල්ලගෙන.

කුඹුරු වැඩ වලින් එපාම කරපු වැඩේ තමයි වපුරන්න set වෙන එක. දවසම වගේ මඩේ බැහැල තමයි ඉන්න වෙන්නෙ. අපි කුඹුරු වලට බහින්නෙ ඉඳල හිටල නිසා වැපුරුව දවසට පහුවෙනිදට කකුල් වලට sorry තමයි!

ඊට පස්සෙ එපාමු කරපු වැඩේ තමයි කැපුවට පස්සෙ ගොයං ඇදිල්ල. යටි පැදුරු වලට කපපු ගොයං එකතු කරගෙන ගොයං කොළේ ගහන තැනට යන්න ඔනෙනෙ. ගොයං කොලේ ළඟ තැනක ගහනව නම් එච්චර අවුලක් නැහැ. හැබැයි ඕක ටිකක් දුරකනම් තියෙන්නෙ නියම rag එක. කපනකොට හරි කපල දාල තියෙන කොට හොඳ වැස්සක් වැස්සොත් ඉතින් ඔය ගොයං අදින එක මරු ආතල්! ඒක එතකොට දෙවෙනි වෙන්නෙ බර ඉසිලීමේ ක්‍රීඩාවට තමයි; වෙනසකට තියෙන්නෙ බර උස්සනවට අමතරව ඕක උස්සගෙන ඇවිදින්නත් ඕනෙ එක. ඊටත් වඩා නියම ආතල් එක තමයි ඉහෙන් කණෙන් වතුර බේරෙන එක.

“බොසේ” කිව්වහම අපේ පැත්තෙ කවුරුත් දන්න “කොළ මඬින යන්ත්‍රය” තියෙන නිසා ගොයං පාගන එක දැන් එච්චර ගේමක් නෙමෙයි. ( පොඩි කාලෙ එක වතවක් අපේ නැන්දලගෙ ගෙදර මී හරක් දාල ගොයං පාගනව මට ලාවට වගේ මතකයි.)

කුඹුරු වැඩ වලින් ලේසිම වැඩේ තමයි ගොයං කපන එක. හැබැයි ලේසියි කිව්වට ලේසිමත් නැහැ; ඒකෙ කලාව ඉගෙන ගන්න ඕනෙ; ඊට පස්සෙ හරි. හරියට දෑකැත්ත අල්ලන හැටි, බැත කපන හැටි ඉගෙන ගත්තෙ නැත්නම් ඉතින් අතේ ඇඟිලි වලට sorry තමයි. මගෙ නම් කීප වතාවක්ම දෑකැත්තට ඇඟිලි කැපිල තියෙනව.

මම ආසම කරන වැඩේ තමයි පාගල ඉවර කරපු ගොයං අත් ට්‍රැක්ටරෙ පටවගෙන ඕක උඩ නැඟගෙන ආපහු ගෙදර යන එක. ඔහොම යන්නෙ නිකං නෙමෙයි; කඩපු ජම්බෝල ගෙඩියක් කකා තමයි. මඟදි හම්බ වෙන ගමේ යාළුවන්ටත් බෙදන්න තරම් ඇති වෙනකම් ජම්බෝල stock එකක් තියෙන නිසා හතර වටේටම බෙදනව.

ඔන්න ඊට පස්සෙ දවසක තාත්ත කතා කරන්නෙ වී හුළං කරන්න. ඕක නම් මඟ අරින්න තමයි හැමදාම try කරන්නෙ. මොකද කාටුව නාන්න වෙන හින්ද. වී කාටුවට මුළු ඇඟම කහන්න ගන්නව; සමහර වෙලාවට පළුත් දානව.

මම ජීවිතේට කාල තියෙන හොඳම කෑම වේල කෑවෙත් අඳුරන අයිය කෙනෙකුගෙ ගොයං කයියකදි. එදා දවල්ට කන්න වුනේ ගොයං කපල, ඇදල, කොළෙත් ගැහුවට පස්සෙ. යකෙක් වුනත් කන්න පුලුවන් එදා තිබුන බඩගින්නට. කන්න තිබුනෙ මට මතක විදිහට, රතු කැකුළු බතුයි, මඤ්ඤොක්කයි, කට්ට කරෝල හොද්දකුයි, මෑකරල් ව්‍යාංජනයකුයි. රතු ළුණුයි බැදපු මිරිස් කරළුත් තිබුණද කොහෙද! අන්න කෑම; මතක් වෙනකොටත් කටට කෙළ උණනව!

දැන්නම් කුඹුරු වැඩ මතක් වෙනකොටත් මාර ආසාවක් තියෙන්නෙ. මේ සිංගප්පූරුවෙ මොන කුඹුරු වැඩද?

ලංකාවට පැය 3 1/2යි; Thailand වලට පැය 3යි!

මේ කතාව අද අපේ set එකේ එකෙක් කිව්ව කතාවක්. සිංගප්පූරුවෙ නිවාඩු තියෙන්න අවාරෙට කජු වැටෙන්නවගේ වුනත් මොකද මේ මාසෙ ඒ කිව්වෙ අගෝස්තු ඉඳන් දෙසැම්බර් වෙනකං දෙයියනේ කියල හැම මාසෙම එක නිවාඩුවක් ගානෙ වගේ තියෙනව. ඔන්න ඉතින් ලබන මාසෙ තියෙන නිවාඩුවට තායිලන්තෙ පැත්තෙ ගිහින් එන්න කියල මගෙ ප්ලෑනක් තියෙන නිසා ඔන්න අද වැඩ ඇරිල බස් එකේ එන ගමන් කයියකට සෙට් වුනා. මෙහෙ “Budget Airlines” තියෙන නිසා plane එකේ යන්න එච්චර ගානක් යන්නෙත් නැහැ.

ඔන්න අපේ සාකච්ඡාව නැඟල යනව කියමුකො….

එකෙක් කියපි; “බලපං බං සිංගප්පූරුවෙ ඉඳන් ලංකාවට එකේ යන්න පැය 3 1/2ක් යනව; තායිලන්තෙ යන්නත් පැය 3ක්ම වගේ යනව; ඒත් ටිකට් ගණන් මාර අඩුයි” කියල.

අපේ set එකේ ඉන්න ටිකක් “නම ගිය” එකෙක් පැනල කියපි ” අයියෝ බං උඹ ඕකවත් දන්නෙ නැද්ද? ලංකාවට යනකොට වගේ නෙමෙයි Thailand යනකොට ලෝකෙ උඩ පැත්තට යන හින්ඳ plane එකට හුළං අල්ලනව වැඩියි. ඒකයි ඔච්චර වෙලාවක් ගන්නෙ කියල!

මට පුදුමෙ කොහොමද මේකා කැම්පස් ගියේ කියල!

Previous Older Entries Next Newer Entries