TOA Corporation එකේ ලංකාවෙ set එක

මම සාමාන්‍යයෙන් ආයතන, පුද්ගලයන් නම් වශයෙන් කියන්න කැමති නැති වුනත් මේකනම් නොකියා බැරි නිසයි කිව්වෙ.මේ කථාව මට කියන්න ඔනෙ කියල හිතුනෙ ඊයෙ වෙච්ච සිද්ධියක් නිසා. ඒක තමයි අපිත් එක්ක සිංගප්පූරුවෙ TOA Corporation එකේ අවුරුදු 2ක් වැඩ කරපු අයිය කෙනෙක් ඊයෙ ආපහු ලංකාවට ගියා. එයාව ඇරලවන්න air port ගිය අපේ set එක දැකපු එතන හිටපු නිලධාරියෙක් ඇහුව “එක් කෙනෙක් ඇරලවන්න මෙච්චර සෙනඟ ගොඩක් ඇයි?” කියල!

ඇත්තටම මෙහෙ අපි ඉන්නෙ “එකා සැමට; සැම එකාට!” විදිහට. අපේ ඉන්න 60ක් 70ක් විතර කොල්ලො සෙට් එකේ තියෙන්නෙ පුදුම සමඟියක් . ඒක ටිකක් අපි ලංකාවෙදි කැම්පස් හොස්ටල් එකේ ගත කරපු ජීවිතේට සමානයි; වෙනස්කම් පොඩ්ඩයි තියෙන්නෙ. වෙනම රටක ඉන්න එකයි; එකට උයාගෙන කන එකයි තමයි වෙනස්කම්!

කැම්පස් කාලෙ තිබුන ගැටි කේස් මෙහෙදි නැහැ; එක දෙයයි තියෙන්නෙ ඒ “අපි ලංකාවෙ කොල්ලො” කියනදේ විතරයි! අපේ කොල්ලන්ගෙ තියෙන මේ fit එකට මෙහෙ ලොකු පිලිගැනීමක් තියෙනව මොකද ඔය fit එක නිසා ආයතනය ඇතුලෙ අපිට ලොකු සංවිධාන ශක්තියක් තියෙන්නෙ. ඒක නිසා ලංකාවෙ අයට වැඩක් භාර දෙන්න කට්ටිය දෙපාරක් හිතන්නෙ නැහැ.

මොකක් හරි vacancy එකක් තිබුනොත් ඒකට ලංකාවෙ එකෙක් දාගන්න මෙහෙ ඉන්න අය ගොඩක් try කරනව. ඊට පස්සෙ ඒ එන එකාට නවතින්න තැනකුත් කොහොම හරි හොයාගන්නව; ඔය එන එකාව Changi Airport එකෙන් අරගෙන නවතින්න ලෑස්ති කරපු තැනට එක්කගෙන ගිහින්, ඊට පස්සෙ office එකට එක්කගෙන ගිහින් කට්ටිය අඳුන්වල දෙන එක වගෙ ඔක්කොම දේවල් මෙහෙ ඉන්න අය කරනව. සමහර වෙලාවට මීට ඉස්සෙල්ල දන්නෙවත් නැති එකෙක් වෙනුවෙන් නිවාඩුවක් දාගෙන ඔය ඔක්කොම “චාරිත්‍ර” ටික ඉෂ්ට කරන්න අපෙ අය පැකිලෙන්නෙ නැහැ.

මුලින්ම අපි මෙහෙ airport එකෙන් එලියට එනකොට එන්නෙ අමුතුම ලෝකෙකට. ඒක හරියටම මුලින්ම කැම්පස් ගිය දවස වගේ. අපිව පිලිගන්න අපේ අයියල අක්කල බලාගෙන ඉන්නව. එන එකාව පුලුවන් තරම් ඉක්මනට මෙහෙ පරිසරයට හුරු කරන එක මෙහෙ ඉන්න අය යුතුකමක් විදිහට සලකන්නෙ. බස් එකේ, MRT එකේ යන හැටි; ඕනෙ බඩු ගන්න යන්න ඕනෙ තැන් වගේ එකී මෙකී නොකී ඔක්කොම දේවල් පොඩි එකෙක්ට වගේ මුල් ඉඳන් උගන්වනව.

අළුතින් එන එකාව කොහොමහරි අපේ අයම ඉන්න තැනක නවත්තන්නෙ. ඊට පස්සෙ ඒක තමයි උගෙ “ගෙදර”! අපි කවුරුවත් ඉන්න තැන “Apartment” කියලවත් කැම්පස් කාලෙ වගේ “බෝඩිම” කියලවත් කියන්නෙ නැහැ! කියන්නෙ “ගෙදර”. අළුතින් එන එකා ඒ “ගෙදර” සාමජිකයෙක් වෙනව. TOA එකේ ලංකාවෙ set එක හැදිල තියෙන්නෙ ඔය වගෙ “ගෙවල්” වල ඉන්න “පවුල්” කීපයක් එකතුවෙලා.

වෙන ගෙදරක එක්කෙනෙක් තව ගෙදරකට මොකක් හරි වැඩකට ගියොත් මොනවහරි කන්න බොන්න දීල තමයි එවන්නෙ. එහෙම නැතිවුනොත් ඒක ලොකු මදි-පුංචි කමක්!

ඔය අතරෙ ලොකේ කොහේ ගියත් අපේ උන්ට තියෙන ක්‍රිකට් පිස්සුව මෙහෙ අපේ set එකටත් තියෙනව. ඔන්න ඉතින් කට්ටිය සෙනසුරාදයි, ඉරිදයි, අවාරෙට කජු වැටෙන්නවගේ තියෙන නිවාඩු දවස් වලටයි හවසට Pasir Ris Park එකට set වෙලා ක්‍රිකට් ගහනව.

කවුරු හරි අපේ set එකේ කෙනෙක් නිවාඩුවට ලංකාවට යනවනම් ඊට ඉස්සෙල දවසෙ හරි, එදා හරි පුලුවන් වෙලාවක කට්ටිය එයාව මුණ ගැහෙන්න ඒ ගෙදරට යනව; පුලුවන් කමක් තියෙනවනම් airport එකට යනව. ඒ ගිය එකා ආපහු එනකම් මෙහෙ කට්ටිය මඟ බලාගෙන ඉන්නෙ ලංකාවෙන් අරගෙන එක කැවුං, කොකිස් වගේ කැවිලි කන්න. එහෙම අරගෙන එන කැවිලි තේ බොන වෙලාවෙ බෙදාගෙන පොඩි කයියක් දාන එක දැන් අපේ පුරුද්දක්.

අපේ set එකේ කවුරුහරි අස්වෙලා යනවනම් කට්ටියම Pasir Ris Park එකෙදි එයා වෙනුවෙන් පාටියක් දෙනව. ඊට පස්සෙ පොඩි සමරුවකුත් දෙනව. එයා යන්න ඉස්සෙල්ල දවසෙ හරි එදාම හරි එයා ඉන්න ගෙදරට ගිහින් මුණගැහිල, පොඩි කතාවක් දාල එන්න යන්නම ඔනෙ. ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ airport එකට ගිහින් අන්තිම වෙලාවෙ එයාට සමුදෙන්න.

ඔහෙම ඊයෙ අපෙන් වෙන් වෙලා ගිය ජයරත්න අයියට සමුදෙන්න ගිය සෙනඟ කන්දරාව දැකල තමයි මම මේ කතාව පටන් ගනිද්දි කිව්ව සිද්ධිය airport එකේදි වුනේ. එතනදි අර නිලධාරිය ඇහුව “එක් කෙනෙක් ඇරලවන්න මෙච්චර සෙනඟ ගොඩක් ඇයි?” කියන එකට උත්තරේ තමයි අපි ලංකාවෙ කොල්ලො වීම! අපි ලංකාවෙ අය විදිහට පුරුදුවෙලා තියෙන එකමුතුකම, චාරිත්‍ර-වාරිත්‍ර වගේ දේවල්වල වටිනාකම තේරෙන්නෙ මේවගේ පිටරටකට ආවට පස්සෙ තමයි.

පිට රටකදි තමුන් එක්ක අවුරුදු ගාණක් එකට ඉඳගෙන දුක, සැප එකට බෙදාගත්ත, එකට උයාගෙන කාපු, තමුන්ගෙ “දෙවෙනි ගෙදර” කට්ටියයි, ලංකාවෙ set එකේ කට්ටියයි දාල යනකොට පුදුම දුකක් වෙන්න ඇති ඇතිවෙන්නෙ. ගොඩාක් කාලයක් තමුන් එක්ක එකට ඉඳල, මෙහෙට මුලින්ම ආපු කාලෙ ඉඳන් ජොබ් එකේදියි පිටදීයි කියල දෙන්න ඔනෙ දේවල් කියල දුන්න අයිය කෙනෙක් ආපහු යනකොට අපිටත් පුදුම දුකක් ඇතිවෙන්නෙ. මම හිතන්නෙ එක තමයි තමුන්ගෙකම කියන්නෙ.

දුකේදිත් සැපේදිත් එකට ඉන්න සිංගප්පූරුවෙ TOA Corporation එකේ ලංකාවෙ අපේ කොල්ලො set එකට ජය-ශ්‍රී!

Advertisements

Dis is Singලිෂ් lah……………

සිංගප්පූරුවට එන කට්ටියට අත්දකින්න ලැබෙන නියම experience එකක් තමයි මේගොල්ලන් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාව. ඒ තමයි Singlish! මේක හැදිල තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට වටේ පිටේ තියෙන මැලේ, චීන මැන්ඩ්‍රින්, චීන හොකේන් වගේ භාෂාවලින් එක එක කොටස් එකතු වෙලා.

ටික කලක් යනකං මෙහෙ මිනිස්සු කියන්නෙ මොනවද කියල හිතාගන්න බැහැ. මුල් කාලෙදි මේ ගොල්ලො කියන ඒවයෙ ටිකයි තේරෙන්නෙ; අනෙක් ටික මොනව කියනවද මන්ද!

හැම වාක්‍යයකට පස්සෙම “ලා……….” ගානව! පිස්සුද මන්ද! අපි “can’t” කිව්වහම උඩ බිම බලනව! ඒ අය කියන්නෙ “canno….t”! වාහනවලයි, ගෙවල් ව්ලයි තියෙන්නෙ “A..-con”. හැම වෙලාවෙම “correct-or-not”!

ටික කාලයක් ගියහම Singlish වලට හුරු වෙනව; එතකොට එච්චර ගාණක් නෑ! ඒත් ඉතින් මුල් කාලෙදි වෙච්ච පටලැවීම් මතක් වුනහම තාමත් හිනා!

රට ගිහින් ඒම

ලංකාවෙ ඉන්න අයට කවුරු හරි අඳුරන කෙනෙක් රට ඉඳන් එනව කිව්වොත් ඉතින් ඉහ වහා යන සංතෝෂයක්නෙ තියෙන්නෙ; මොකද ඉතින් රට ඉඳන් එන එකාට කියල මොන මොනව මොනව හරි ගෙන්න ගන්න පුලුවන්නෙ. බොහෝ වෙලාවට කැමරාවක්, නැත්නම් ඔය මොකක් හරි ඉලෙක්ට්‍රොනික් බඩුවක්, එහෙමත් නැත්නම් රෙදි!

ටොපි, චොකලට්, පැණි රහ ජාතිනම් අනිවාර්යයෙන්ම ගේන්න ඔනෙ; නැත්නම් ඒකා අමු ද්‍රෝහියෙක් වෙනව.

ඒත් ඉතින් රට ඉඳල එන එකා තමයි ඕකට කන්න ඔනෙ කට්ට දන්නෙ. මුලින්ම ඔය කියන බඩු රොත්ත ගන්න අතේ සල්ලි තියෙන්නෙ ඔනෙ. ඒක වගේද ඔය බඩු හොයන්න එහෙ මෙහෙ ගිහින් කන්න ඔනෙ කට්ට? මොකක් හරි model number එකක් දුන්නොත් එකම හොයාගන්න ඔනෙ. ඕකට ඉතින් කීප සැරයක් ලංකාවට කතාකරන්නත් වෙනව. එකී මෙකී නොකී හැම දෙනාටම ගන්න ඕනෙ බඩු අරගෙන සල්ලි ඉතුරුවුනොත් තමයි ඉතින් තමන්ට කියල බඩුවක් ගන්න වෙන්නෙ.

ඔන්න ඉතින් හත්මුතු පරම්පරාවටම ඔනෙ බඩු ටික ඔක්කොම් ගත්ත කියමුකො, ඊට පස්සෙ තමයි රජ ගේම තියෙන්නෙ. බඩු ටික පැක් කරන එක. Airline එකේ luggage වලට limit කරල තියෙන බරට වඩා අඩුවෙන් කොහොම හරි ඔය ටික හදාගන්න ඔනෙ. ඒත් එක්කම ඔය ගත්ත ලට්ට ලොට්ට වල උස, මහත, පළල බලල කොහොම හරි luggage එක ඇතුලට ඔබාගන්නත් ඔනෙ. ඔය අතරෙ තමුන්ගෙ duty free limit එක ගැනත් මීටරෙ දාගෙන ඉන්න ඔනෙ. ගෙනියන බඩුවල ගාණ ඊට වඩා වැඩි වුනොත් ඉතින් අතින් කයිට් තමයි.

ඔය සේරම කටුකාල තමයි තමුන් එනකම් සැදී පැහැදී මග බලාගෙන ඉන්න හතර වරිගයා වෙනුවෙන් ඉහෙන් කටින් පුරෝගෙන බඩු අරන් යන්න වෙන්නෙ.

ඒත් ඉතින් අපි ලංකාවෙ මිනිස්සුනෙ. වැඩේ කරනකොට කොච්චර කට්ට වුනත් අරගෙන යන බඩු, ටොපි, චොකලට් බෙදල දුන්නට පස්සෙ කට්ටිය සතුටුවෙන හැටි දැක්කහම ඉතින් කාපු කට්ට ඔක්කොම අමතකයි.

මම හිතන්නෙ ඒක තමයි “අපේ කම” නැත්නම් “ලාංකීයබව” කියන්නෙ.

“සිම් ලිම්” එකට ගිහින් බඩු ගන්න (2- කොටස)

මේ සිද්ධිය මට වුන වැඩක්. අන්තිම සැරේට ලංකාවට යනකොට මට ගෙදරට cord-less phone එකක් අරගෙන යන්න ඔනෙ වුනා. ඕකටත් ඉතින් ගියෙ ඔය “සිම් ලිම්” එකටම තමයි; හැබැයි “සිම් ලිම් ස්ක්වෙයාර්” එකට. ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ගිය පලවෙනි කඩේම cord-less phone නානාප්‍රකාර වර්ග වලින්! ගන්න එකක් හිතාගන්න බැහැ!

එක එක ජාති වලින් එක එක පාට වලින් එක එක ගණන් වලට! ඔයින් එකක් නම් හිතට ඇල්ලුව; ඒත් අස්ප ගාණක් තමයි කිව්වෙ. S$160ක්! කොහේ තියෙන සල්ලිද අප්ප ඔච්චර එකක් ගන්න. වැඩේ අතෑරල දාල වෙන කඩේකින් බලනව කියල හිතාගෙන එලියට බහින්න හදනකොට අහපි කීයකට වගේද බලන්නෙ කියල. කොහොමත් ඒ කඩේ තිබුන ඒව මගෙ බජට් එකට වඩ වැඩි නිසා මම කිව්ව බලපු එක S$125කට දෙනවනම් ගන්නව කියල. මට ඔනෙ වුනේ ඒ කඩෙන් ගැලවිලා යන්න.

පුදුමෙ කියන්නෙ මෑන්ස් කියපි හරි S$125ට දෙන්නම් කියල. පණ්ඩිතය වගෙ ගාණ කිව්ව නිසා ගන්න වුනා. ඊට පස්සෙ එදා දවසෙම කලේ ඉතුරු කඩවලට ගිහින් මම ගත්ත cord-less phone එකේ ගාණ කීයද කියල බලන එක! අනෙක් කඩවල අඩුම ගාණ S$135යි. අපරාදෙ කියන්න බැහැ ඒ ගමන නම් මම ගොඩ! ගෙවපු ගාණට බඩුව වටිනව පස්සෙ ජාලෙ හොයල බැළුවහම!

පසු වදන: හෙට්ටු කරල බඩු ගන්න යන්න ඕනෙ මැලේසියාවෙ ක්වාල ලාම්පූර් වල pavement කඩවලට! අන්න හෙට්ටු කිරිලි! අපේ මල්වත්ත පාර පරාදයි! ඒ ගැන පස්සෙ ලියන්නම්.

“සිම් ලිම්” එකට ගිහින් බඩු ගන්න (1- කොටස)

මම වැඩ කරන තැන ලංකාවෙ කට්ටිය ගොඩක් ඉන්නව. ඔය කට්ටියෙන් ඉතින් මාසයකට අනිවාර්යයෙන්ම එක්කෙනෙක්වත් ලංකාවට ඇවිත් යන්න එනව.

ඔන්න ඔහොම ලංකාවට යන අයිය කෙනෙකුට “ඈම්ප්” එකක් ගන්න ඔනෙ කියල දවසක් අපි පස් හය දෙනෙක් උදේම “සිම් ලිම් ටවර්” ගියා.බලන බලන හැම පැත්තෙම අපිට ඔනෙ බඩු. ඔන්න ඉතින් අපි ඔක්කොම එක කඩේකට රිංගුව. හිතට අල්ලන “ඈම්ප්” එකකුත් සෙට් වුනා. ගාණ තමයි ප්‍රශ්නෙ! S$400ක්ද කොහෙද කිව්ව. අපේ බජට් එකට වඩා වැඩියි. ඉතින් කට්ටියම ආපහු හැරිල යන්න හදනකොට කඩේ ඉන්න කෙනා කියපි ” I will give it for s$250, coz this is my first sale of the day! But if you step out and come again asking for the item for S$250, can not!!!!!!!!”

ඔන්න ඔහොමයි “සිම් ලිම්” බඩු විකිණිල්ල!

පසු වදන : මොනව කරන්නද? ආපහු මේ deal එක set වෙන්නෙ නැති නිසා s$250 දීල “ඈම්ප්” එක ගත්ත. ඉගෙන ගත්ත පාඩම තමයි, කට්ටිය ගොඩක් එක පාරට එකම කඩයකට යන්න හොඳ නැහැ. කට්ටිය බෙදිල කඩවල් කීපයකට ගිහින් වලින් ගණන් කතා කරගෙන අඩුම තැනින් ගන්න එක තමයි කරන්න ඔනෙ!

ශ්‍රි ලංකාව සහ සිංගප්පූරුව

11මා ඉපදුන, හැදුන රට සහ දැනට සිටින රට සමඟ සැසඳීම තරම් නොවන දෙයක්. නමුත් අපට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංගප්පූරුවෙනුත්, සිංගප්පූරුවට ලංකාවෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.

1965 දී මැලේසියාවෙන් නිදහස ලබන විට සිංගප්පූරුව යනු අන්ත දුප්පත් රටක්. ඒත් ඊට අවුරුදු 40 කට පස්සෙ දැන් ලෝකයේ දියුණුම රටක් බවට පත් වෙලා. මුලදී සිංගප්පූරුවට ඕනෑ වුනේ කොළඹ නගරය “තරම්වත්” දියුණු වෙන්න. ඒ කාලෙ කොළඹට කිව්වෙ  “ආසියාවේ හරිත නගරය” කියල.

පොල් ගහේ කරටියට ගල් ගහන්න නම් හඳටවත් ඉලක්ක කළ යුතුයැයි කියමනක් තියෙනවනෙ. ඒත් පොල් ගහේ කරටියට ඉලක්ක කර ගල් ගැසූ සිංගප්පූරුව දැන් හඳට ගොහිං ඇත. අපේ කොළඹත්, රටත් ගියේ කොයිබටද? (පැවති යුද්ධය එක සාධකයක් පමණක් බව මම විශ්වාස කරමි. )

සිංගප්පූරුව අධික ජන ඝනත්වයක්ද අධික ජන විවිධත්වයක්ද ඇති රටකි. නමුත් ඉතා පිරිසිදු රටකි; මහජනතාවගේ විනය පවත්වා ගැනීම සඳහා ඉතා දැඩි නීති පනවා ඇති රටකි. නීති කඩ කලවිට මෙහි ඇති දඩ ඔලුව උස්සන්නට බැරි දඩය. Singapore is a FINE CITY කියන්නේ තේරුමක් ඇතිවය. මේ රටේ ස්වාභාවික සම්පතක් කියා කිසිවක් නැත. බොන්නට වතුර ටිකත් අල්ලපු රට වන මැලේසියාවෙන්ය. මෙහෙ මිනිස්සු පවුල් පිටින් විනෝද සවාරි යන්නේ මුහුදු වෙරළේ කූඩාරම් ගැසීමටය. නමුත් සිංගප්පූරු වැසියෝ ඔවුන්ට ඇති දේවල් උපරිමයෙන් භවිතා කරති; අලුත් ආකාරයට සිතති. ඒවා ක්‍රියාත්මක කරති; ඉතාමත් දක්ෂ සැලසුම් කරුවෝය.

ස්වාභාවික කැළයක් නැති රටේ ලොකයේ නොයෙකුත් රටවලින් සතුන් රැගෙනවිත් අග්‍රගණ්‍ය සත්තු වත්තක් සාදා ඇත. රෑට කළුවර වැටුන පසු මිනිස්සුන්ව බස් එකක් ඇතුලේ දමාගෙන සත්තු වත්ත ඇතුළේ සත්තු පෙන්නන්න එක්කං යෑම “Night Safari “යැයි කියා market කර ඇත.( ‍යාල, උඩවලව ඇතුළට රෑට එක්කගෙන ගියානම් මේගොල්ලන්ට තේරෙයි “Night Safari ” කියන්නෙ මොකක්ද කියල! මෙහෙ ඉන්නෙ කූඩු ඇතුලෙ දමාගෙන ඉන්න සත්තු. එහෙ ඉන්නෙ කැලේ ඉන්න නිදහස් සත්තු. ) අපේ රටේ ගොඩ කරන්නෙ වවාගෙන කන්න තියෙන කුඹුරු; මෙහෙ ගොඩ කරන්නෙ මහ මුහුද. තව අවුරුදු ගාණක් එහාට සැලසුම් කරල වැඩිවෙන ජනගහනයට අවශ්‍ය භූමිය හදාගන්න මෙයාල මුහුද ගොඩ කරනව.

තව අවුරුදු ගාණකට පස්සෙ අවශ්‍යවන ප්‍රවහන අවශ්‍යතා දැන්මම හදල ඉවරයි. රට කොයි තරම් නාගරීකරණය උනත් පුළුවන් හැම තැනම ගස් වවල, හැම නගරයකම නාගරික උද්‍යාන! කැලි කසල පාලනය නියමෙට. ලංකාව වගේම ලෝක සිතියමේ නියම තැනක තියෙන මේ රට ඒ වාසිය නියමෙට අරගෙන තියෙන්නෙ වරායෙනුයි, රටේ ගුවන් තොටුපොලෙනුයි. රටේ බදු අහස උසට උනාට මිනිස්සුන්ට එයාලගෙ බදු මුදල් වලින් කෙරෙන වැඩ ඇස් පනාපිටම බලාගන්න පුලුවන්. “මාටිය පාරවල්” මෙහෙ නැහැ.

දැන් බැළුවහම මීට අවුරුදු ගාණකට ඉස්සර අපෙන් පාඩම් ඉගෙනගෙන දියුණු වුණු රටෙන් අපිට පාඩම් ඉගෙන ගන්න වෙලා. හැබැ‍යි ඒක ලැජ්ජ වෙන්න ඕනි දෙයක් කියල කියන්න බැහැ. මොකද අපි තවමත් පරක්කු නැති නිසා; මේ රටේ නැති ස්වාභාවික සම්පත් ගොඩාක් අපෙ රටේ තියෙනව. ප්‍රශ්නෙ තියෙන්න අපේ අය මෙයාලගෙන් පාඩම් ඉගෙන ගන්න කැමතිද කියන එක විතරයි.

හැබැයි මේ ටිකත් කියන්න ඕනෙ. මොන දීප දේසංකරේ ගියත් අපි ලංකවෙ මිනිස්සු. අපි හිතන්නෙ පතන්නෙ ලංකාවෙ විදිහට. අපි කොයි වෙලාවෙත් හිතන්නෙ ආපහු කවද්ද ලංකාවට යන්නෙ කියල. කොච්චර දියුණු වුනත් මෙහෙ මිනිස්සුන්ගෙ සාරධර්ම අන්තිමයි. මිනිස්සු Roboල වගේ; තමුන්ගෙ වැඩේ විතරයි. අනෙකට මොනව උනත් ගාණක් නෙහෙ. අපේ රටෙ බස් එකක, කොච්චියක යනකොට වයසක කට්ටියට, ගැබිණි මව්වරුන්ට කට්ටිය නැගිටල වාඩි වෙන්න දෙනව. මෙහෙ එහෙම නැහැ. බලන බලන හැම තැනම ගහල තිබුනත් ගොඩක් අය ඔහේ අහක බලාගෙන යනව.

එතකොට තමයි අපිට අපෙ පුංචි රටේ අගය තෙරෙන්නෙ. සමහරු හැම තිස්සෙම දකින්නෙ තමුන් ඉපදුනු, හැදුනු, තමන්ට නොමිලේ උගන්වපු අපේ රටෙ වැරදිම විතරයි. එත් පිටරටකට ආවහම තමයි අපේ රට කොච්චර හොඳංද කියල තේරෙන්නෙ. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල වෙන අපේ යුතුකම වෙන්න ඔනෙ අපේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න දියුණු ලෝකයේ තාක්ෂණික දැණුම අපෙ රටට ප්‍රේෂණය කරන එක. එහෙම නැතුව බුරුතු පිටින් දියුණු රටවලට මාරු වෙන එක නෙමෙයි. මම හිතන විදිහට ඕක තමයි සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමාට අපි කරන ලොකුම ගෞරවය.

Next Newer Entries