පොතපතට පෙම බැඳ

ඔන්න ඉතින් හැම අවුරුද්දෙම වගේ මේ පාරත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවෙදි සාහිත්‍ය මාසය වෙනුවෙන් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනව. අද වෙන වැඩකට කොළඹ ගිය අල්ල පනල්ලෙ ඕකටත් ගොඩවැදිල එන්න අවස්ථාවක් හම්බ වුනා. ගිය අවුරුද්දෙනම් පොත් ප්‍රදර්ශනයට යන්න බැරි වුනේ ලංකාවෙ නොහිටපු නිසා. නැත්නම් හැම වතාවකම නොවරදවාම යන අවස්ථාවක් තමයි. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලනෙ කට්ටිය කියන්නෙ ඉතින්!

කියවීම කෙසේ වෙතත් පොත් ප්‍රදර්ශනයෙන් එකතු කරගත්ත අල්මාරියක් පිරෙන පොත් කන්දක්නම් තියෙනව. හැබැයි ඉතින් නොකියවනවමත් නෙමෙයි.. ඔය අතරින් ගුණදාස අමරසේකර ශූරීන් ලියපු “ගමනක මුල” පොතෙන් පටන් ගන්න “සිංහල මැද පන්තියේ” පරිණාමය කතා මාලාව, නීල් විජේරත්න ශූරීන්ගෙ “මදුරාසි කොල්ලා” සහ “බෙංගාලි යෙහෙළිය”, තිස්ස රවීන්ද්‍ර පෙරේරා ශූරින් රිවිර පුවත් පතේ ආරක්ෂක තොරතුරු තීරයේ පළකල ලිපි එකතු කරල සකස් කරපු පොත් කීපය, ශරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය ශූරීන්ගෙ “පරිනීතා”, පොඩිකාලෙ මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණ “කයිමන් දොරකඩ” නම හැදිච්ච හැටි ඉගෙනගත්ත සමන් කළුආරච්චි ශූරීන්ගෙ “කොළඹ පුරාණය” කියන පොත් කීපය තමයි මගෙ ප්‍රියතම පොත් ටික. ඔයිට අමතරව නාලන්දාවේ සිප් සතර ලබන කාලේ හෑගොඩආරච්චි ගුරු පියාණන්ගෙන් තිළිණයක් විදිහට ලැබිච්ච ලීල් ගුණසේකර ශුරීන්ගෙ “පෙත්සම” පොතටත් ගොඩක්ම කැමතියි. කාටූන් වලින් නම් ඉතින් ඉස්සර පිස්සු හැදිල වගේ කියෙව්වෙ හර්ජ් මහත්තයගෙ “ටින් ටින්” තමයි.

I can jump puddles

අද පොත් ප්‍රදර්ශනයට ගිය වෙලාවෙ ඉතින් සුරංගනා ලෝකෙක අතරමං වුනා වගේ. එක එක මාතෘකා ගැන ලියපු, පරිවර්ථනය කරපු පොත් ඕනෙ තරම්. මම හිතන්නෙ අපි පොතක් කියවනකොට ඒ පොත ඇතුලෙ ජීවත් වීමෙන් අපි අවට තියෙන සැබෑ ලෝකයෙන් නිදහස් වීමේ ප්‍රීතිය භුක්ති විඳිනව; අපි අවට ලෝකයේ තියෙන ප්‍රශ්න, හැල හැප්පීම් නිසා නිරන්තරයෙන්ම අපිට අත්දකින්න ලැබෙන මානසික ආතතීන්ගෙන් නිදහස පොතක් තුළට සමවැදීමෙන් ලබෙනව කියල. ඒ කෙසේ වෙතත් තවත් කෙනෙක් කියන කතාවක්, තවත් කෙනෙක් ලෝකය දකින ආකාරය, තව කෙනෙකුගෙ ජීවත අත්දැකීම් අපිත් පොතක් තුළින් අත්දැකීමෙන් අපේ විඥාණයට ලැබෙන දැනුම ගොඩක්ම වටිනව කියල තමයි මගෙ අදහස.

තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් තවමත් පොත් වලට ඇලුම්කරන කට්ටිය කොච්චරක්ද කියල සතියෙ දවසක් වෙච්ච අද ප්‍රදර්ශන භූමියෙ හිටපු සෙනඟ කන්දරාවෙන් හිතාගන්න පුළුවන්. “විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය”, “විදර්ශන ප්‍රකාශකයෝ” සහ “සූරිය ප්‍රකාශකයෝ” කියන තැන්වල තමයි ගොඩක් වෙලා ගත කළේ. බොහොම අමාරුවෙන් හිත හදාගෙන ගන්න පොත් ලැයිස්තුව පොත් 11කට සීමාකරගත්ත. ඒවයින් ගොඩක්ම පරිවර්ථන. ඒ අතරින් කත්‍යානා අමරසිංහ මහත්මිය සිංහලෙන් “මට පුළුවන්” කියල පරිවර්ථනය කරපු ඕස්ට්‍රේලියානු ජාතික රචකයෙක් වෙන Alan Marshallගෙ “I can jump puddles” කියන ස්වයං චරිතාපදානය ගොඩක් වටිනව කියල මට හිතෙනව. 2008 වර්ෂයේ හොඳම නවකතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති ශූරීන්ගෙ “අටවක පුත්තු” පොතත් නීල් විජේරත්න ශූරීන් ඉන්දියානු අත්දැකීම් ගැන ලියපු 3වෙනි පොත වෙන “කේරළ නළඟන” කියන පොතත් තියෙනව.

කොහොම හරි මේ පාරනම් ගත්ත පොත් ඔක්කොම කියවනව… 😀 හික්ස්!

Litter Bug

කාලෙකින් කියන්නෙ ගොඩ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දැන් ඉතින් ඉන්න හිටින තැනුත් වෙනස් වෙලා. සිංගප්පූරු ජීවිතයට ආයුබෝවන් කියල ආපහු සිරිබර සිරි ලංකාවෙ ඉඳන් තමයි බ්ලොග් එක කොටන්නෙ.

සෑහෙන කාලෙකට පස්සෙ ඊයෙ කොළඹ යන්න පුළුවන් උනා. මම විශ්වාස කරන විදිහට කොහේ ගියත් ඒ පළාතෙ නියම ජන ජීවිතය අධ්‍යයනය කරන්න ඕනෙ නම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න ඕනෙ. ඔන්න ඉතින් කොළඹ ගිහින් තිබුණ වැඩේත්  ඉවරකරගෙන තුම්මුල්ලෙන් 125ක නැග්ග ආපහු ගම රට බලා එන්න.

මීට අවුරුදු 2කට කලින් තිබුණ කොළඹත් එක්ක බලනකොට භෞතිකමය වශයෙන් සැලකියයුතු දියුණුවක් තියෙනව. අළුත් රථ වාහන ගමන් මාර්ග සංකල්පය මරේ මරු. ඉස්සර වගේ නෙමෙයි traffic ගොඩක් අඩු වෙලා. ඒක ඇත්තෙන්ම ලොකු දියුණුවක්.

ඒත් දූවිල්ල, කුණු කියන දේවල්නම් වැඩිවෙලා කියල තමයි මගෙ කල්පනාව. මගේ අත්දැකීම් අනුව රටක් නගරයක් කොච්චර භෞතිකමය වශයෙන් දියුණු වුනත් වැඩක් වෙන්නෙ නැහැ ඒ රට නගරය පිරිසිදු නැත්නම්. මම දැකල තියෙන හොඳම උදාහරණය තමයි මැලේසියාවෙ ක්වාලා ලම්පූර් නගරය. නගරය කොච්චර දියුණු වුනත් පිරිසිදුකම අන්තිමයි, හැම තැනම කුණු.

කැලි කසල නියමිත තැන්වලට බැහැර කරන්න

ඒත් සිංගප්පූරුව ගත්තහම පිටින් එන සංචාරකයින්ට පෙන්නන්න හදන්නෙ ලෝකෙ තියෙන පිරිසිදුම නගරය කියල. ඒ අය ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ රටේ ඉන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරල නම් නෙමෙයි. සිංගප්පූරුව කියන්නෙ දැඩි නීති රීති තියෙන, ඒ වගේම ඒ නීති ඒ විදිහටම ක්‍රියාත්මක කරන තැනක්. නීති රීති තද වැඩි නිසා මිනිස්සු වරදක් කරන්න කළින් කීප පාරක් හිතල බලනව.

වැඩිය ඕනෙ නැහැ අපේ රටේ කීයෙන් කී දෙනාද අපි විසි කරන ටොපි කොළේ, පොඩි කඩදාසි කෑල්ල කුණු බාල්දියට දාන්නෙ? මම හිතන විදිහට අපි කවදහරි මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරල ඕක කරන්න ඉන්නවනම් කවදාවත් අපිට ඕක කරන්න වෙන්නෙ නැහැ. මට මතකයි කවුද කියනව “ලෝකෙ කොහේ හිටියත් මිනිස්සු, මිනිස්සුමයි; හැබැයි ඔය හැම මිනිහම දඬුවමට බයයි” කියල.

ඔන්න මහරගමදි බස් එකට නැග්ග පිරිමි කෙනෙක් අතේ රටකජු හරි ගල් සියඹලා හරි ගොට්ටක් එක්ක. මේ මිනිහ ඒ ටික කාල ඉවරවෙනකල්ම කලේ රොඩු ටික බස් එකේ ජනේලයෙන් එළියට විසිකරන එක. ඔන්න ඔහොමලු කොළොම්පුරේ ශ්‍රියා!

19 වසරකට පෙර – ගාමිණී කුලරත්න

හසලක වීරයා

හසලක වීරයා

ගොඩක් කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. ඒත් අදනම් ලියන්නම ඕනෙ. ඒ අද දවසෙ තියෙන ලොකු වැදගත්කමක් නිසා.

හරියටම අවුරුදු 19කට ඉස්සර අද වගේ දවසක ඉතා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් ලාංකීය ජාතියේ තියෙන නිර්භීතභාවය මොනවට පෙන්නමින් ජාතිය වෙනුවෙන් තමුන්ගෙ ජීවිතය පරිත්‍යාග කලා.

මහනුවරට ආසන්න කුඩා නගරයක් වන හසලක ලංකාව  ඇතුළත විතරක් නෙමෙයි මුළු ලෝකයම දැන් දන්නේ හසලක වීරයගෙ ගම හැටියට. හසලක වීරය කියන්නෙ කවුද කියල ඇහැව්වොත් ඒ වීරයගෙ නම කියන්න බැරි උනත් ඒ වීරය කරපු වීර ක්‍රියාව පොඩි ළමයි පවා දන්නව.

එදා අලිමංකඩ හමුදා කඳවුරත් කඳවුරේ සිටින සහෝදර සෙබළුත් බේරා ගන්න තමුන්ගෙ ජීවිතය පූජා කලේ කොයි කවුරුත් හසලක වීරය කියල කියන කෝප්‍රල් ගාමිණී කුලරත්න PWV රණ විරුව. ඒ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය රණ විරුවෙකු වෙනුවෙන් පිරිනමන උසස්ම සාංග්‍රාමික පදක්කම වෙන පරම වීර විභූෂණයෙන් මුළින්ම පිදුම් ලැබුව; ඒ 1991 ඔක්තොම්බර් 10 වෙනිද එවකට ජනාධිපති වෙලා හිටපු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින්.

නූතන ජාතික වීර පරපුරක අමරණීය සටහනක් තැබූ මේ ශ්‍රී ලාංකීය රණ විරුවාට දිය කැට පහණේ උත්තමාචාරය මෙසේ පිරිනැමෙන වගයි.

ප.ලි.) සුප්‍රකට Reader’s Digest සඟරාවේ හසලක වීරයා ගැන පළවූ ලිපියක සිංහල පරිවර්තනය මෙතැනින් කියවන්න.

සිංගප්පූරුවේ “දත් ගැලවිල්ල”!

ඔන්න ආපහු කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව.
මේක මට ඊයෙ වෙච්ච සිද්ධියක්.

දත් දොස්තරල කියනව වගේ දවසකට දෙපාරක් දත් මදින හින්දත්, හැම දතකටම ලේසියෙන් ලඟාවෙන්න පුළුවන් නැමි 3නේ දත් බුරුසුවක් පාවිච්චි කරන හින්දත්, ෆ්ලෝරයිඩ් සහ කරාබු නැටි තෙල් තියෙන දන්තාලේපයක් පාවිච්චි කරන හින්දත් ඔන්න මගෙ දතක් “පණුවො කෑව”.

ටික දවසක් ඉවසල ඉන්න බැරි තැන ඊයෙ නිවාඩුවක් දාල මම ගියා සිංගප්පූරුවේ දත් දොස්තර කෙනෙක් මුණ ගැහෙන්න. මෙහෙ ඉතින් ඕනෙ දෙයක “කැටයම” තියෙනවනෙ. Dental Clinic එක Full AC! ගිය ගමන් දුන්න form එකක් ඉපදිච්ච වෙලාවෙ ඉඳන් සෞඛ්‍ය ඉතිහාසය අහල. ඒකත් පිරෙව්ව කියමුකො.

ටික වෙලාවකින් දොස්තර කතා කලා. ඇතුලට ගියහම වාඩි වෙන්න කියල ඇහුව මොකක්ද ප්‍රශ්නෙ කියල. මමත් කිව්ව මෙන්න මෙහෙමයි; මට හිතෙන විදිහට මගෙ දකුණු හක්කෙ උඩු ඇන්දෙ දතක් දිරල කියල. දොස්තර කිව්ව මුලින්ම X-ray එකක් අරගෙන බලමු කියල. ඒකට ඩොලර් 20ක් යනවලු. ඉතින් මමත් “හා” කිව්ව. හා කිව්වට ඉතින් හිත නිකන් exchange control center එකක් වගේ පට පට ගාල ඩොලර් රුපියල් වලට හරවනව. ඩොලර් 20 ක් කියන්නෙ රුපියල් 1600ක් විතර. ඒත් ඉතින් මොනව කොරන්නද? මේ සිංගප්පූරුවනෙ! X-ray එක ගත්තට පස්සෙ ඒක බලල කියනව normal filling එකකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි වගේ කියල. ඒකට ඩොලර් 60යි! (රුපියල් වලින් 4800ක් විතර ) ඇති ඔයින් බේරුනොත්!

ඔන්න ඉතින් දත පුරවන්න පටන් ගත්ත. ටික වෙලාවකින් දොස්තර කියනව දතේ දිරුම ගොඩක් ඇතුලට තියෙනව එක්කො nerve filling එකක් කරන්න ඕනෙ, නැත්නම් දත ගලවන්න ඕනෙ කියල. දැන් ඉතින් මක්කැයි කොරන්නෙ?

දත ගලවනවනම් යන්නෙ ඩොලර් 30යි ලු. ඒත් දත ගොඩ දාගන්න පුළුවන් තත්ත්වයෙ එකක් හින්ද එයානම් කියන්නෙ nerve filling එකක් කරගන්න කියලලු. හැබැයි ඒකට ඩොලර් 600ක් විතරලු, ඊට පස්සෙ තව crowning කියල එකක් කොරන්න තව ඩොලර් 500ක් විතර යනවලු.

දැන් දොස්තර කියනව හිතල බලල කියන්නලු මොකක්ද කරන්නෙ කියල. මිනිහ මාව මාර උගුලක තමයි දැම්මෙ! ගොඩ දාගන්න පුලුවන් දතක් හින්ද ගලවන්නත් ලෝබයි; ඒත් ඉතින් ඩොලර් 1100ක් දතකට වියදම් කරන්න?

ඔය වෙලාවෙ ඉතින් පූරුවෙ වාසනාවකට maxa idea එකක් ආව. මම කිව්ව මම ආපහු ලංකාවට යනව; ලංකාවෙ nerve filling එකක් කරන්න උපරිම යන්නෙ ඩොලර් 100ක් විතර; ඒක නිසා ඒ වෙනකම් මට  temporary filling එකක් දාල දෙන්න කියල. වැඩේ ගොඩ!

දොස්තරත් ඉතින් (බැහැ කියන්න බැරි නිසා) “හා” කියල දත පුරවල දුන්න. 😀 කොහොම හරි අන්තිමට ඔක්කෝටම ඩොලර් 90ක් විතර ගියා. ඔයින් ගියා ඇති. උන්න හැටියට මළා මදැයි!

Full අබ්ලික් වෙච්ච වෙලාවෙ අරවගේ idea එකක් ආව එකට දහස්වාරයක් ස්තූති කර කර මමත් ආපහු ආව.

ඔන්න ඔහොමයි සිංගප්පූරුවෙ “දත් ගැලවිල්ල”!

සුලෝහිත සංග්‍රාමය

අපි ඉස්කෝළෙ යන දවස්වල Big Match එක තියෙන දවස් කියන්නෙ නියම fun කාලෙ. උපරිම Fun තමයි. ලංකාවෙ ඉස්කෝල අතර තියෙන Big Matches වලින් අපේ ඉස්කෝළ 2කේ Big Match එක ගොඩක් වෙනස්. ඒ වෙනසට ප්‍රධානම හේතුව තමයි ඉස්කෝළ 2 අතර තියෙන fit එක. කොහේ ගියත් ඉස්කෝළ 2 එකට.

සාමාන්‍යයෙන් School Bus එකක් දාන්නෙ එක ඉස්කෝළෙකටනෙ; ඒත් ආනන්දෙටයි නාලන්දෙටයි තියෙන්න එක School Bus එකක්. Big Match එක කාලෙට ඒ බස් එක වැහෙන්න ඉස්කෝළ දෙකේම කොඩි දාගෙන යනව වෙනසක් නැතුව. කොළු කමට දවස්වල කරන අනෙක් පිස්සු විකාර වැඩත් ඉතින් එකටම තමයි.

Match එක දවසටත් තරඟයෙ ජය පැරදුම මොකක් වුනත් දෙගොල්ලොම සින්දු කියල නටල තමයි ඉන්නෙ. ආනන්ද-නාලන්දා Big Match එකේ කවදාවත් ඉස්කෝල දෙක අතර රණ්ඩුවක් වෙලා තියෙනව කියල මමනම් මෙච්චර කාලෙකට අහල නැහැ. Big Match කාලෙට නෙමෙයි අනෙක් කාල වලදිත් එහෙම්මම තමයි.

අපේ ඉස්කෝළ දෙකේ අයට Big Match එක කියන්නෙ එකට එකතු වෙන්න හම්බ වෙන , අනෙක් ඉස්කෝලෙට ගිහින් යාළුවො හම්බවෙන්න ලැබෙන කාලයක්. ඔය කාලෙට තියෙන තව Matches තියෙනව. ඉස්කෝල 2කේ සර්ල ගහන ක්‍රිකට් Match එක, මැඩම්ල ගහන  Netball match එක වගේ. ඔය ටිකත් ඉතින් උපරිම fun එකක් ගන්න අවස්ථා තමයි.

මම මේ සටහන තියන්න හිතුවෙ 81 වෙනි සුලෝහිත සංග්‍රාමය අද කොළඹ සිංහල ක්‍රීඩා සංගම් පිටියෙදි ආරම්භ වෙන නිසා.

අපේ ඉස්කෝළ 2කේ උදවිය ඉස්කෝළ පටන්ගත්ත කාලෙ ඉඳල තියාගෙන ආපු, අපෙ කාලෙදි අපිත් රැකගත්ත, දැනටත් පවතින මේ ආනන්ද – නාලන්දා fit එක හෙටත්, මතුවටත්, හැමදාටමත් පවතීවා……

උපාධිධාරියා

පහුගිය දවස් ටිකේ මොකක්දෝ හින්ද ඕනෙ තරම් කාලය තිබුනට බ්ලොග් එකේ ලිපියක් දාන්න  mood එකක් තිබුනෙ නැහැ; අපේ සහෝදර බ්ලොග්කරුවො ලියපු ඒවනම් ගොඩක් කියෙව්ව. ඒත් පහු ගිය දවසක මගෙ යාළුවෙක් මූණුපොතේ පළකරල තිබුණ ඡායාරූප ටිකයි ඒ ඡායාරූප එකතුවට කට්ටිය දාල තිබුණ  comments ටිකයි දැක්කම මාසෙකට ආසන්න කාලයක් තිබුන බ්ලොග් ලිවීමේ නිහැඬියාව බිඳින්න හිතුන. මේ මාතෘකාව මීට ඉස්සරත් මම “සරුංගලේ”කියන ලිපියෙන් ටිකක් දුරට සාකච්ඡා කලා.

එක අවුරුද්දකට අපේ විශ්වවිද්‍යාල වලින් ඉතා විශාල  උපාධිධාරීන් සංඛ්‍යාවක් සමාජයට පිටත් වෙලා යනව. ඔය උපාධිධාරීන් බොහොමයකගෙ අපේක්ෂාව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටක ස්ථීර පදිංචිය ලබාගෙන පිටත් වෙලා ගිහින් තම තමුන්ගේ පෞද්ගලික ජීවිත සාර්ථක කරගන්න. ඒත් ඔය අතරෙ ඉතාම අල්ප ප්‍රමාණයක් වෙච්ච පිරිසක් ඉන්නව මේ රටේ දියුණුව වෙනුවෙන් තමුන් ඉගෙන ගත්තු දැනුම පාවිච්චි කරන. ඒත් දැනට තියෙන සමාජ ක්‍රමය යටතේ වංචාව, දූෂණය වගේ දේවල් ඉදිරියේ නැමෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න  ඉතා හොඳ ආත්ම ශක්තියක් ඕනෙ වෙනව. ගොඩක් උදවියට වෙන්නෙ මේ ආත්ම ශක්තිය නැති හින්ද පවතින සමාජ ක්‍රමයෙන් ඒ අයව ගිල ගන්න එක. ඉතාමත් අල්ප ප්‍රමාණයක් වෙච්ච උදවිය කට්ටියක් තමයි ඔය සටන ජයගන්නෙ.

මෙහෙම අපේ රටේ දියුණුව වෙනුවෙන් නිහඬ සේවයක් කරන ඔය වගේ අය කීයෙන් කීදෙනාද නිසි ඇගයීමකට ලක්වෙන්නෙ?

ඇවිල්ල ඇවිල්ලා චීන අවුරුද්ද ඇවිල්ලා….

චීන අවුරුදු සැරසිලි

සිංගප්පූරුවෙ ඉන්න අපිට ඔන්න පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ ඉන්න පුළුවන් දවස් ටික ළඟ ළඟම එනව. ඒ චීන අළුත් අවුරුද්දට ලැබෙන නිවාඩු ටික නිසා. එක අවුරුද්දකට සාමාන්‍යයෙන් සිංගප්පූරුවෙ තියෙන්නෙ නිවාඩු දවස් 11ක් වගේ. ඔය දවස් 11න් 2ක්ම චීන අළුත් අවුරුද්දට වෙන කරල තියෙන්නෙ. අපි අප්‍රේල් මාසෙදි අපේ අළුත් අවුරුද්ද සමරන විදිහටම තමයි මේ චීන ජාතිකයොත් එයාලගෙ අළුත් අවුරුද්ද සමරන්නෙ. ලෝකෙ වටේම විසිරිලා ඉන්න චීන ජාතිකයින් මේ අවුරුද්ද සමරනව. ඒත් චාරිත්‍ර වාරිත්‍ර නම් අපේ ඒවට වඩා ටිකක් වෙනස්. මමනම් මේ කාලෙට ගොඩක්ම කැමති මදි නොකියන්න පැණි දොඩම් හම්බවෙන හින්ද! ඒ වගේම තවත් නොයෙකුත් කෑම ජාති හම්බ වෙනව ඇති වෙනකම්.

චීන අවුරුදු තෑගි

මේ කාලෙට චීන ජාතිකයින් එයාලගෙ ගෙවල් ලස්සනට සරසනව. හරියට අපි වෙසක් කාලෙට කරනව වගේ. සැරසිලි වලට ගොඩක්ම යොදාගන්නෙ රතු, රත්තරන්, තැඹිලි, කහ කියන පාටවල් ටික තමයි. චීන ජාතිකයින් බහුතරයක් ඉන්න ප්‍රදේශ වල වීදි මේ කාලෙට සාම්ප්‍රදායික පහන් කූඩු වගේම විදුලි බුබුළුත් යොදගෙන ඉතාම ලස්සනට ආලෝකමත් කරල තියෙන්නෙ. අපි අළුත් අවුරුද්දට රතිඤ්ඤා, නිලා පත්තු කරනව වගේ මෙයාලත් ඒව කරනව. අනෙක ලෝකෙට වෙඩි බෙහෙත් දායාද කරපු චීන්නු එයාලගෙ අළුත් අවුරුද්දෙදි  ඒව පත්තු කරන්නෙ නැතිව ඉඳීද?

චීන විශ්වාසයට අනුව 2010 කියන්නෙ “කොටියට” අයිති අවුරුද්දක්! මේ අවුරුද්දෙදි විවාහ වෙන්න, ළමයි හදන්න වගේ දේවල් හොඳ නැහැ කියල තමයි එයාල විශ්වාස කරන්නෙ.

මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ මැලේසියාවෙ මලක්කා නගරයෙ තිබුන චීන අවුරුදු ප්‍රසංගයකදි ගත්ත ඡායාරූපයක්

Previous Older Entries