කඩ්ඩ

අපි සාමාන්‍යයෙන් “කඩ්ඩ” කියන්නෙ ඉංග්‍රීසි භාෂාවටනෙ. ඔය නම හැදුනෙ ඉස්සර ඉංග්‍රීසිය සල්ලි තියෙන අය ආභරණයක් විදිහට කැපී පෙනෙන්නයි සල්ලි බාගෙ නැති අය “කපා දාන්නයි” පාවිච්චි කරපු නිසා කියල තමයි මම නම් හිතන්නෙ.

ඒත් දැන් ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් වෙලා. අපි කැමති වුනත් නැතත් සමාජයේ ඉස්සරහට යන්න අවශ්‍ය මෙවලමක් වෙලා.

ඒක නිසා හැමෝම පුළු පුළුවන් විදිහට ඕක ඉගෙන ගන්නවනම් තමයි හොඳ. තමුන්ගෙ මවු භාෂාව නොවන නිසා 100%ක්ම නිවැරදියට ඕක පාවිච්චි කරන්න ඕනෙ නැහැ. අනෙක් මිනිහට තමන් අදහස් කරන එක තේරෙනවනම් එච්චරයි.

හැබැයි මම කියන්නෙ යන්නෙ ඕකෙ වෙනම පැත්තක් ගැන. තමුන්ට කොච්චර “කඩ්ඩ” පුළුවන් වුනත් තමුන්ගෙ මුල් අමතක කරන්න හොඳ නැහැ. ප්‍රංශකාරයො දෙන්නෙක් මුණගැහුනොත් උන් දෙන්න කතාකරන්නෙ ප්‍රංශ භාෂාවෙන්. ඉතාලිකාරයො දෙන්නෙක් උනත් එහෙමයි. වැඩිය ඕනෙ නැහැ අපේ ලංකාවෙ දමිළ සහෝදරයො දෙන්නෙක් වුනත් එහෙමයි. එහෙම පිට තැනකදි තමුන්ගෙ මවු භාෂාවෙන් කතාකරන එක ඒ අයට ආඩම්බරයක් කියල මට මගෙ පිටරට යාළුවො කීපදෙනෙක්ම කියල තියෙනව.

හැබැයි මම අහල දැකල තියෙන විදිහට සිංහල මිනිස්සු දෙන්නෙක් පිට තැනකදි මුණ ගැහුණොත් ඒ දෙන්නම හදන්නෙ එක්කෙනෙක්ට වඩා අනෙක් එකාට හොඳට “කඩු හරඹ” පුළුවන් බව පෙන්නන්න. අපිට වැරදුනේ කොයි තැනදිද?

රට රස්සාව

ලංකාවෙන් ගොඩක් කට්ටිය පිටරට රස්සාවල් කරන්න එනව. මෙහෙම එන කට්ටියගෙන් බොහොමයක්ම අය කරන්නෙ ගෘහ සේවය, ශ්‍රමික, කාර්මික , රියදුරු වගේ රස්සාවල්. වෘත්තීය රැකියාවලට එන්නෙ බොහොමයක් අඩුවෙන්. වෘත්තිකයො ආවත් බොහොමයක් අය කරන්නෙ දියුණු වෙච්ච රට වලට සංක්‍රමණය වෙන එකනෙ.

මේ ළඟදි මෙහෙ Super Market එකකදි මම දැක්ක දෙයක් ගැන තමයි මට අද ලියන්න හිතුනෙ. මම ඒ Super Market එකෙන් මට ඕනෙ බඩු ටිකක් අරගෙන Cashier ළඟට ගිහින් මුදල් ගෙවන්න හදනකොට එහා පැත්තෙ Cashier ළඟ බඩු අරගෙන සල්ලි ගෙවන්න තව දෙන්නෙකුත් හිටිය. පෙනුමෙන් මේ අය ඉන්දියාවෙ හරි බංගලිදේශයෙ හරි කට්ටිය වගෙ තමයි පෙණුනෙ. මේ අය අරගෙන තිබුනෙ එදිනෙදා කෑමට ඕනෙ කෑම උයන්න ගන්න බඩු ටිකක්. ඔන්න Cashier ගෑණු ළමය ඩොලර් 6 ක වගේ ගාණක් කිව්ව ඒ අයට ගෙවන්න. ඔන්න දෙන්නම ඉතින් සාක්කු වලට අතදාල සිල්ලර කාසි ගොඩක් අරගෙන දුන්න. ඔක්කොම එකතු කලහම ඩොලර් 5ක් වගේ තමයි තිබුණෙ මගෙ හිතේ. ඔන්න ඊට පස්සෙ දෙන්නත් එක්ක ගත්ත ඔක්කොම බඩු ගන්න සල්ලි නැති නිසා බොහොම අමාරුවෙන් මොකක්ද කෑම ජාතියක් ආපහු දුන්න. ඊට පස්සෙ ගණං බේරල ගියා.

මේක සාමාන්‍ය සිද්ධියක් වගේ පෙනුනට අපිට නොපෙනෙන පැත්තකුත් තියෙනව කියල තමයි මට හිතෙන්නෙ. රට රස්සාවල් කරන්න බොහොමයක් අය එන්නෙ තමුන්ගෙ පවුල්වල තියෙන අග හිඟකම් නිසා. බොහොමයක් අය මාසයක් ගානෙ තමුන්ට පඩි හම්බ වුනහම පුලුවන් තරම් සල්ලි ලංකාවෙ තමුන්ගෙ ගෙදරට අරිනව අතේ වියදමට කීයක් හරි තියාගෙන. ඔහොම අතේ වියදමට කියල තියාගන්නෙ සොච්චං මුදලක්. ඔය මුදලෙන් ඒ අය ඊළඟ මාසෙ පඩිය හම්බවෙනකං බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ අරගෙන යන්නෙ. ගොඩක් කට්ටිය නවාතැන් අරගෙන ඉන්නෙ පහසුකම් ගොඩක් අඩු, අන්ත අසරණ තැන් වල. ඔය විදිහට ගොඩාක් අමාරු ජීවිත ගතකරල තමයි රට රස්සාවල් කරන කට්ටිය ලංකාවට විදේශ විනිමය එවන්නෙ.

සරුංගලේ

නන්දා මාලිනියන්ගේ “සරුංගලේ” කියන සින්දුව මට අහම්බෙන් වගේ youtube එකේ කරක්ගහපු වෙලාවක අහන්න සෙට් වුනා.

ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන “බුද්ධි ගලනය” කියන මාතෘකාව නියමෙට මේ සින්දුවෙන් ආමන්ත්‍රණය කරනව කියල තමයි මටනම් හිතෙන්නෙ. ලංකාවෙන් බිහිවෙන හුඟක් ඉංජිනේරුවො, දොස්තරල ඒ තැන්වලට ආවහම හුඟක් කතා කරන්නෙ තමුන්ට නොමිළේ උගන්වපු රටට, තමුන්ගෙ අධ්‍යාපනයට වියදම් කරපු අසරණ මිනිස්සුන්ට තමුන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් නෙමෙයි; තමුන්ට, තමුන්ගෙ “ලොකු තත්ත්වයට” ලැබෙන්න ඕනෙ අයිතිවාසිකම් ගැන.

Swades - We The People

Swades - We The People

අපිව ඉංජිනේරුවො, දොස්තරල කරන්න ගඟේ වැලි ගොඩදාන මනුස්සයගෙ ඉඳල රටේ ඉන්න හැම දුප්පත් මිනිහම බදු ගෙවනව. එච්චර වෙහෙසක් දරල රට ඉංජිනේරුවො, දොස්තරල හදන්නෙ උන් මේ රටට සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්; එහෙව් එකේ දුප්පත් රටකින් නොමිළේ උසස් අධ්‍යාපනය ලබාගෙන තමුන්ගෙ ආත්මාර්ථය විතරක් බලාගෙන සංවර්ධනය වෙච්ච රටකට සංක්‍රමණය වීම කොච්චර බාල වැඩක්ද? Swades කියන හින්දි චිත්‍රපටියෙනුත් මේ ප්‍රශ්නය නියමෙට සාකච්ඡා කරනව.

කොහොම වුනත් දොස්තරලට, ඉංජිනේරුවන්ට නියම වෘත්තීය තත්ත්වයක් අපේ රටේ නැහැ කියන එකනම් පිළිගන්න වෙන සත්‍යයක්. ඒත් රට හැර දාල යන එක නෙමෙයි කරන්න ඕනෙ. අදාල වෘත්තීන්ට ලැබෙන්න ඕනෙ සාමාජීය හා ආර්ථික තත්ත්වය හදාගන්න එකත් එක්තරා දුරකට ඒ වෘත්තීන්වල යෙදෙන අයගෙම වගකීමක්. එහෙම හදාගන්න අමාරුයි කියළ හිතෙනවනම් පිටරටක වැඩ කළත් කමක් නැහැ, තමුන් හම්බකරන සල්ලි තමුන්ට උගන්වපු රටට එවනවනම් migrate වෙන්නෙ නැතුව. මේ ලෝකෙ මොන දේ වෙනස් කළත් ඉපදුන රටයි, අම්මවයි වෙනස් කරන්න බැහැ කියළ කොහෙද තිබුණ මට මතකයි.

උපන් බිමට වඩා තැනක් කොහෙද තියෙන්නේ………….

පබා බැලිල්ල

එක්තරා පුද්ගලික රූපවාහිනී නාළිකාවක් මීට කාලයකට ඉස්සෙල්ල අපේ රටේ කට්ටියට එක වසංගතයක් බෝකළා. ඒක ඔය කවුරුත් දන්න විදිහට සතියෙ හැම දවසකම රෑට පැය දෙකක් එක දිගට රූප පෙට්ටිය (අපේ ගෙදරනං ඕකට ඉස්සර කිව්වෙ “හූණියම් පෙට්ටිය” කියළ) ඉස්සරහට වෙලා “Soap Opera” බල බලා ඉන්න පුරුදු කරපු එක. ඒක කොයි තරම් සාර්ථක වුනාද කියනවනම් අනෙක් නාළිකාවල කට්ටිය ඒකට මඩ ගහන්න පටන් ගත්තනෙ “ගොං දෙපැය” කියල; ඊට පස්සෙ බද්දකුත් ගැහුවනෙ. එහෙම කරළත් බැරිම තැන ඒකට තරඟයක් දෙන්න තවත් නාළිකාවක සෙට් එකක් තවත් දෙපැයක් පටන් ගත්ත. ඔය දෙපැයත් සාර්ථක වුනා මොකද ඒ Soap Operaවල තියෙන්නෙ දේශීය කතා නිසා.

ඔහොම පටන් ගත්ත ලාංකේය Soap Operaවලට මුළින්ම ලොකු ඉල්ලුමක් තිබුන. මොකද මම හිතන විදිහට “ශාන්තී”, “ප්‍රගති”, “ප්‍රවීනා” වගේ ඉන්දීය නිළියන් රඟපාපු චරිත අපෙ කට්ටිය රඟපානව බලන්න අපේ අයට ලොකු ආසවක් තියෙන්න ඇති. ඊට පස්සෙ කට්ටිය ඕකට ඇබ්බැහි වුනා. දැන් අපේ කට්ටිය දත නියෝගෙන සති මාස ගණන් එකතැන පල්වෙන පබා දිහා බලාගෙන ඉන්නව. මට මතකයි මේ ළඟදි පත්තරේකත් තියෙනව “ප්‍රභානම් ඉවරයි ඒත් පබා?” කියළ! කට්ටිය තමුන්ගෙ කාලෙ, සල්ලි නාස්ති කරගෙන පබා බලන්නෙ කතාවෙ තියෙන වැදගත්කමකට නෙමෙයි ඔහේ බලන්නං වාලෙ වෙන වැඩක් නැති නිසා.

මම මෙහෙම කියන්නෙ පහුගිය දවසක වෙච්ච සිද්ධියක් නිසා. මෙහෙ සිංගප්පූරුවෙ ඉන්න මම දන්න ලංකාවෙ කට්ටියගෙන් 90%ක්ම අන්තර්ජාලය හරහා ඔය පබාව බලනව. ඔහොම පබාව බල බල හිටපු එක්කෙනෙක් ගිය පාර ලංකාවට ගිය සැරේ එයගෙ කොම්පියුටරෙත් එහෙට අරගෙන ගියා. දැන් ඔන්න මනුස්සය ආපහු මෙහෙ ආව; මිනිහට ලොකු ප්‍රශ්නයක්! මොකද්ද? පබා බලන්න කොම්පියුටරයක් නැහැ. ඔන්න ගිය සති අන්තෙ මෙහෙ අති විශාල IT Show එකක් තිබුන. මිනිහ මොනවද කළේ. රුපියක් ලක්ෂයකට පොඩ්ඩක් අඩු ගාණක් දීල පබා බළන්න Laptop එකක් ගෙනාව! මෙහෙමත් ඇබ්බැහි වීමක්! මෙහෙමත් පිස්සුවක්!

කොහොම වුනත් අනුන්ගෙ නිදහසට බාධාවක් නොවෙනතාක් තමන්ට කැමති දෙයක් කරන්න හැමෝටම නිදහස තියෙනව. ඒත් එකතැන පල්වෙන කතා set එකක් බලන්න මෙච්චර වියදමක්?

ඉස්සර අපේ ජාතික රූපවාහිනියෙ ගියේ කොච්චර අර්ථවත්, රසවත් ටෙලි නාට්‍යයද? “වෙද හාමිනේ”, “අකාල සන්ධ්‍යා”, “දඬුබස්නාමානය” වගේ. මගෙ හිතේ අන්තිමට ඔය වගේ හොඳ ටෙලියකට ගියෙ “මුතුමිණ” හිටපු “ඉසුරු යෝගය” තමයි. ඊට පස්සෙ ගියේ මුළදි පොඩ්ඩක් ලස්සන පස්සෙ බොහොම අමාරුවෙන් ඇදගෙන යන, අපේ මිනිස්සුන්ගෙ විඥාණය මොට කරන සෝඩා බොතල් ටෙලි නාට්‍ය!

නිකං ඉන්න බැරිවට

දැන් මේ මුහුදු ගිහින් ආව විතරයි. මුහුදු ගියා කිව්වෙ මාළු අල්ලන්න නම් නෙමෙයි. අපි රස්සාව කරන්නෙ ඉතින් මුහුදෙ පාවෙන යන්තරවල තමයි.

ඉස්සර මම බෝට්ටුවල යන්න ටිකක් විතර චකිතයක් තිබුන. මුහුදෙ යන්න නම් ඊටත් වඩා. මුහුද කියන්නෙ දෙයියනේ ලෙහෙසි පහසු තැනක් නෙමෙයිනෙ; බැරිවෙලාවත් ඉතින් වැටුනොත් sorry.com තමයි. ඒත් දැන්නම් ” මුහුද මගේ ගොඩබිමයි………… බෝට්ටුව නිවසට සමයි………..”

මුහුදු හුළඟ කියන්නෙ අප්පා මිළ කරන්න බැරි සම්පතක්! මහන්සි වෙලා ඉන්න වෙලාවට මුහුදු හුළං පාරක් වැදෙනකොට තියෙන්නෙ පුදුම සනීපයක් .

මුහුදු හුළං පාරක සනීපය විඳින්න මුහුදු යන්නම ඕනෙ කියල මම නම් හිතන්නෙ නැහැ. ඒත් ඒකෙ තියෙන නියම සුවඳ මටනම් දැනෙන්නෙ මුහුදෙදි තමා.

මෙහෙ මිනිස්සුන්ට රටේ ඉඩ නැතිනිසා මුහුද ගොඩ කරනව. ඒත් අපේ මිනිස්සු? අපේ රට වටේම තියෙන මුහුදෙ අපිට අගයක් නැතිවෙලා. රස වගේම ගුණෙනුත් පිරිච්ච මුහුදු පැළෑටි කාලෙ තියෙන්නෙ අපේ කීයෙන් කීදෙනාද? අපේ රට වටේ තියෙන මත්ස්‍ය සම්පතෙන් ධීවර කර්මාන්තය කොච්චර දියුණු කරන්න පුලුවන්ද? වැඩිය ඕනෙ නැහැ කකුළුවොම export කරන්න පුලුවන්නෙ දෙයියනේ!  මම හිතන්නෙ අපේ මිනිස්සුන්ට තියෙන්නෙ ඕනෙ නැතිකම. මුහුද විතරක් නෙමෙයි අපේ රටේ තියෙන ගොඩක් දේවල්වල අපිට අගයක් නැතිවෙලා.

මෙහෙ මිනිස්සුන්ට අපි ලංකාවෙන් කිව්වහම අපෙන් අහන්නෙ සීගිරිය, පොලොන්නරුවෙ ගල් විහාරෙ පිළිම, යාල, දළදා මාලිගාව, සිරීපාදෙ, අලි ඇත්තු, ත්‍රිකුණාමලය වරාය ගැන. ඒත් අපේ අයගෙන් කීයෙන් කීදෙනාටද ඔය දේවල් ගැන හොඳට විස්තර ඇතුව පිටරට අයට විස්තර කරල දෙන්න පුලුවන්? ඒ තියා ඔය තැන් ඔක්කෝටම ගිහින් තියෙන්නෙ කීයෙන් කීදෙනාද? සමහර අපේ කට්ටියට වඩා මේ රටවල ඉන්න අය අපෙ රටේ දේවල් ගැන දන්නව.

ලෝකෙ ගොඩක් රටවලට නැති අතීතයක්, ඒ අතීතය ගැන කියන ජීවමාන සාක්ෂි ගොඩක් අපිට තියෙනව. ස්වාභාවික සම්පත්? ඒවත් ඕනෙ තරම්. මම දැක්ක කවුද කියල තියෙනව ලංකාවෙ නැත්තෙ රත්තරං විතරයි කියල. ඒක මම දන්න විදිහටනම් වැරදියි. මොකද සැමුවෙල් බේකර්ගෙ Eight Years’ Wanderings In Ceylon  කියන පොතේ පැහැදිලිව තියෙනව නුවරඑලිය ආශ්‍රිත ප්‍රදේශවලින් රත්තරං හොයාගත්ත හැටියි; කෝට්ටෙ පැත්තෙන් රිදී හොයාගත්ත කතාවකුයි. ඒ ඇරත් ඔය වලවේ ගඟ ආශ්‍රිතව තවමත් ඉඳල හිටල “දිය රත්තරං ගරන” එක ගැන මම අහල තියෙනව.

දැන් යුද්දෙත් ඉවර වෙලා තියෙන එකේ නැගෙනහිර පළාතෙ නිලාවේලි මුහුදු තීරය, ආරුගම්බේ වගෙ හැංගිලා තිබුන තැන් ටිකක් උලුප්පල ආපහු අපේ රටෙ සංචාරක කර්මාන්තෙ නඟා හිටුවන්න මොනවහරි කරන්න ඕනෙ කියල තමයි මගෙනම් අදහස. ඇයි ඒ විතරක්ද? කකුළුවො export කරලත් හොඳ ගාණක් හොයාගන්න පුලුවන් වෙයි මගෙ හිතේ. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට මුලින්ම කන්න දීල!

නැත්නම් තේ වලට වුනා වගේ ඔක්කොම හොඳ ඒව රට පටවල අන්තිමට අපේ මිනිස්සුන්ට ඉතුරු වෙන්නෙ රොඩු ටික විතරක් වෙයි. රොඩුවත් හම්බ වෙනවනම් මදැයි; තේ කුඩු කියල යකඩ කුඩු විකුණන අයියලනෙ අපේ ඉන්නෙ!

රට ගිහින් උඩ යෑම

ඊයෙ හවස මෙහෙ (සිංගප්පූරුවෙ) තිබුන ලාංකීය සංගීත සැන්දෑවක්; ඒක සංවිධානය කරල තිබුනෙ මෙහෙ ව්‍යාපාරයක් කරගෙන යන ලංකාවෙ ඇත්තෙක්. ඇත්තටම ඒ ප්‍රසංගය හුඟක් හොඳ එකක්. වෙනත් රටකදි මේ වගේ අත්දැකීමක් ලැබෙන එකත් ගොඩක් වටිනව. කාලෙකට පස්සෙ තමයි මම ශාස්ත්‍රීය ප්‍රසංගයකට ගියේ; මට මතක විදිහට අන්තිමට මම ගියේ අපේ මොරටුව කැම්පස් එකේ මමත් සාමජිකයෙක් වුනු සිංහල සංස්කෘතික සංගමයෙන් කල “ප්‍රතිභා” ප්‍රසංගයට.

මට මේක ලියන්න හිතුනෙ ඊයෙ ඔය කියන ප්‍රසංගෙදි මම දැකපු එක සිද්ධියක් නිසා.  ඔය ප්‍රසංගයට නිකුත් කරල තිබුන අවසර පත්‍රනම් ටිකක් ගණං. ඒක නිසා මෙහෙ ඉන්න ටිකක් ඇති හැකි අය තමයි ඕකට ආවෙ. ආපු ගොඩක් අය මෙහෙ ඉඳන් ව්‍යාපාර කරන අය; නැත්නම් මෙහෙ ස්ථීර පදිංචිය ගත්ත අය. මම බෞද්ධයෙක්. අපේ පූජ්‍ය පක්ෂය වෙන මහා සංඝ රත්නයට; අපේ ගමේ බාසාවෙන් කියනව නම් අපේ හාමුදුරුවන්ට ඉඳගෙන ඉන්න තැනින් නැඟිටල ආචාර දැක්වීම චාරිත්‍රයක් වශයෙන් අපි කරන දෙයක්නෙ. ඊයෙ ඔය තිබුන ප්‍රසංගයටත් සිංගප්පූරුවෙ තියෙන අපේ පන්සල වෙන “ශ්‍රී ලංකාරාමයෙ” හාමුදුරුවරු දෙනමක් වැඩිය. හාමුදුරුවන්ට ආසන පනවල තිබුනෙ ඉස්සරහම පුටුවල.

ඔන්න දැන් ප්‍රසංගය පටන්ගන්න ඉස්සෙල්ල හාමුදුරුවො වැඩිය කියමුකො. ශාලාව ඇතුලෙ හිටිය මම දැකපු  කිසිම කෙනෙක් නැඟිට්ටෙ නැහැ. කට්ටිය හරි බරි ගැහිල වාඩි වෙලා හිටපු විදිහටම ඔහේ හිටය! අනේ මෙහෙව් ලෝකයක්! මම හිතන විදිහට ලංකාවෙන් ඒගොල්ලන්ගෙ පංචස්කන්ධයත් එක්ක ප්ලේන් එකට නැග්ග හිත සිංගප්පූරුවෙදි බිමට බැහැල නැහැ. කඳවල් පොලොවෙ තිබුනට තවම එයාලගෙ හිත් තියෙන්නෙ අහසෙ.

මම දන්න විදිහට මෙතන හිටපු අයගෙන් බොහොමයක් අය බෞද්ධ; මෙහෙ තියෙන පන්සලෙත් දායකයො. මේ වගෙ පොඩි චාරිත්‍රයක්වත් කරන්නෙ නැතුව මහ ලොකුවට බෞද්ධ වෙලා වැඩක් නැහැ නේද?

ගුණදාස කපුගේ ශූරීන්ගෙ සින්දුවකත් තියෙන්නෙ ” අහස උසට නැඟ ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නෙ….අහසෙ මාලිගා තැනුවට අපි පොලොවේ සිටින්නෙ…” කියල.

Next Newer Entries