මැල්ලුං

ආයු වන්න; ලෙඩ නොවන්න; කතොත් මෙන්න; මුකුණුවැන්න!

මැල්ලුං නම් නානාප්‍රකාරයිනෙ. ප්‍රසිද්ධම මැල්ලුං ජාති විදිහට කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං, තෝර කොළ, තෙබු වගේ ඒව තමයි මතක් වෙන්නෙ. කොළ ටික පොඩියට කැපුව, ගා ගත්ත පොල්, ලුණු, කපාගත්ත ළුණුත් එක්ක කලවං කරගත්තහම මැල්ලුම කතහැකි. අපේ රටේ සමහර මිනිස්සු කරන වැඩ දිහා දැක්කම හිතෙනව හැමදාම තණකොළ මැල්ලුං කනවදත් කියල! 🙂 හික්ස්

මැල්ලුං ගැන කියනකොට මටනම් එක පාරටම මතක් වෙන්නෙ කැම්පස් යන කාලෙ රුපියල් 17ට (මතකය නිවැරදියැයි සිතමි) දවල්ට ගොඩෙන් කාපු බත් එකේ අනිවාර්යයෙන්ම තිබුන මුකුණුවැන්න මැල්ලුම කියල දීපු කලවං මැල්ලුම. හැබැයි ඉතින් අතේ මිටේ සල්ලි බාගෙ තිබුණ අය වැඩිපුර කාසි පනං දීල “කැකුළු බත් කඩේ” අක්ක කැකුළු බත් එකත් එක්ක දුන්න සුපිරිසිදු ප්‍රණීත මැල්ලුම කෑවෙ නැත්තෙමත් නැහැ. ගමෙන් ගොඩෙන් උසස් පෙළ පාස් වෙලා පූරුවෙ පිනකට කැම්පස් ගිය අපි එළියෙ තිබුන චයිනීස් වලින් කෑවෙ නැත්තෙ සල්ලි බාගෙ නැති හින්ද නෙමෙයි; චයිනීස් කඩ වල බත් එකත් එක්ක මැල්ලුං දීපු නැති නිසා.  🙂 හික්ස්

රත් කරල හදන “කොළ මාළුවලදි” වගේ නෙමෙයි මැල්ලුං වලදි කොළ වල තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්නෙ නැති නිසා ඉතාමත් හොඳයි කියල තමයි දොස්තර අංකල් කියන්නෙ. හැබැයි රත් කරල හදන “කොළ මාළු” වලදි ඉහත කියපු කලමනා වලට අමතරව තව තව ඒව දාන නිසා රස මරු! ගොටුකොළ වලට සුදු ළුණු, උම්බලකඩ දාල මාළුව හැදුවහම මරේ මරු! චීන කෑම වට්ටෝරුවලදි කංකුං හදන්නෙ එක්කො කූණිස්සෝ දාල; නැත්නම් හාල්මැස්සො දාල. අන්න කෑම. කංකුං විතරක් නෙමෙයි සාරණත් ඔහොම කූණිස්සො හරි හාල්මැස්සො හරි දාල හදන්න පුළුවන්.

මැල්ලුං වලින් මමනම් කන්න කැමතිම මුකුණුවැන්න මැල්ලුම තමයි; කන්න අකමැතිම මින්චිද මොනවද කියන ජාතිය. අපේ අම්ම මම පොඩි කාලෙදි මැල්ලුං promote කලේ මෙන්න මේ කවිය කියල.

“ආයු වන්න
ලෙඩ නොවන්න
කතොත් මෙන්න
මුකුණුවැන්න…….”

තේ

අප්පෝ හෙණ කාලෙකින්නෙ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල තියෙන්නෙ. ලියන්න මාතෘකා තිබුනත් ලියන්න එච්චර ගෝ එකක් නැහැ වගේ. ඒත් ඉතින් අපේ කට්ටිය ලියන ඒවනම් මග අරින්නෙ නැතුව කියවනව.

Teh Tarik හදන හැටි

ඔන්න කාලෙකට පස්සෙ ලියන්නෙ බීමක් ගැන. තේ කිව්වහම ඉතින් ලංකාවෙ කවුරුත් දිනපතා බොන දෙයක්නෙ. සමහරුන්ටනම් දවසකට 3න් 4 වතාවක් තේ බොන්න ඕනෙනෙ.

ලංකාවෙ අපි බොන්නෙ එක්කො ප්ලේන් ටී, නැත්නම් ටී (කිරි තේ). ඔය අතරෙ ඉතින් ඉඟුරු දාල හදන ප්ලේන් ටීත් නැතුවම නෙමෙයි. ඔරිජිනල් තේ; ඒ කියන්නෙ ප්ලේන් ටී වලට “ප්ලේන්” කියල විශේෂණයක් දාන්නෙත් කිරි තේ වලට නිකම්ම නිකං “ටී” කියන්නෙත් ඇයි කියන එක මට පොඩි කාලෙ ඉඳන් තියෙන ප්‍රශ්නයක්! තවමත් ඒකට උත්තරේ දන්නෙ නැහැ. (දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න)

මැලේ භාෂාවෙන් අපි ප්ලේන් ටී කියන සීනි විතරක් දාල හදන තේ වලට කියන්නෙ තේ-ඕ ( teh-o) කියල. හොඳට පෙණ එන්න කීප පාරක් යාරයක් දෙකක් ඇදල හදන කිරි තේ වලට කියන්නෙ තේ-තරික් ( teh-tarik ) කියල. ( මැලේ භාෂාවෙන් tarik කියන්නෙ  අදිනවට ) හරියට ලංකාවෙ සරුවත් හදනව වගේ. මම අහල තියෙන විදිහට ලංකාවෙ දිගම සරුවත් දාන්නේ ඉස්සර යාපනේ හිටපු සරුවත් හදපු කට්ටියලු!

Green Tea

ඔය වර්ග ඔක්කොම හදන්නේ Black Tea කියල කියන කළු තේ වලින්නෙ. ඔය Black Tea වලට අමතරව Green Tea (කොළ තේ), Yellow Tea (කහ තේ), White Tea  (සුදු තේ) කියල එක එක වර්ග වල තේ තියෙනව. ඒත් මම දන්න විදිහට Black Tea වලින් දාන සෙල්ලං ඔය අනෙක් තේ වලින් දාන්න බැහැ. Green Tea වලට පිළිකා හැදෙන එක නවත්තන්න පුළුවන් කියල කියමනක් තියෙනව අහල තියෙනව. මම ඉස්සෙල්ල වැඩ කරපු තැනක මැනේජර් කෙනෙක් බිව්වෙම Green Tea; ඒ ශරීර සෞඛ්‍යයට හොඳයි කියල. ඒත් හිනා යන දේ තමයි මිනිහ දවසකට සිගරට් පැකට් 1 1/2ක් විතර බොනව.

චීන Jasmine Tea

ඔය කිව්ව වර්ග වලට අමතරව චීන ,ජපන් කට්ටිය අතර ජනප්‍රිය තව තේ වර්ගයක් තියෙනව  Jasmine Tea කියල. දන්න විදිහට නම් Jasmine Tea කියන්නෙ Green Tea වලට සමන්පිච්ච මල් කුඩු දාල තමයි තියෙන්නෙ. Jasmine Tea එකක් හැදුවහම පැත්තම සුවඳයි; හැබැයි මම දවසක්  try කරල බැළුව කටේ තියන්නවත් බැහැ! මට ඒ රස එච්චරම දිරවන්නෙ නැහැ.

තේ කිව්වහම එක පාරටම අපිට මතක් වෙන්නෙ තේ කුඩු නෙ. හැබැයි ලෝකෙට තේ බොන එක හඳුන්වල දුන්නයි කියල විශ්වාස කරන චීන අය තේ  compress (සම්පීඩනය) කරල තේ කැට හදනව. බොන්න ඕනෙ උනහම සුප් කැට වලින් සුප් හදනව වගේ උණු වතුර එකකට දාල බොනව. චීන්නුන්ගෙ තේ වර්ග ගොඩක් තියෙනව. උපාධියක් ගන්න තරම් ඉගෙන ගන්න දේවල් චීන තේ ගැන තියෙනව. ගොඩක් චීන අය සීනි, අරව මේව මොනවත් දාන්නෙ නැතුව නිකම්ම නිකන් තේ විතරක් බොන්නත් පුරුදු වෙලා තියෙනව.

Ice Lemon Tea

සිංගප්පූරුවට ආවට පස්සෙ මම බොන්න පුරුදු වෙච්ච දෙයක් තමයි  Ice Lemon Tea කියන්නෙ. සාමාන්‍යයෙන් අපි හදන ප්ලේන් ටී එකට ලෙමන් යුෂ ටිකක් මිශ්‍ර කරල ශීතකරණයෙ දාල තියල පිලිගන්වනකොට අයිස් කැට ටිකක් දාල පිළිගැන්නුවහම ඒක Ice Lemon Tea! ඕකෙම තවත් version ටිකක් තියෙනව Ice Peach Tea, Ice Apple Tea කියල. ඔය කියන ඒවත් Ice Lemon Tea වගේමයි. වෙනස මිශ්‍ර කරන පළතුරු යුෂ වර්ගය මොකක්ද කියන එකයි.

Lemon Chicken

Lemon Chicken

ඔන්න ආපහු තවත් මැක්ස කෑමක්. මේ දවස්වල කෑම ගැනමයි ලියවෙන්නෙ. 😀 (හික්ස්) මේ Lemon Chicken කියන එකත් මම කන්න කැමති එකක්. ලංකාවෙදි අපි මස්, මාළු කන්නෙ මිරිස්, තුනපහ දාල නිසා සමහර කට්ටියට ඕව නැතුව කන්න බැහැ. ඒත් වෙනස් රසවලටත් පුරුදු වෙන්න පුළුවන්නම් හොඳයි.

Lemon Chicken වල රසත් මටනම් නියමෙට අල්ලල ගිහින් තියෙන්නෙ. ඒත් තවම හදන්න try එකක් දුන්නෙ නැහැ. ඒත් පුළුවන් වෙලාවක බලන්න ඕනෙ. මෙන්න recipe එක.

Soy Sauce Chicken

කෑම ගැන ලියාගෙන යනකොට අනිවා ලියන්න ඕනෙ කෑමක් තමයි මේ Soy Sauce Chicken කියන්නෙ. මේක උතුරු  චීන කෑමක්; ඒත් දැන් නම් චීන මිනිස්සු ඉන්න ඕනෙ දිහාවක තියෙනව. මෙහෙ තියෙන කෑම වලින් මම කැමතිම කෑමත් මේක.

Soya Sauce Chicken

මුලින්ම මට මේ Soy Sauce Chicken කන්න හම්බවුනේ මම වැඩකරන ආයතනයේ ආපන ශාලාවෙන්. පස්සෙ මම මේක හදන හැටි අන්තර්-ජං-ජාලයෙන් හොයාගෙන අපි මෙහෙ ඉන්න apartment ඒකේදි හදල බැළුව.  Recipe එක එළට වැඩ. පස්සෙ නිවාඩුවට ලංකාවට ගිය වෙලේ එහෙදිත් හැදුව. මේකට ඕනෙ Dark Soya Sauce කියන සෝයා සෝස් එක ලංකාවෙදි හොයා ගන්න හම්බ වුනේ නැහැ. මට තේරුන විදිහටනම් ලංකාවෙ “සෝයා සෝස්” කියල තියෙන්නෙ  Light Soya Sauce.

කැමති කට්ටිය හදල බලන්න. Recipe එක මෙන්න.  ඉඟුරු ටිකක් වැඩිපුර දාන්න. කියල තියෙන ඒවට අමතරව රම්පෙ, කරපිංච ටිකක්, කරඳමුංඟු, කරාබු නැට්ටක් එහෙමත් දාන්න. ඇයි ලුණුත් ඕනෙ.

තෝෆු (Tofu)

අදත් කියන්න යන්නෙ තවත් මරු කෑමක් ගැන. මටනම් සිංගප්පූරුවෙ කෑම වලින් අල්ලලම ගිය කෑමක් මේ “තෝෆු”; අනෙක් අය ගැන නම් කියන්න දන්නෙ නැහැ.

ටෝෆු dish එකක්

තෝෆු කියන්නෙ චීනය මුල් කරගත් අග්නිදිග ආසියානු රටවල තියෙන කෑමක්; හදන්නෙ සෝයා කිරි වලින්. දැන් ලංකාවෙත් ජනප්‍රිය “සෝයා අයිස් ක්‍රීම්” හදන්නෙත් ඔය සෝයා කිරි වලින් තමයි. මෙහෙ මිනිස්සුන්ට සොයා කියන්නෙ අපිට පොල් වගේ තමයි! සෝයා කිරි විශේෂ ක්‍රමයකට මුදවල තමයි තෝෆු හදන්නෙ. නියම තෝෆු වල කියන්න තරම් රහක් නැහැ; කිරි රසක් විතරයි තියෙන්නෙ. ඒත් එක එක කෑම ජාති (dishes) හදන්න තෝෆු පාවිච්චි කරනව. විවිධ රසවල් එක්ක මිශ්‍ර වුනහම තෝෆු මාර රසයි මටනම්.

ඔය නියම තෝෆු වලට අමතරව බිත්තර කලවම් කරල හදපු බිත්තර තෝෆු වගේම එක එක දේවල් මිශ්‍ර කරල විවිධ රසවල් එන විදිහට හදපු තෝෆු වර්ගත් මෙහෙ තියෙනව.

පහුගිය පාර ලංකාවට ආපු වෙලේ මම ලංකාවෙ ගොඩක් තැන්වල තියෙන සුපිරි වෙළෙඳසැල් වල තෝෆු හෙව්වට හම්බවුනේ නැහැ. ඒත් පස්සෙ මට කවුද කිව්ව වැල්ලවත්තෙ කාගිල්ස් එකේ තියෙනව කියල. අන්තර්-ජං-ජාලයෙන් කෑම වට්ටෝරුවක් හොයාගෙන කට්ටියත් තෝෆු හදල බලන්න.

(මුල් ලිපියේ තිබූ “ටෝෆු”; තෝෆු ලෙස නිවැරදි කරන ලදී!)

මී (Mee)

අද කියන්න යන්නෙ මී ගැන. මේක කෑමක්. ඒත් අර අපේ ආදිවාසී ඇත්තෝ බැද්දට වැදිල කඩන මී නම් නෙමෙයි.

හොකේන් මී

“මී” කියල කියන්නෙ noodles වර්ගයක්; සමහරුන්ට අනුව noodles වලට චීන “හොකේන්” භාෂාවෙන් කියන නම. නම එච්චර වැඩක් නැහැනෙ කන්න පුළුවන් නම්! සිංගප්පූරුවෙ ඉන්න කොට නම් ගොඩක් කන්න හම්බවෙන කෑම ජාතියක් තමයි මේ මී. එක එක විදිහට, එක එක රසට හදන්න පුළුවන්. විවිධ ඝණකමට විවිධ හැඩ වලට ගන්නත් පුළුවන්. විවිධ රසවල් ගැන කතා කරනකොට ඉතින් මෙහෙ ඉන්න චීන්නු නම් සෝස් පප්පල. හදන ඕනෙම කෑමකට මොකක් හරි සෝස් එකක් දානව. රසයක් නැත්තෙමත් නැහැ ඉතින්.

සෝයා සොස් දාපු බී හූන්

“බී හූන්” කියන හාල්පිටි වළින් හදන මී ජාතිය තමයි මම කන්න කැමතිම. ඔය බී හූන් ලංකාවෙත් තියෙනව මට මතකයි. ලංකාවෙ තියෙන්නෙ අර “කොත්තු මී” කියල  ජාතියක්. ඕකට “මී” ආවෙ මේ “මී” වලින්ද දන්නෙ නැහැ. “කොත්තු මී” ප්‍රීමා brand එකක් නිසා වෙන්නත් පුළුවන්! මොකද ප්‍රීමා කියන්නෙ සිංගප්පූරු කොම්පැණියක්නෙ.

කොත්තුව

මේ දවස්වල එච්චර වැඩක් නැති නිසාත්, අපේ මරණෙ හැම තිස්සෙම කන බොන ඒව ගැන කියන නිසාත් මටත් හිතුන කෑමක් ගැන ලියන්න.

ඒ ඉතින් අපි හැමෝම කාල තියෙන “කොත්තු”. කොත්තුවක් කාල නැති එකෙක් ලංකාවෙන් හොයාගන්නත් බැරුව ඇති මගෙ හිතේ. එච්චරටම කොත්තුව ලාංකීය වෙලානෙ. කොත්තු කියන්නෙ දුප්පත් මිනිහගෙ කෑමක් කියල කිව්වට දැන් නම් හොඳට සල්ලිය බාගෙ තියෙන අයගෙත් favourite කෑමක් වෙලානෙ. ඉස්සරනම් මට මතක කොත්තු “රොටි “ගැන; ඒත් දැන් නම් ඉඳි ආප්ප කොත්තුත් තියෙනවනෙ. කොත්තුව ඉතින් vegetable කොත්තු, බිත්තර කොත්තු, chicken කොත්තු, beef කොත්තු කියල වර්ග ගොඩයිනෙ. හැබැයි මම නම් pork කොත්තුවක් ගැන අහල නැහැ. සමහර විට තියෙනවත් ඇති.

කොත්තු රොටි

කොත්තුව හදනකොට දාන music එකෙනුත් කොත්තුවට unique ගතියක් එනව. ඒකනෙ අර සින්දුවක කියන්නෙ “සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය…..” කියල. 😀 (හික්ස්) මම හිතන්නෙ වැඩියෙන්ම සද්ද දාල හදන කෑම කොත්තු වෙන්න ඇති. කොත්තු හදන්නත් හැමෝටම බැහැ. ඒකට “කොත්තු බාස්” කෙනෙක්ම ඕනෙ. ඒකත් මරු job  එකක් වෙන්න ඇති!.

මෙහෙ ඉඳන් ලංකාවට නිවාඩු ගියහම මුල් දවස් ටිකේ රෑ කෑම කොත්තුවක්ම තමයි. ඒක අනිවා! සිංගප්පූරුවෙ කොච්චර ඉන්දියන් කඩ තිබුනත් කොත්තුවක් කන්න තැනක් නැහැ මගෙ දැනීමෙ හැටියටනම්. හැබැයි මෙහෙ පරාටා නම් තියෙනව. දවසක try එකක් දාල බලන්න ඕනෙ පරාටා වලින් කොත්තුවක් හදන්න.

Pizza වල උපත සිද්ධ වුනේ ඉතාලියෙ නාපෝලි නගරයේ වගෙ කොත්තුවෙ උපත වෙලා තියෙන්නෙ ලංකාවෙ මඩකළපුවෙන් කියල තමයි මම අහල තියෙන්නෙ. මමත් ඉතින් ඕන් කට්ටියට ඔය කතා කිය කිය අපේ නැගෙනහිර චාරිකාවෙදි ගියා මඩකළපුවට කොත්තුවක් කන්න. මොන කොත්තුද? අපි යනකොට මඩකළපුව වතුරෙන් යටවෙලා ඒ දවස්වල වැහැපු ධාරාණිපාත වර්ෂාව හින්ද. ඒත් මම ගේම අත අරින්නෙ නැහැ ආපහු යනව මඩකළපු, කොත්තුව උපන් නගරයෙන්ම කොත්තුවක් කාල එන්න.

කට්ටියම මඩකළපුවෙදි සෙට් වෙමුද කොත්තු කන්න?

Previous Older Entries