පෙත්සම

පහුගිය දොහේ බ්ලොග් එකේ කොටන්න බැරි වුනා. චාරිකා සටහන් පොත් කීපයක් කියවල ආපු අදහසකට අනුව මමයි මකරයි සෙට් වෙලා සෙලමට් ඩටාන් (Ayubowan) කියල Travel Blog වර්ගයෙ බ්ලොග් එකක් පටන්ගත්ත අපි සිංගප්පූරුවෙදි අත්විඳපු අත්දැකීම් සටහන් කරන්න. ඔය Selamat Datang කියන්නෙ මැලේ භාෂාවෙන් ආයුබෝවන් කියන එකට. මේ බ්ලොග් එකට pick up එකක් දෙන්න ඕනෙ නිසා “දියකැට පහණ” කොටන එකට පොඩි තිත් කොමාවක් දාල හිටියෙ. දැනට සිංගප්පූරුවෙ ඉන්න මගෙ තවත් යාළුවො දෙන්නෙකුටත් මම ආරාධනා කළා අපේ මේ සෙලමට් ඩටාන් (Ayubowan) වලට සහභාගී වෙන්න කියල. යහපත් ප්‍රතිචාර ලැබිල තියෙන්නෙ. ඒ දෙන්න මේ බ්ලොග් කෙරුවාවට ආධුනික නිසා තමයි පොඩ්ඩක් පස්ස ගහන්නෙ. බලමුකො ඉතින්.

ඔන්න එහෙනම් මාතෘකාවට බහිමුකො.

පෙත්සම

“ගමේ වැව වාංදැමීම ඉතාම සිරියාවන්තයි.” කියල පටන්ගන්න මේ පොත මම කියවපු මුල්ම දවසෙ ඉඳන් ගොඩක්ම ඇලුම් කරපු පොතක්. පොත්වලට ආදරය කරන කට්ටියනම් මේ වාක්‍යය කියපු ගමන් දන්නව මොකක්ද මේ පොත කියල. ඔව්. ඒ ලීල් ගුණසේකර ශූරීන්ගෙ “පෙත්සම” කියන පොත.

ලංකා සිවිල් සේවය බැබළවූ කීර්තිමත් දිසාපතිවරයෙක් වෙච්ච ලීල් ගුණසේකර ශූරීන්ගෙ මේ “පෙත්සම”ට 1962දි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ලැබුණ. මේ පොතට ඇළුම් කරන ප්‍රධානම හේතුව තමයි ලියල තියෙන සරල භාෂාව. ඒක නිසා මේ පොත එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. ඒ වගේම ඒ සරල භාෂාව නිසා “ගැමිකම” කියන දේ ඉතාමත් හොඳින් ඉස්මතු වෙනව. කථානායකය වෙච්ච තිලකරත්නගෙ පොඩි කාලෙන් පටන් අරගෙන තරුණ කාලය වෙනකං දිවයන මේ කතාවෙන් ඒකාලයේදී රජරට ගැමියා මුහුණ දීපු දුක් දොම්නස් කම්කටොලු ඉතාමත් හොඳට විස්තර වෙනව.

මට මේ පොත ලැබුණෙ නාලන්දාවෙ 9 වසර අවසන් කරපු දවසෙදි හෑගොඩආරච්චි ගුරු පියාණන්ගෙන් තෑග්ගක් විදිහට. පස්සෙ කාලෙකදි මේ කතාවෙ දෙවෙන කොටස කියවෙන “අත්සන” පොතත් කියවන්න හම්බවුනා. ඒ මගෙ අම්මගෙයි තාත්තගෙයි පොත් එකතුවෙ තිබිල.

හෑගොඩආරච්චි ගුරු පියාණන්ට තුති!

මේ තියෙන්නෙ ලීල් ගුණසේකර ශූරීන් ගැන සිළුමිණ පත්‍රයේ පළවුන ලිපියක්.
මේ තියෙන්නෙ “පෙත්සම” ගැන මහාචාර්යය තිස්ස කාරියවසම් ශූරීන්ගෙ විචාරයක්.

කට්ටිය කියවල බලන්නකො ඉතින්!

පොතපතට පෙම බැඳ

ඔන්න ඉතින් හැම අවුරුද්දෙම වගේ මේ පාරත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවෙදි සාහිත්‍ය මාසය වෙනුවෙන් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනව. අද වෙන වැඩකට කොළඹ ගිය අල්ල පනල්ලෙ ඕකටත් ගොඩවැදිල එන්න අවස්ථාවක් හම්බ වුනා. ගිය අවුරුද්දෙනම් පොත් ප්‍රදර්ශනයට යන්න බැරි වුනේ ලංකාවෙ නොහිටපු නිසා. නැත්නම් හැම වතාවකම නොවරදවාම යන අවස්ථාවක් තමයි. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලනෙ කට්ටිය කියන්නෙ ඉතින්!

කියවීම කෙසේ වෙතත් පොත් ප්‍රදර්ශනයෙන් එකතු කරගත්ත අල්මාරියක් පිරෙන පොත් කන්දක්නම් තියෙනව. හැබැයි ඉතින් නොකියවනවමත් නෙමෙයි.. ඔය අතරින් ගුණදාස අමරසේකර ශූරීන් ලියපු “ගමනක මුල” පොතෙන් පටන් ගන්න “සිංහල මැද පන්තියේ” පරිණාමය කතා මාලාව, නීල් විජේරත්න ශූරීන්ගෙ “මදුරාසි කොල්ලා” සහ “බෙංගාලි යෙහෙළිය”, තිස්ස රවීන්ද්‍ර පෙරේරා ශූරින් රිවිර පුවත් පතේ ආරක්ෂක තොරතුරු තීරයේ පළකල ලිපි එකතු කරල සකස් කරපු පොත් කීපය, ශරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය ශූරීන්ගෙ “පරිනීතා”, පොඩිකාලෙ මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණ “කයිමන් දොරකඩ” නම හැදිච්ච හැටි ඉගෙනගත්ත සමන් කළුආරච්චි ශූරීන්ගෙ “කොළඹ පුරාණය” කියන පොත් කීපය තමයි මගෙ ප්‍රියතම පොත් ටික. ඔයිට අමතරව නාලන්දාවේ සිප් සතර ලබන කාලේ හෑගොඩආරච්චි ගුරු පියාණන්ගෙන් තිළිණයක් විදිහට ලැබිච්ච ලීල් ගුණසේකර ශුරීන්ගෙ “පෙත්සම” පොතටත් ගොඩක්ම කැමතියි. කාටූන් වලින් නම් ඉතින් ඉස්සර පිස්සු හැදිල වගේ කියෙව්වෙ හර්ජ් මහත්තයගෙ “ටින් ටින්” තමයි.

I can jump puddles

අද පොත් ප්‍රදර්ශනයට ගිය වෙලාවෙ ඉතින් සුරංගනා ලෝකෙක අතරමං වුනා වගේ. එක එක මාතෘකා ගැන ලියපු, පරිවර්ථනය කරපු පොත් ඕනෙ තරම්. මම හිතන්නෙ අපි පොතක් කියවනකොට ඒ පොත ඇතුලෙ ජීවත් වීමෙන් අපි අවට තියෙන සැබෑ ලෝකයෙන් නිදහස් වීමේ ප්‍රීතිය භුක්ති විඳිනව; අපි අවට ලෝකයේ තියෙන ප්‍රශ්න, හැල හැප්පීම් නිසා නිරන්තරයෙන්ම අපිට අත්දකින්න ලැබෙන මානසික ආතතීන්ගෙන් නිදහස පොතක් තුළට සමවැදීමෙන් ලබෙනව කියල. ඒ කෙසේ වෙතත් තවත් කෙනෙක් කියන කතාවක්, තවත් කෙනෙක් ලෝකය දකින ආකාරය, තව කෙනෙකුගෙ ජීවත අත්දැකීම් අපිත් පොතක් තුළින් අත්දැකීමෙන් අපේ විඥාණයට ලැබෙන දැනුම ගොඩක්ම වටිනව කියල තමයි මගෙ අදහස.

තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් තවමත් පොත් වලට ඇලුම්කරන කට්ටිය කොච්චරක්ද කියල සතියෙ දවසක් වෙච්ච අද ප්‍රදර්ශන භූමියෙ හිටපු සෙනඟ කන්දරාවෙන් හිතාගන්න පුළුවන්. “විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය”, “විදර්ශන ප්‍රකාශකයෝ” සහ “සූරිය ප්‍රකාශකයෝ” කියන තැන්වල තමයි ගොඩක් වෙලා ගත කළේ. බොහොම අමාරුවෙන් හිත හදාගෙන ගන්න පොත් ලැයිස්තුව පොත් 11කට සීමාකරගත්ත. ඒවයින් ගොඩක්ම පරිවර්ථන. ඒ අතරින් කත්‍යානා අමරසිංහ මහත්මිය සිංහලෙන් “මට පුළුවන්” කියල පරිවර්ථනය කරපු ඕස්ට්‍රේලියානු ජාතික රචකයෙක් වෙන Alan Marshallගෙ “I can jump puddles” කියන ස්වයං චරිතාපදානය ගොඩක් වටිනව කියල මට හිතෙනව. 2008 වර්ෂයේ හොඳම නවකතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති ශූරීන්ගෙ “අටවක පුත්තු” පොතත් නීල් විජේරත්න ශූරීන් ඉන්දියානු අත්දැකීම් ගැන ලියපු 3වෙනි පොත වෙන “කේරළ නළඟන” කියන පොතත් තියෙනව.

කොහොම හරි මේ පාරනම් ගත්ත පොත් ඔක්කොම කියවනව… 😀 හික්ස්!

මැල්ලුං

ආයු වන්න; ලෙඩ නොවන්න; කතොත් මෙන්න; මුකුණුවැන්න!

මැල්ලුං නම් නානාප්‍රකාරයිනෙ. ප්‍රසිද්ධම මැල්ලුං ජාති විදිහට කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං, තෝර කොළ, තෙබු වගේ ඒව තමයි මතක් වෙන්නෙ. කොළ ටික පොඩියට කැපුව, ගා ගත්ත පොල්, ලුණු, කපාගත්ත ළුණුත් එක්ක කලවං කරගත්තහම මැල්ලුම කතහැකි. අපේ රටේ සමහර මිනිස්සු කරන වැඩ දිහා දැක්කම හිතෙනව හැමදාම තණකොළ මැල්ලුං කනවදත් කියල! 🙂 හික්ස්

මැල්ලුං ගැන කියනකොට මටනම් එක පාරටම මතක් වෙන්නෙ කැම්පස් යන කාලෙ රුපියල් 17ට (මතකය නිවැරදියැයි සිතමි) දවල්ට ගොඩෙන් කාපු බත් එකේ අනිවාර්යයෙන්ම තිබුන මුකුණුවැන්න මැල්ලුම කියල දීපු කලවං මැල්ලුම. හැබැයි ඉතින් අතේ මිටේ සල්ලි බාගෙ තිබුණ අය වැඩිපුර කාසි පනං දීල “කැකුළු බත් කඩේ” අක්ක කැකුළු බත් එකත් එක්ක දුන්න සුපිරිසිදු ප්‍රණීත මැල්ලුම කෑවෙ නැත්තෙමත් නැහැ. ගමෙන් ගොඩෙන් උසස් පෙළ පාස් වෙලා පූරුවෙ පිනකට කැම්පස් ගිය අපි එළියෙ තිබුන චයිනීස් වලින් කෑවෙ නැත්තෙ සල්ලි බාගෙ නැති හින්ද නෙමෙයි; චයිනීස් කඩ වල බත් එකත් එක්ක මැල්ලුං දීපු නැති නිසා.  🙂 හික්ස්

රත් කරල හදන “කොළ මාළුවලදි” වගේ නෙමෙයි මැල්ලුං වලදි කොළ වල තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්නෙ නැති නිසා ඉතාමත් හොඳයි කියල තමයි දොස්තර අංකල් කියන්නෙ. හැබැයි රත් කරල හදන “කොළ මාළු” වලදි ඉහත කියපු කලමනා වලට අමතරව තව තව ඒව දාන නිසා රස මරු! ගොටුකොළ වලට සුදු ළුණු, උම්බලකඩ දාල මාළුව හැදුවහම මරේ මරු! චීන කෑම වට්ටෝරුවලදි කංකුං හදන්නෙ එක්කො කූණිස්සෝ දාල; නැත්නම් හාල්මැස්සො දාල. අන්න කෑම. කංකුං විතරක් නෙමෙයි සාරණත් ඔහොම කූණිස්සො හරි හාල්මැස්සො හරි දාල හදන්න පුළුවන්.

මැල්ලුං වලින් මමනම් කන්න කැමතිම මුකුණුවැන්න මැල්ලුම තමයි; කන්න අකමැතිම මින්චිද මොනවද කියන ජාතිය. අපේ අම්ම මම පොඩි කාලෙදි මැල්ලුං promote කලේ මෙන්න මේ කවිය කියල.

“ආයු වන්න
ලෙඩ නොවන්න
කතොත් මෙන්න
මුකුණුවැන්න…….”

රටින් රටට වෙස් මාරු කරන “අලි බබා”!

අලි බබා කිව්වහම කට්ටියට එක පාරටම මතකයට එන්නෙ “අලි බබා සහ හොරු හතලිහ” නේද? ඉරාකයේ බැග්ඩෑඩ් නගරය කේන්ද්‍ර කරගෙන ලියවිච්ච මේ අරබි කතාව සමහරුන්ට අනුව නම් සුප්‍රසිද්ධ අරාබි නිසොල්ලාසයෙ එන කතාවක්. සමහරුන්ට නම් පොඩි ලමයින්ට කියල දෙන නිකංම නිකං අරාබි කතාවක්. ඒ කොහොම උනත් කතාවල හැටියට නම් අලි බබා කියන්නෙ මිනිහෙක්නෙ.

අරාබි කතාවල එහෙම උනාට ලංකාවෙදි සත්තු වත්ත, පින්නවල අලි අනාථාගාරය, උඩවලවෙ ඇත් අතුරු සෙවන වගෙ තැන් වලට පොඩි ළමයින්ව එක්කගෙන ගියහම අලි බබාල ගොඩක් පෙන්නල එන්න පුළුවන්!

ඔය “අලි බබා” සිංගප්පූරුවට ආවහම නම් අමු හොරෙක් වෙනව! සිංගප්පූරුවෙ කට්ටිය පාවිච්චි කරන  singlish වලින් “අලි බබා” කියන්නෙ හොරාට, එහෙම නැත්නම් කට්ට කෛරාටික එක්කෙනෙක්ට.

පසු ලිවීම :- අන්තර්ජාලයෙ ඉන්න අලි බබා නම් නොයෙකුත් බඩු විකුණන online – තැරව්කාරයෙක්!

Raat Kali Ek Khwaab Mein Aayi – සිහිනයකදී සමන් කැකුලක්ව පැමිණ

බ්ලොග් එක පැත්තෙ ආවෙ ගොඩ කාලෙකින්. ලියන්න මාතෘකා කීපයක් හිතට ආවත් හිතට එච්චර ෆිට් එකක් තිබුනෙ නැහැ. ඒත් අපේ කට්ටියගෙ බ්ලොග් ටික නම් කියෙව්ව. ඒ අතරෙ ඕන් කට්ටිය බ්ලොග් මැරතන් එකකුත් ලෑස්ති කරල කියන්නෙ. මගෙත් idea එකක් තියෙනව ඕකට සෙට් වෙන්න. බලමු ඉතින් එන හැටියට තමයි.

දැන් මාතෘකාවට බහිමු. මාතෘකාවෙ තියෙන්නෙ මම ගොඩක්ම කැමති හින්දි සිංදුවක්. මේක 1971 දි තිරගත වුනු Buddha Mil Gaya කියන හින්දි චිත්‍රපටියට මුලින්ම ගායනා කරල තියෙන්නෙ අග්‍රගණ්‍ය ගායකයෙක් වෙච්ච කිශෝර් කුමාර්; මුල් ගීතය වෙච්ච මේක රචනා කරල තියෙන්නෙ මජ්රු සුල්තාන්පුරි; සංගීතවත් කරල තියෙන්නෙ රාහුල් දේව් බර්මාන්.

ඊට පස්සෙ මේ සිංදුවෙ 2nd Version එක 2002 දි Dil Vil Pyaar Vyaar කියන හින්දි චිත්‍රපටියට කුමාර් සානු ගායනා කරනව.

ඊටත් පස්සෙ ඉන්දියාවෙ දැනට ඉන්න radical විදිහට පරණ සිංදු re-mix කරන music band එකක් වෙන Instant Karma කියන අය 2006 දි මේ සිංදුවෙ මෙච්චර කාලෙකට ආව හොඳම version එක ඒ අයගෙ 4 වෙනි album එක වෙන Dance Masti Forever කියන album එකේදි Raat Kali – The Midnight Lady Mix කියල එළියට දෙනව.

අමාරුවෙන් අමාරුවෙන් මේ සිංදුවෙ තේරුමත් ගැටගහගත්ත ඕං…

(ඈ) සිහිනයකදී සමන් කැකුලක්ව පැමිණ පසුව මල් මාලයක් විය,
පසුදා හිමිදිරියේදි සිහිනෙන් අවදිවත්ම ඇගේ නෙත් මගේ නෙත් හා යාවිය.

ඔබට කැමතිනම් මෙය මගේ ආදරයයැයි වටහාගන්න, නැත්නම් එයට හිනා වෙන්න; එයට කම් නැත.
මට මේ කුමක් වී ඇත්දැයි වටහා ගැනීමට නොහැක; ඔබටවත් වැටහෙන්නේනම් කරුණාකර මට පවසන්න.
මේ දෙරණ මත ඔබ තබන පියවරක් පියවරක් පාසා මගේ හදවත සලිත වෙන්නේ ඇයි?

අඳුන් ගැල්වූ ඔබේ නෙතු සඟල මට හැඟෙන්නේ මේඝ වලාවක් මෙනි,
රන්වන් පැහැ ගැන්වුනු ඔබේ මුහුණ උදෑසන  හිරු කිරණ මෙන් ප්‍රබෝධමත්ය.
ඔබේ ඔය වත කමල මගේ හදවතේ පිපුණ දා සිට මසිත අලංකාර මල් යායක් වී සුවඳ හමයි..

කොතෙකුත් සුන්දර ලලනාවන් මා දැක ඇතිමුත් ඔබගේ රූපශ්‍රීය හමුවේ ඔවුන් පරාදය.
මගේ දෑත් යුගල මතට ඔබව රැගෙන යෑම එක වරක් නොව කීපවාරක් මා දුටු සිහිනයකි.

(ඈ) සිහිනයකදී සමන් කැකුලක්ව පැමිණ පසුව මල් මාලයක් විය……….

එහෙනම් කට්ටිය සිංදුවෙ Version 3 ම අහමු!

මෙන්න Original Version

මෙන්න 2nd Version

මෙන්න මම කැමතිම 3rd Version එක

කල්ලඩි පාළම

ඔන්න මමත් හා හා පුරා කියල පහුගිය සති අන්තෙදි යාළුවො සෙට් එකක් එක්ක නැගෙනහිර චාරිකාවක් ගියා. ඕක ඉතින් ටිකක් posh විදිහට කියනවනම් East Coast වලට visit එකක් දැම්ම. අපේ රජරට පුත්‍රයත් ඔය පැත්තෙ ගියා කියල මට දැනගන්න හම්බ වුනේ ගිහින් ඇවිත් සින්ඩිය පැත්තෙ ගිය වෙලාවෙදි. නැත්නම් අපිට එහෙදිවත් සෙට් වෙන්න තිබුන. (Plan කරගෙන හිටපු විදිහට SBU එකේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවෙදි අපි දෙන්නට සෙට් වෙන්න බැරි වුනානෙ)

පොතුවිල්, අක්කරෙයිපත්තු පහුකරගෙන මඩකළපුව පැත්තට යනකොට ඔන්න අපිට කල්ලඩි පාළම හම්බ වුනා. කපුගේ ශූරීන්ගෙ සිංදුවක තියෙනවනෙ කල්ලඩි පාළම යට ඉන්න මාළු සිංදු කියනව කියල. ඒත් අපිටනම් ඔය සිංදු කියන මාළුන්ගෙ සද්දෙ ඇහුනෙ නැහැ; ඇහුනෙ පාරෙ යන වාහන වල ඝෝෂාව විතරයි! 🙂 ඒත් ඔය පාළමවත් දකින්න හම්බ වෙච්ච එක කොච්චර දෙයක් ද?

ඔන්න අපිත් කල්ලඩි වලට ආව

කල්ලඩි පාළම යට ඉන්න මාළු සිංදු කියනවලු

නැගෙනහිර අහසෙ ලස්සන රටා මවන කුරුල්ලො

පින්තූර ටික බලන ගමන් කපුගේ ශූරීන්ගෙ කල්ලඩි පාළම ගැන කියවෙන ගීතයත් මෙතැනින් අහන්න.

මේක කියවන්නෙ කොහොමද?

කෑම කධැ

මම මේ බෝඩ් එක දැක්කෙ ගිය සති අන්තේදි යන්නට හම්බ වුන නැගෙනහිර සවාරිය අතරතුරදි; ඒ අක්කරෙයිපත්තු නගරයේදි. මේ බෝඩ් එකේ ලියල තියෙන “කෑම කධැ” කියන එක කියවන්නෙ කොහොමද? හිනා යනව නේද? 🙂 🙂

බල්ල මොන වර්ගෙද?…… පිලිපීනෙ

මේක අපිත් එක්ක සිංගප්පූරුවෙ එකට වැඩකරන සහෘදයෙකුට ඊයෙ පෙරේද වෙච්ච ඇබැද්දියක්. අපේ එකෙක් විපතට පත්වුනහම හිනා වෙන්න හොඳනැති වුනත් මේකනම් ඉබේම හිනා යන වැඩක්.

මේකෙ කතානායකය තමුන්ගෙ නමේ හැටියටම සැපසම්පත් වලින් පිරිච්ච විනෝද බර ජීවිතයක් ගත කරපු එකෙක්. ලංකාවෙදිත් එහෙමයි; සිංගප්පූරුවෙදිත් එහෙමයි. කොල්ල හැබැයි ටිකක් මනමාලය. ඒ කිව්වෙ ස්ත්‍රී පාර්ශවයට ඇල්ම බැල්ම දාගෙන ඉන්න එකෙක්. හැබැයි හිත හොඳ එකා.

ඔන්න ඊයෙ පෙරේද දවසක dial එක rock වෙන්න ඇඳල deck shoes දාගෙන කොහෙද ගමනක් ගිහින්. ආපහු එනකොට ටිකක් කරුවල වැටිල.

කතාව එතැන් සිට:

ඈත රූප ශ්‍රීයෙන් බැබළෙන ලලනාවියකි;
මෑත කළු මහත විශාල උදරයක් හිමි මහෝදරයෙකි.

ඈත විලවුන් සුවඳ දසත විසිරේ;
මෑත දහඩිය දුගඳ සැමත පැතිරේ.

සිදුවුයේ අපේක්ෂා කල දෙයමය; දෙදෙනාගේ නෙතට නෙත යාවිය.

මෑත දුටු දසුනෙන් හටගත් ප්‍රේමයෙන් මුසපත් වූ යෞවනයෙකි;
ඈත දුටු දසුනෙන් තැති ගැන්මට ලක්වූ යෞවනියකි.

මෑත තව තවත් ඈ වෙත ළං වෙනු පිණිස කඩිනමින් පිය නඟන තරුණයායි;
ඈත තව තවත් ඔහුගෙන් දුරස් වනු කඩිනමින් පිය නඟන තරුණියයි.

කෙසේ හෝ ජයග්‍රහණය තරුණයාට හිමි වේ. උද්දාමයට පත් ඔහු “Hi, What is your name? “.
අහෝ අහඹුවකි. තරුණිය වෙනුවට පිළිතුරු දෙන්නේ ඇගේ සුරතල් බල්ලායි.

“බවු, වවු; ග්ර්ර්ර්……….”
“අම්මෝ…….. බේරගනියෝ… බල්ල කෑවෝ….”

ඈත වෛද්‍ය සායනයේ රෝගීන් සුවපත් කරන වෙදැඳුරායි;
මෑත බල්ලා සපා කෑමෙන් පීඩාවට පත්වු ප්‍රේමවන්තයායි.

ඈත රෝගීන් සුවපත් කිරීමට “ඉන්ජෙක්ෂන්” දෙන දොස්තරයි;
මෑත “ඉන්ජෙක්ෂන්” ගහගන්න මට බැරියැයි විලාප දෙන මහෝදරයි.

දෙදෙනා කෙසේ හෝ හමුවිය.
රෝගියා අසහනයෙනි;
වෙදැඳුරා සහනය දෙනු පිණිසය..

“ඔයාව කාපු බල්ල මොන වර්ගෙද?”
“පිලිපීනෙ”

පසු ලිවීම: සත්‍ය සිද්ධියට අලංකෘත එක්කොට ලියන ලදී …….

යෝධයා

මේකත් ඇත්ත කතාවක්. හැබැයි දැනට ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල වෙච්ච පොඩි ළමයෙක්ගෙ සිද්ධියක්. සීයාගෙන් අක්කා දස මහා යෝධයින් ගැන කතන්දර අසමින් සිටි තැනට ආව පොඩි කොළු ගැටයෙක්,

“සීයෙ, යෝධයො කියන්නෙ කවුද?”
“යෝධයො කියන්නෙ පුතේ ගොඩක් ශක්තිය තියෙන කට්ටියක්”
“ඒගොල්ලන්ට මොනවද කරන්න පුලුවන්?”
“මහ විශාල පර්වත උස්සන්න පුලුවන්, ලොකු ගස් උදුරන්න පුළුවන්, ගහට නඟින්නෙ නැතුව ගහේ කරටිය හොලවල පොල් ගස් වළින් ගෙඩි කඩන්න පුළුවන්…”
“අයියෝ ඕක කරන්න යෝධයෙක් වෙන්න ඕනෙ නැහැනෙ. මමත් අපේ ගෙදර පිටිපස්සෙ තියෙන පොල් ගහේ කරටිය හොළවන්නංකො!”

අවුරුදු 6ක් විතර වයස කොළු ගැටයාගේ මේ කතාවට සීයාටද පුදුම හිතුණි.

“ඒ කියන්නෙ ඔයාට ඒ පොල් ගහේ කරටිය හොළවන්න පුළුවන්ද? එහෙනම් ඔයත් යෝධයෙක්! හැබැයි දැන් කරල පෙන්නන්න ඕනෙ!”

“හරි එහෙනං සීය එන්නකො මම පොල් ගහ හොලවනව බලන්න.”

සීයාත් පොඩි එකාගේ වික්‍රමය බැලීමට ඔහු පසු පස පොල් ගස දෙසට ගියේය. පොල් ගස සෙලවීමට ගස යටට යනු වෙනුවට මඳක් දුරින් පිහිටි ලුණු මිදෙල්ල ගස වෙත ගිය කොළු ගැටයා පොල් ගස නිවස දෙසට යෑම වැළැක්වීම පිණිස ගසේ කරටිය ලුණු මිදෙල්ල ගසේ මුලට තදින් බැඳ තිබුන ලෝහ කම්බියේ එල්ලී පැද්දෙන්නට විය. අපේක්ෂා කල ලෙසම පොල් ගසේ කරටිය එහෙට මෙහෙට වැනෙන්නට විය.

අන්ද මන්ද වූ සීයා
“මම හිතුවෙ පුතා ගහ යට ඉඳන් ගහ හොළවයි කියල!”
“මම සීයට එහෙම කිව්වෙ නැහැනෙ. මම කිව්වෙ මම කරටිය හොළවනව කියල විතරයිනෙ!”
එසේ කියමින් උජාරුවෙන් අක්කා ළඟට ගොස්
“අක්කෙ ඔන්න එහෙනම් දැන් මගෙ නමත් ලියන්න ඔය යෝධයින්ගෙ නම් වලට!”

පසු කතාව : යෝධයෙක් කෙසේ වෙතත් මේ කොළු ගැටයා පස්සෙ කාලෙක ඉංජිනේරුවෙක් නම්  වුණා.

එදා මෙදා තුර ………

ගෙදර ඉස්තෝප්පුවේ විවේක සුවයෙන් ඉඳින පුද්ගලයෙකි. ඔහු හමුවට පැමිණෙන තරුණයෙක් “මට __________ මුණගැහෙන්න ඕනෙ”.
“ඔව් මම තමයි”
“මම ලියපු ගීතයක් තියෙනව. ඔබට ඒක ගායනා කරන්න පුළුවන්ද?”
“කෝ බළමු”
තරුණයා ඔහුගේ සාක්කුවෙන් කොළයක් ගෙන අනෙක් පුද්ගලයාට දෙන ගමන් “මේක මම ලියපු පළවෙනි ගීතය. ඒ වගෙම මම ලියන අන්තිම ගීතයත් මේක.”
අනෙක් පුද්ගලයා තරුණයා දුන් ගිතය කියවා.
“හොඳ ගීතයක්. ඇයි ඔයා කිව්වෙ මේක ඔයා ලියන අවසාන ගීතය කියල?”
“මට තව ගීත ලියන්න හැකියාවක් නැහැ. මේකෙ තියෙන්නෙ මගෙ අත් දැකීමක්.”
“මොකක්ද ඒ?”

මේ තරුණයා තරුණියක් සමඟ ඇති කරගත් පෙම් සබඳතාවයට තරුණියගේ ගෙදරින් ඉතා දැඩි විරෝධයක් එල්ලවිය. ඒ සමඟම තරුණයාට දුර පළාතකට යන්නට සිදුවිය. (මගේ මතකය නිවැරදි නම් රාජකාරිය උදෙසා) මේ සමඟම පෙම්වතියගෙන් දුරස් වෙන්නට සිදුවූ අතර ඇය පිළිබඳ තොරතුරුද නොලැබී ගියේය.
සැලකිය යුතු කාලයකට පසු තරුණයාට පෙම්වතියගේ පියාගෙන් විදුලි පණිවිඩයක් එයි. “වහාම පැමිණෙන්න!”
තරුණයා පෙම්වතියගේ නිවෙසට යනවිට එහි අවමඟුලකි. ඒ අවමඟුළ තමාගේ පෙම්වතියගේ බව ටික වේලාවකින් ඔහුට වැටහෙයි.
ඔහු ගීතයේ ලීවේ තමා මුහුණදුන් ඒ අවාසනාවන්ත අත්දැකීමය. විමල් ජයශාන්ත නම් ඔහුගේ ගීතය ගායනා කල ගායකයා අන් කවරෙකුත් නොව ශ්‍රිලාංකීය ගීත සාහිත්‍යයේ නොමැකෙන නමක් සටහන් කල මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතායි. සනත් නන්දසිරි මහතාට අනුව ඊට පසු මේ ගීතයේ රචකයා වන විමල් ජයශාන්ත ඔහුට නැවත මුණගැසී නැත. පසුව ඔහු ජීවතුන් අතර නොමැති බව ආරංචි විය.

එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා….

දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට පියේ….

සින්දුව මෙතැනින් අහන්න.
විශේෂ ස්තූතිය : පසුබිම් කතාව කියපු මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාට