බල්ල මොන වර්ගෙද?…… පිලිපීනෙ

මේක අපිත් එක්ක සිංගප්පූරුවෙ එකට වැඩකරන සහෘදයෙකුට ඊයෙ පෙරේද වෙච්ච ඇබැද්දියක්. අපේ එකෙක් විපතට පත්වුනහම හිනා වෙන්න හොඳනැති වුනත් මේකනම් ඉබේම හිනා යන වැඩක්.

මේකෙ කතානායකය තමුන්ගෙ නමේ හැටියටම සැපසම්පත් වලින් පිරිච්ච විනෝද බර ජීවිතයක් ගත කරපු එකෙක්. ලංකාවෙදිත් එහෙමයි; සිංගප්පූරුවෙදිත් එහෙමයි. කොල්ල හැබැයි ටිකක් මනමාලය. ඒ කිව්වෙ ස්ත්‍රී පාර්ශවයට ඇල්ම බැල්ම දාගෙන ඉන්න එකෙක්. හැබැයි හිත හොඳ එකා.

ඔන්න ඊයෙ පෙරේද දවසක dial එක rock වෙන්න ඇඳල deck shoes දාගෙන කොහෙද ගමනක් ගිහින්. ආපහු එනකොට ටිකක් කරුවල වැටිල.

කතාව එතැන් සිට:

ඈත රූප ශ්‍රීයෙන් බැබළෙන ලලනාවියකි;
මෑත කළු මහත විශාල උදරයක් හිමි මහෝදරයෙකි.

ඈත විලවුන් සුවඳ දසත විසිරේ;
මෑත දහඩිය දුගඳ සැමත පැතිරේ.

සිදුවුයේ අපේක්ෂා කල දෙයමය; දෙදෙනාගේ නෙතට නෙත යාවිය.

මෑත දුටු දසුනෙන් හටගත් ප්‍රේමයෙන් මුසපත් වූ යෞවනයෙකි;
ඈත දුටු දසුනෙන් තැති ගැන්මට ලක්වූ යෞවනියකි.

මෑත තව තවත් ඈ වෙත ළං වෙනු පිණිස කඩිනමින් පිය නඟන තරුණයායි;
ඈත තව තවත් ඔහුගෙන් දුරස් වනු කඩිනමින් පිය නඟන තරුණියයි.

කෙසේ හෝ ජයග්‍රහණය තරුණයාට හිමි වේ. උද්දාමයට පත් ඔහු “Hi, What is your name? “.
අහෝ අහඹුවකි. තරුණිය වෙනුවට පිළිතුරු දෙන්නේ ඇගේ සුරතල් බල්ලායි.

“බවු, වවු; ග්ර්ර්ර්……….”
“අම්මෝ…….. බේරගනියෝ… බල්ල කෑවෝ….”

ඈත වෛද්‍ය සායනයේ රෝගීන් සුවපත් කරන වෙදැඳුරායි;
මෑත බල්ලා සපා කෑමෙන් පීඩාවට පත්වු ප්‍රේමවන්තයායි.

ඈත රෝගීන් සුවපත් කිරීමට “ඉන්ජෙක්ෂන්” දෙන දොස්තරයි;
මෑත “ඉන්ජෙක්ෂන්” ගහගන්න මට බැරියැයි විලාප දෙන මහෝදරයි.

දෙදෙනා කෙසේ හෝ හමුවිය.
රෝගියා අසහනයෙනි;
වෙදැඳුරා සහනය දෙනු පිණිසය..

“ඔයාව කාපු බල්ල මොන වර්ගෙද?”
“පිලිපීනෙ”

පසු ලිවීම: සත්‍ය සිද්ධියට අලංකෘත එක්කොට ලියන ලදී …….

Advertisements

යෝධයා

මේකත් ඇත්ත කතාවක්. හැබැයි දැනට ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල වෙච්ච පොඩි ළමයෙක්ගෙ සිද්ධියක්. සීයාගෙන් අක්කා දස මහා යෝධයින් ගැන කතන්දර අසමින් සිටි තැනට ආව පොඩි කොළු ගැටයෙක්,

“සීයෙ, යෝධයො කියන්නෙ කවුද?”
“යෝධයො කියන්නෙ පුතේ ගොඩක් ශක්තිය තියෙන කට්ටියක්”
“ඒගොල්ලන්ට මොනවද කරන්න පුලුවන්?”
“මහ විශාල පර්වත උස්සන්න පුලුවන්, ලොකු ගස් උදුරන්න පුළුවන්, ගහට නඟින්නෙ නැතුව ගහේ කරටිය හොලවල පොල් ගස් වළින් ගෙඩි කඩන්න පුළුවන්…”
“අයියෝ ඕක කරන්න යෝධයෙක් වෙන්න ඕනෙ නැහැනෙ. මමත් අපේ ගෙදර පිටිපස්සෙ තියෙන පොල් ගහේ කරටිය හොළවන්නංකො!”

අවුරුදු 6ක් විතර වයස කොළු ගැටයාගේ මේ කතාවට සීයාටද පුදුම හිතුණි.

“ඒ කියන්නෙ ඔයාට ඒ පොල් ගහේ කරටිය හොළවන්න පුළුවන්ද? එහෙනම් ඔයත් යෝධයෙක්! හැබැයි දැන් කරල පෙන්නන්න ඕනෙ!”

“හරි එහෙනං සීය එන්නකො මම පොල් ගහ හොලවනව බලන්න.”

සීයාත් පොඩි එකාගේ වික්‍රමය බැලීමට ඔහු පසු පස පොල් ගස දෙසට ගියේය. පොල් ගස සෙලවීමට ගස යටට යනු වෙනුවට මඳක් දුරින් පිහිටි ලුණු මිදෙල්ල ගස වෙත ගිය කොළු ගැටයා පොල් ගස නිවස දෙසට යෑම වැළැක්වීම පිණිස ගසේ කරටිය ලුණු මිදෙල්ල ගසේ මුලට තදින් බැඳ තිබුන ලෝහ කම්බියේ එල්ලී පැද්දෙන්නට විය. අපේක්ෂා කල ලෙසම පොල් ගසේ කරටිය එහෙට මෙහෙට වැනෙන්නට විය.

අන්ද මන්ද වූ සීයා
“මම හිතුවෙ පුතා ගහ යට ඉඳන් ගහ හොළවයි කියල!”
“මම සීයට එහෙම කිව්වෙ නැහැනෙ. මම කිව්වෙ මම කරටිය හොළවනව කියල විතරයිනෙ!”
එසේ කියමින් උජාරුවෙන් අක්කා ළඟට ගොස්
“අක්කෙ ඔන්න එහෙනම් දැන් මගෙ නමත් ලියන්න ඔය යෝධයින්ගෙ නම් වලට!”

පසු කතාව : යෝධයෙක් කෙසේ වෙතත් මේ කොළු ගැටයා පස්සෙ කාලෙක ඉංජිනේරුවෙක් නම්  වුණා.

එදා මෙදා තුර ………

ගෙදර ඉස්තෝප්පුවේ විවේක සුවයෙන් ඉඳින පුද්ගලයෙකි. ඔහු හමුවට පැමිණෙන තරුණයෙක් “මට __________ මුණගැහෙන්න ඕනෙ”.
“ඔව් මම තමයි”
“මම ලියපු ගීතයක් තියෙනව. ඔබට ඒක ගායනා කරන්න පුළුවන්ද?”
“කෝ බළමු”
තරුණයා ඔහුගේ සාක්කුවෙන් කොළයක් ගෙන අනෙක් පුද්ගලයාට දෙන ගමන් “මේක මම ලියපු පළවෙනි ගීතය. ඒ වගෙම මම ලියන අන්තිම ගීතයත් මේක.”
අනෙක් පුද්ගලයා තරුණයා දුන් ගිතය කියවා.
“හොඳ ගීතයක්. ඇයි ඔයා කිව්වෙ මේක ඔයා ලියන අවසාන ගීතය කියල?”
“මට තව ගීත ලියන්න හැකියාවක් නැහැ. මේකෙ තියෙන්නෙ මගෙ අත් දැකීමක්.”
“මොකක්ද ඒ?”

මේ තරුණයා තරුණියක් සමඟ ඇති කරගත් පෙම් සබඳතාවයට තරුණියගේ ගෙදරින් ඉතා දැඩි විරෝධයක් එල්ලවිය. ඒ සමඟම තරුණයාට දුර පළාතකට යන්නට සිදුවිය. (මගේ මතකය නිවැරදි නම් රාජකාරිය උදෙසා) මේ සමඟම පෙම්වතියගෙන් දුරස් වෙන්නට සිදුවූ අතර ඇය පිළිබඳ තොරතුරුද නොලැබී ගියේය.
සැලකිය යුතු කාලයකට පසු තරුණයාට පෙම්වතියගේ පියාගෙන් විදුලි පණිවිඩයක් එයි. “වහාම පැමිණෙන්න!”
තරුණයා පෙම්වතියගේ නිවෙසට යනවිට එහි අවමඟුලකි. ඒ අවමඟුළ තමාගේ පෙම්වතියගේ බව ටික වේලාවකින් ඔහුට වැටහෙයි.
ඔහු ගීතයේ ලීවේ තමා මුහුණදුන් ඒ අවාසනාවන්ත අත්දැකීමය. විමල් ජයශාන්ත නම් ඔහුගේ ගීතය ගායනා කල ගායකයා අන් කවරෙකුත් නොව ශ්‍රිලාංකීය ගීත සාහිත්‍යයේ නොමැකෙන නමක් සටහන් කල මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතායි. සනත් නන්දසිරි මහතාට අනුව ඊට පසු මේ ගීතයේ රචකයා වන විමල් ජයශාන්ත ඔහුට නැවත මුණගැසී නැත. පසුව ඔහු ජීවතුන් අතර නොමැති බව ආරංචි විය.

එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා….

දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට පියේ….

සින්දුව මෙතැනින් අහන්න.
විශේෂ ස්තූතිය : පසුබිම් කතාව කියපු මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාට

Next Newer Entries