සෙලමට් ඩටාන් (Ayubowan)

Singapore

හා හා පුරා මධුරංගයි, මකරයි සෙට් වෙලා අළුත් බ්ලොග් එකක් පටන් ගන්න තමයි හදන්නෙ. උත්සාහයෙන් ජයගත් නගරයක් විදිහට ලෝකෙම ප්‍රසිද්ධ සිංගප්පූරුවෙ ගත කරන/කළ ජීවිතයේදී අපේ ජීවිතවලට සමීප වෙච්ච මිනිස්සු, තැන්, අහන්න දකින්න ලැබිච්ච කයි කතන්දර කට්ටියත් එක්ක බෙදා හදාගන්න තමයි අපේ උත්සාහය. තව කවුරු හරි අපේ බ්ලොග් එකට දායක වෙන්න කැමතිනම් සාදරයෙන් පිළිගන්නව කියලත් කියන්න ඕනෙ.

කට්ටිය ඔන්න ගිහින් බලන්නකො …

සෙලමට් ඩටාන් (Ayubowan)

ඉසිඹුවක් ලැබ…

Think Outside the Box

අද නම් මහ පුදුම දවසක්… ලියන්න අදහස් ගලාගෙන එනව…හවස ලියපු “දෙගුණේ මිනිසා” කියන ලිපියට අදහස ආවේ පහුගිය දවස් කීපය තුළ එක දිගටම මම ගොඩක් ආදරය සහ ගෞරව කරන “බුලත්සිංහල” ගුරු පියාණන්ගෙ නිවස අසලින් බොහොම කාලයකට පස්සෙ යන්න සිද්ධවුන නිසා. ඔහුගේ නිවස පහු කරන වාරයක් වාරයක් පාසා “දැන් සර් නැහැ” කියන හැඟීම එනකොට දැනෙන්නෙ විස්තර කරන්න අමාරු හැඟීමක්.

දැන් ලියන ලිපියට අදහස් ලැබුනෙ මෙන්න මේ බ්ලොග් ලිපියෙන්. සමහර මිනිස්සු තමුන්ගෙ මුළු ජීවිතයම කරන්නෙ තරඟයක දුවන එක. ඔයින් කීයෙන් කීදෙනාටද පොඩ්ඩක් නැවතිලා තමුන්ගෙ ජීවිතය දිහා ආපහු බලන්න ලැබෙන්නෙ? තමුන් ඇත්තටම ගෙවන්නෙ තමුන් බලාපොරොත්තුවන ජීවිතයද?

මම අත්දැකල තියෙන විදිහටනම් අපි බොහොමක් දේවල් කරන්නෙ අපිට සමීප, අපි අපේ කියල අර්ථනිරූපනය කරන කට්ටියගෙ හිත් සතුටු කරන්න. අපි අපේ ජීවත තුලදි හෘද සාක්ෂියට කොයිතරම් අවස්ථාවක් ලබාදෙනවද? ගොඩක් වෙලාවට ගොඩක් අය මුල් තැන දෙන්න හෘද සාක්ෂියට වඩා තමුන්ට අත් වෙන ලාභ ප්‍රයෝජන වලට…

ඒත් කොයි ජගතට වුනත් අන්තිමට තමුන්ගෙ මරණ මංචකයේදි තමුන්ගෙ හෘද සාක්ෂියට පිළිතුරු දෙන්න වෙනව. ඒතකොට තමුන්ගෙ ජීවිතය ගැන ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් වෙයිද?

බොහොමයක් අයට බැරි උනත් තමුන් ජීවත් වෙච්ච ජීවිතය තමුන්ටත් අනෙක් අයටත් අර්ථවත්ව ගෙවපු මිනිස්සුත් ඉන්නව. ඒන්න ඒ අය තමයි “නොමළ, නොමියෙන, සදාකාලික” අය; ශරීරය මියගියත් අනෙක් අයගේ සිත්වල ඔවුන් පිළිබඳ මතකයන්, ඔවුන් කළ කී දෑ ජීවත් වෙනව. ලොව ප්‍රකට ඇමරිකන් ජාතික කවියෙක් වූ “රොබට් ෆ්‍රොස්ට්”, “Stopping by the woods in a snowy evening” කියන කවි පන්තියෙන් කියන්නෙත් මේකම නේද? අපිටත් අපේ ජීවිතය අපිට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් නම්?

ඔය ඇති…

(ජීවිත යුද්ධය අතරදී ඉසිඹුවක් ලැබ පහල වූ අදහස් කීපයක්; මුල මැද අග ගැලපීමක් නැතිවීමටද හැක.)

දෙගුණේ මිනිසා

කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු..

(මෙතෙක් කාලයක් බ්ලොග් එක ලිවීම සඳහා භාවිතා කළ ශෛලියෙන් බැහැරව මෙම ලිපිය ලියන්නේ මෙම ලිපිය තුළදී ඉස්මතු කරන චරිත වලට ලැබිය යුතු නියම ගෞරවය ලබා දීම සඳහාය.)

“දෙගුණය” යනු යම් කිසි සංඛ්‍යාවකට හෝ දෙයකට තවත් එවැනිම සංඛ්‍යාවක් දෙයක් එකතුවීමය. නමුත් “දෙගුණේ මිනිසා” යනු කුමක්ද? මේ යෙදුම මාහට මුළින්ම අසන්නට ලැබුණේත් ඒ යෙදුම නියම ආකාරයෙන් අර්ථ කථනය කරනු ලැබුවේත් මෙතුවක් කාලයකට මට මුණගැසී ඇති, කතා බස් කර ඇති සහ මාව දැනුමෙන් සන්නද්ධ කරන ලද ගුරු දේවතාවුන්ගෙන් මම ආදරය කරන, ගෞරවය කරන අයෙක් වන ලංකාවේ කලක් ඉතාමත් ජනප්‍රිය රසායන විද්‍යා ආචාර්යවරයෙක්ව සිටි “බුලත්සිංහල” ගුරු පියාණන්ගෙනි. එතුමාගේ අර්ථ දැක්වීමට අනුව “දෙගුණේ මිනිසා” යනු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා තමා අවට පරිසරය අධ්‍යයනය කරන, ඒ තුළ සිටින චරිත, සිදුවන සිද්ධීන්, තිබෙන දෑ වස්තු බීජ කරගෙන සිතන, ඒ තුළින් යථාවබෝධයට (wisdom) ලංවන පුද්ගලයෙකි. එක වරම අපේ මතකයට නැගෙන්නේ බුදු, පසේ බුදු වරුන් වුවත් මගේ අදහස නම් උන්වහන්සේලා මෙකී කොට්ඨාශයටත් ඉහළින් සිටින බවය.

තවද මෙම “දෙගුණේ මිනිසා” කරන කියන සමහර දෑ සාමාන්‍ය මිනිසෙකුට එකවර වටහා ගත නොහැක; බුද්ධිය මෙහෙයවීමෙන් අවබෝධ කර ගත යුතුය. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ ලේඛකයින්, සිනමාවේදීන්, විද්‍යාඥයින් බොහොමක් මෙවැන්නෝ වෙති; අනෙකුන් සිතන සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව නව ආරක නිර්මාණ ලෝකයාට ගෙන එන්නේ එබැවිනි.

එවකට සිටි චරිත අතුරින් මාගේ ගුරු පියාණන් උදාහරණයට ගත්තේ “සයිමන් නවගත්තේගම ශූරීන්”ය. නමුත් මේ ගොන්නට එකතු කළ හැකි තවත් චරිත කීපයක් මගේ මතකයට නැඟෙයි. ඒ අතුරින් “ගුණදාස කපුගේ ශූරින්” සඳහන් කළ යුතුම චරිතයකි.

මගේ අදහස මෙම කෙටි ලිපිය වසන්ත කුමාර කොබවක ශූරීන් විසින් රචනා කර ලක්ෂ්මන් විජේසේකර ශූරීන් ගායනා කරන ගීතයක පද කීපයකින් අවසාන කිරීම ඉතා යෝග්‍ය බවය.

“ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු…
ලද දේ හිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු…
පොරණේ මිහි සයනේ ගොඩ නැගුනු මිනිස්සු..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු……..”

මාගේ බුලත්සිංහල ගුරු පියාණන් ප්‍රමුඛව ධනය, බලය, ජනප්‍රියත්වය අරමුණු නොකර ලෝකයා වෙනුවෙන් නිහඬ සේවයක් කරන ලද සහ කරන සියළුම දෙනාට මෙම ලිපිය උපහාරයක් වේවා…

Airport කවිය

එපා වෙලා තියෙන්නෙ..
මට
බලාගෙන ඉඳල

කෝ?

එන්නෙ නැද්ද?
මේ කෙහෙල්මල් plane එක
යන්න… මට
ඉක්මනට
ලංකාවට.

පසු ලිවීම : සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ලියන ලදී….

4000යි

කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න පුළුවන් වුනේ. ලියන්න ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල ටිකක් කම්මැලි ගතියක් ඇඟට ගහල. අනේ මන්ද? හැබැයි වැඩේ පබා වෙන එකක්නම් නැහැ මගෙ හිතේ.

පොඩ්ඩක් වටපිට බැළුවහම දැක්ක visit counter එක. කිරි අප්පට බල්ලො බුරපි! මෙන්න බොලේ 4000 පන්නල! මටත් හිතාගන්න බැහැ මගෙ බ්ලොග් එක පටන්ගෙන යාන්තම් මාස 2ක් විතර ගියා විතරයි මෙච්චර set එකක් මේක කියවලද කියල.

මොනව වුනත් මට මේ බ්ලොග් කෙරුවාව පටන් ගන්න මූලික වුනේ අපේ යාළුව “ම”ගෙ “මගේ මරණය” කියවල තමයි. ඒකට මම අපේ යාළුව “ම”ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

කට්ටිය “දියකැට පහණෙ” වෙන්න ඕනෙ වෙනස්කම්, අළුතින් එකතුවෙන්න ඕනෙ දේවල්, යෝජනා, චෝදනා ඉදිරිපත් කලානම් ඉතින් මට මගෙ මාස 2ක බ්ලොග් කෙරුවාව ගැන පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි.

Thank You

අම්මයි තාත්තයි

“ආදරයේ උල්පතවූ අම්මා…….” කියන සින්දුවෙන් පටන්ගත්තහම අම්ම ගැනත් “අම්මා සඳකි; මම ඒ ලොව හිරුය රිදී..” කියල පටන්ගත්තහම තාත්ත ගැනත් (අම්ම ගැන තරම් නැති වුනත්) කවි, සින්දු ගොඩක් ලියවිලා තියෙනවනෙ.

ඒවා අතරින් යුගලයක් විදිහට මට පේන සින්දු 2ක් තමයි කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්ගෙ “නිල් දියවර” කියන ගීත එකතුවෙ තියෙන “ගමට කලින්” කියන සින්දුවයි “අන්දර යායේ”කියන සින්දුවයි.

රජරට ගැමි සමාජයේ ජීවිත වෙන අයගෙ සිතුම් පැතුම් මේ සින්දු දෙකෙන් මොනවට පැහැදිලි වෙනව කියල මට නම් හිතෙන්නෙ.වැව කියන්නෙ රජරට ගැමි සමාජයේ තියෙන පූජනීය වස්තුවක්; වැවෙන් වතුර අරන් අස්වද්දන කුඹුර තමයි අනෙක් වටිනාම වස්තුව.

“කලා වැවේ නිල් දියවර අපෙ අම්මා….” කියල අම්මාව අඳුන්වල දෙනකොට පූජනීය බව, අම්මගෙ ආදරයේ තියෙන විශාලත්වය, සශ්‍රීකත්වය වගේ ගොඩක් දේවල් කියවෙනව.

අනෙක් සින්දුවෙදි
“දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී…”

කියන කොට කොයිතරම් ගෞරවයක් තාත්තට දෙනවද? හැම දෙයකම ආරම්භය, හැම දෙයක්ම පිටිපස්සෙ ඉඳන් අත්වැල දෙන්නෙ තාත්ත කියන එක කොච්චර ලස්සනට කියල තියෙනවද?

මේ සිංදු දෙකේම පාවිච්චි කරල තියෙන ඉතාමත් සරල, සෘජු වචන වලින් ගැමියාගෙ තියෙන නිර්ව්‍යාජ හැඟීම් හොඳට ප්‍රකාශ කරල තියෙනව කියල තමයි මට නම් හිතෙන්නෙ.

ඔය සින්දු දෙක කැමති අය මෙතනින් ගිහින් අහන්න.

ගමට කලින්.. අන්දර යායේ..

කැළෑ වැදීම

ෆිට් එකේ එක දිගට කරගෙන යනව කියල මුලින් හිතාගෙන පටන් ගන්න බොහොමයක් දේවල් අපි ටික කාලෙකින් අතෑරල දානව. අනේ මන්ද කොච්චර කළත් ඔච්චර තමයි. මගෙ බ්ලොග් එකටත් එහෙම වෙයිද මන්ද. පටන්ගන්නකොට තිබුන “ගෝ” එක දැන් අඩුවේගෙන යනව. ඒ මදිවට මාත් එක්ක වැඩකරන එකා හදිස්සියෙම ලංකාවට ගියා. දැන් උගෙ වැඩත් ටිකක් බලන්න ඕනෙ. මොනව උනත් දිගටම ලියන්න තමයි කල්පනාව “කැළෑ වදින්නෙ” නැතුව.

Previous Older Entries