බල්ල මොන වර්ගෙද?…… පිලිපීනෙ

මේක අපිත් එක්ක සිංගප්පූරුවෙ එකට වැඩකරන සහෘදයෙකුට ඊයෙ පෙරේද වෙච්ච ඇබැද්දියක්. අපේ එකෙක් විපතට පත්වුනහම හිනා වෙන්න හොඳනැති වුනත් මේකනම් ඉබේම හිනා යන වැඩක්.

මේකෙ කතානායකය තමුන්ගෙ නමේ හැටියටම සැපසම්පත් වලින් පිරිච්ච විනෝද බර ජීවිතයක් ගත කරපු එකෙක්. ලංකාවෙදිත් එහෙමයි; සිංගප්පූරුවෙදිත් එහෙමයි. කොල්ල හැබැයි ටිකක් මනමාලය. ඒ කිව්වෙ ස්ත්‍රී පාර්ශවයට ඇල්ම බැල්ම දාගෙන ඉන්න එකෙක්. හැබැයි හිත හොඳ එකා.

ඔන්න ඊයෙ පෙරේද දවසක dial එක rock වෙන්න ඇඳල deck shoes දාගෙන කොහෙද ගමනක් ගිහින්. ආපහු එනකොට ටිකක් කරුවල වැටිල.

කතාව එතැන් සිට:

ඈත රූප ශ්‍රීයෙන් බැබළෙන ලලනාවියකි;
මෑත කළු මහත විශාල උදරයක් හිමි මහෝදරයෙකි.

ඈත විලවුන් සුවඳ දසත විසිරේ;
මෑත දහඩිය දුගඳ සැමත පැතිරේ.

සිදුවුයේ අපේක්ෂා කල දෙයමය; දෙදෙනාගේ නෙතට නෙත යාවිය.

මෑත දුටු දසුනෙන් හටගත් ප්‍රේමයෙන් මුසපත් වූ යෞවනයෙකි;
ඈත දුටු දසුනෙන් තැති ගැන්මට ලක්වූ යෞවනියකි.

මෑත තව තවත් ඈ වෙත ළං වෙනු පිණිස කඩිනමින් පිය නඟන තරුණයායි;
ඈත තව තවත් ඔහුගෙන් දුරස් වනු කඩිනමින් පිය නඟන තරුණියයි.

කෙසේ හෝ ජයග්‍රහණය තරුණයාට හිමි වේ. උද්දාමයට පත් ඔහු “Hi, What is your name? “.
අහෝ අහඹුවකි. තරුණිය වෙනුවට පිළිතුරු දෙන්නේ ඇගේ සුරතල් බල්ලායි.

“බවු, වවු; ග්ර්ර්ර්……….”
“අම්මෝ…….. බේරගනියෝ… බල්ල කෑවෝ….”

ඈත වෛද්‍ය සායනයේ රෝගීන් සුවපත් කරන වෙදැඳුරායි;
මෑත බල්ලා සපා කෑමෙන් පීඩාවට පත්වු ප්‍රේමවන්තයායි.

ඈත රෝගීන් සුවපත් කිරීමට “ඉන්ජෙක්ෂන්” දෙන දොස්තරයි;
මෑත “ඉන්ජෙක්ෂන්” ගහගන්න මට බැරියැයි විලාප දෙන මහෝදරයි.

දෙදෙනා කෙසේ හෝ හමුවිය.
රෝගියා අසහනයෙනි;
වෙදැඳුරා සහනය දෙනු පිණිසය..

“ඔයාව කාපු බල්ල මොන වර්ගෙද?”
“පිලිපීනෙ”

පසු ලිවීම: සත්‍ය සිද්ධියට අලංකෘත එක්කොට ලියන ලදී …….

යෝධයා

මේකත් ඇත්ත කතාවක්. හැබැයි දැනට ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල වෙච්ච පොඩි ළමයෙක්ගෙ සිද්ධියක්. සීයාගෙන් අක්කා දස මහා යෝධයින් ගැන කතන්දර අසමින් සිටි තැනට ආව පොඩි කොළු ගැටයෙක්,

“සීයෙ, යෝධයො කියන්නෙ කවුද?”
“යෝධයො කියන්නෙ පුතේ ගොඩක් ශක්තිය තියෙන කට්ටියක්”
“ඒගොල්ලන්ට මොනවද කරන්න පුලුවන්?”
“මහ විශාල පර්වත උස්සන්න පුලුවන්, ලොකු ගස් උදුරන්න පුළුවන්, ගහට නඟින්නෙ නැතුව ගහේ කරටිය හොලවල පොල් ගස් වළින් ගෙඩි කඩන්න පුළුවන්…”
“අයියෝ ඕක කරන්න යෝධයෙක් වෙන්න ඕනෙ නැහැනෙ. මමත් අපේ ගෙදර පිටිපස්සෙ තියෙන පොල් ගහේ කරටිය හොළවන්නංකො!”

අවුරුදු 6ක් විතර වයස කොළු ගැටයාගේ මේ කතාවට සීයාටද පුදුම හිතුණි.

“ඒ කියන්නෙ ඔයාට ඒ පොල් ගහේ කරටිය හොළවන්න පුළුවන්ද? එහෙනම් ඔයත් යෝධයෙක්! හැබැයි දැන් කරල පෙන්නන්න ඕනෙ!”

“හරි එහෙනං සීය එන්නකො මම පොල් ගහ හොලවනව බලන්න.”

සීයාත් පොඩි එකාගේ වික්‍රමය බැලීමට ඔහු පසු පස පොල් ගස දෙසට ගියේය. පොල් ගස සෙලවීමට ගස යටට යනු වෙනුවට මඳක් දුරින් පිහිටි ලුණු මිදෙල්ල ගස වෙත ගිය කොළු ගැටයා පොල් ගස නිවස දෙසට යෑම වැළැක්වීම පිණිස ගසේ කරටිය ලුණු මිදෙල්ල ගසේ මුලට තදින් බැඳ තිබුන ලෝහ කම්බියේ එල්ලී පැද්දෙන්නට විය. අපේක්ෂා කල ලෙසම පොල් ගසේ කරටිය එහෙට මෙහෙට වැනෙන්නට විය.

අන්ද මන්ද වූ සීයා
“මම හිතුවෙ පුතා ගහ යට ඉඳන් ගහ හොළවයි කියල!”
“මම සීයට එහෙම කිව්වෙ නැහැනෙ. මම කිව්වෙ මම කරටිය හොළවනව කියල විතරයිනෙ!”
එසේ කියමින් උජාරුවෙන් අක්කා ළඟට ගොස්
“අක්කෙ ඔන්න එහෙනම් දැන් මගෙ නමත් ලියන්න ඔය යෝධයින්ගෙ නම් වලට!”

පසු කතාව : යෝධයෙක් කෙසේ වෙතත් මේ කොළු ගැටයා පස්සෙ කාලෙක ඉංජිනේරුවෙක් නම්  වුණා.

තෙලේ බලේ

මේක කැම්පස් කතාවක්. කතාව ඇත්ත. ඒත් නම් වෙනස් කලා මොකද ඉතින් කට්ටියට හොඳ මදිනෙ.

ස්ථානය : පටුවතවිතාන නේවාසිකාගාරය, මොරටුව විශ්වවිද්‍යාලය

දිනය සහ වේලාව: 2007 වර්ෂයේ මුල් මාසයක දවසක දහවල් ආහාර වෙලාවෙන් පසු.

පසු බිම් කතාව: දඟයා, UPS සහ දැමා කැම්පස් එකේ lecture වලට cut එක දීමට උපන්නාවු තුන්දෙනෙකි. ගොඩ කැන්ටිමෙන් බඩ පැලෙන්න දවල් ආහාරය ගත් පසු ආ නිදිමත lecture එකට යෑමට වඩා ලොකු වූ බැවින් lecture එකට cut එක දී කට්ටියම පටුවේ ඔවුන්ගේ කාමරයට බඩගෑවේ ඇතිවෙනකම් නිදාගැනීමේ අටියෙනි.

සුපුරුදු පරිදි දඟයා ඇඳට පැන නිදාගන්නට උත්සාහ  කලත් බිම මෙට්ට දමා ගෙන සීලිම දෙස බලාගෙන දැමා කරගෙන යන “අරුත්බර” lecture එක නින්දට බාධාවකි. අද මාතෘකාව පොදු ප්‍රවාහන සේවයයි.

“දැන් බලපං UPS උදේට මට කොලොන්නාවෙ ඉඳන් කැම්පස් එකට බස් එකේ එනවනම් කොච්චර වෙලා යනවද?. ගාට ගාට එනකොට මටනම් එපා වෙනව. එහෙම කියල රෝද හතරක් ගන්නත් බැහැනෙ. බලපං පෙට්‍රල්, ඩීසල් වල ගණං! කොහොමද  ඔච්චර වියදමක් දරන්නෙ. මම නම් ඔය ඉංජිනේරු පට්ටම අමතක කරල ගන්නව motor-bike එකක්. සිං සිං ගාල එහෙං මෙහෙං රිංගල traffic මඟ ඇරල එන්න පුළුවන්නෙ බං! ඉන්දියන් bike එකක් ගත්තහම පෙට්‍රල් ලීටරයකින් අඩුම ගානෙ කිලෝමීටර 60ක් වත් දාගන්න පුළුවන්නෙ. කොහොම හරි කරල bike පදින්න license එක ගම්මු බං!”

දෙවෙනි දවස: එදා වගේමය. පළමු දවසෙන් සතියක් ගතවු තැන යෙදුන boring lecture එකක් සඳහා වෙන් වූ කාල පරිච්ඡේදයකි. අද lecture එක cut කර පටුවේ අල වීමට කාමරයේ ඉන්නා මහජනතාවගෙන් අඩු UPS විතරය. ඒකත් ඔහු ගෙදර ගොස් ඇති බැවිනි. මෙවර දැමාගේ lecture එකට සවන් යොමාගෙන සිටීමේ “අල කේස්” එක සෙට් වී ඇත්තේ ලමියාටයි.

“උඹට කියන්න ලමියො, පාරෙ වෙන ඇක්සිඩන්ට් වලින් ගොඩකටම හේතුව මේ motor-bike නෙ බං. කොල්ලයි, බල්ලයි හැම එකාටම දැන් ලීසිං එකක් දාගත්තහම bike එකක් ගන්න පුළුවන්නෙ! අනෙක දැන් හැම එකාම වගේ ගන්නෙ ඔය ඉන්දියන් bike නෙ. ඒව නිකන් පපඩම වගේ. කොහේ හරි වැදුනොත් ඉතින් පදින එකාට දෙයියන්ගෙම පිහිටයි. අනෙක engineer කෙනෙක් වෙලා ඉන්දියන් bike එකක් පදිනකොට තියෙන තත්ත්වෙ මොකක්ද බං? ඒ වගේද රෝද හතරක යනකොට? මම නම් out වුනු ගමන් කොහොමහරි කාර් එකක් බස්සනව!”

නිදා ගැනීමට වෙරදරමින් සිටි දඟයා එක වරම අවදිවී
“ඈ බොළ දැමෝ, තෝ එදා UPSව අල්ලගෙන හොඳටම තෙල ගැහුව නේද උට motor-bike පදින්න license ගම්මු කියල? උඹ උට එහෙම කියල දැං මේ ලමියට කාර් ගන්න තෙල ගහන්නෙ ?

හනික නැගී සිටි දැමා වහාම කැම්පස් එක බලා පිටත් වුයේ තව දුරටත් කාමරයේ සිටියොත් ඉතිරිවී තියෙන සායමත් දියවී යන බැවිනි.

දේවතා එළිය

ඔන්න සිංගප්පූරුවෙ අපේ ගෙදර ඉලෙක්ට්‍රොනික් බඩුගන්න නම ගිය “අයිය” ගිය ඉරිදා අති නවීන අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ කැමරාවක් මිළදී ගත්ත. පිස්සු හැදෙනව ඒකෙ වැඩ කෑලි ටික දැක්කහම. මිනිහ හැබැයි ඔය “පොටෝ ගැහිල්ලට” ටිකක් ආධුනිකය.

ඊයෙ රෑ ඔන්න ගෙදර කට්ටිය වැඩ ඇරිල ගෙදර ඇවිත් රාත්‍රී ආහාරය අරගනිමින් ඉන්න කොට එක පාරටම දීප්තිමත් එළියක් ඇවිත් ගියා. ඊයෙ රෑ එච්චර වැහි කළුවකුත් තිබුණෙ නැහැ. ඒක නිසා අකුණක් ගැහුව වෙන්නත් බැහැ. කට්ටිය ඔහොම කතා කර කර ඉන්න කොට ආපහු ඔය එළිය ඇවිත් ගියා. ඔන්න දැන් කට්ටිය තක බීර් වෙළා!

“එකත් එකට මේක ෂුවර් එකටම දේවතා එළියක්!” එක්කෙනෙක් එහෙම කියනව. තව එක් කෙනෙක් අහනව “මේ සිංගප්පූරුවෙ කොයින්ද දේවතා එළි? ඒව තියෙන්නෙ ලංකාවෙනෙ!” එතකොට ආපහු අනෙක් එකා කියනව ” ඇයි ඕයි එතකොට දෙයියො ඉන්නෙ ලංකාවෙ විතරද?”

ඔයින් මෙයින් අන්තිමට කට්ටිය තීරණය කලා ඒක දේවතා එළියක් කියල. ටික වෙලාවකට පස්සෙ ආපහු ඒ දේවතා එළිය ආව. මේ පාරනම් ඒක ආවෙ කාමරයක් ඇතුලෙ ඉඳන්. කට්ටිය ඔක්කොම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා දේවතා එලිය බලන්න.

එතකොට ඔන්න මෙච්චර වෙලා එලිය දාපු දේවතාවා ඉන්නව කාමරේ ඇතුලෙ අළුත් කැමරාවෙන් පොටෝ ගගහ!

පසු ලිවීම: –  රෑට කැමරාවෙන් පොටෝ ගහනකොට වදින Flash එළිය තමයි කට්ටිය දේවතා එළියක් කියල හිතල තියෙන්නෙ. මැක්ස scene එක නේද?

Wired!!

ටික කාලෙකින් post එකක් දාන්නත් බැරි වුනා. පහුගිය දවස්වල මගෙ යාළුවෙක් එක්ක තායිලන්තෙ ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් වෙන පුකෙට් කියන දූපතට යන්න chance එකක් හම්බවුනා. මේ තියෙන්නෙ එහෙදි ගත්ත photo එකක්.

Wired

Wired

මොකද හිතන්නෙ? මෙතන telephone, electrical කියන ඔක්කොම lines තියෙනව. වතුර line එකක් විතරයි අඩු මගෙ හිතේ! මේකත් එක්ක බැළුවහම අපේ රට දාහෙන් සම්පතයි කියල හිතුන.

Bluetooth Headset එක

පබා බැලිල්ල කියවල අපේ Office එකේ ඉන්න අය ඇවිස්සිලා. කොහොමහරි මම ඒ කතාව ලිව්වෙ එක්කෙනෙක් subject කරගෙන වුනත් ඔයින් මෙයින් කොයි කාගෙත් රහස් එළිවෙලා. බැළුවහම අපේ කට්ටියගෙන් සෑහෙන්න පිරිසක් පබා බලන්න Laptop අරගෙන; තවත් කට්ටියක් පබා නෙමෙයි මුතු කිරිල්ලී බලන්නලු Laptop ගත්තෙ.

ඔයින් මෙයින් මගෙ ඉස්සෙල්ල කතාවෙ කතා නායකගෙ තවත් සැඟවෙච්ච කතාවක් එළියට ආව. ඔය මගෙ යාළුව වචන හරඹයට නියම දක්ෂය. තමුන්ගෙ පැත්තට මොකක් හරි ජල්තරස් සීන්-කෝන් එකක් එනව වගේනම් මිනිහ කොහෙන් හරි වචනයක් දාල වැඩේ හරවනව. ඔය විදිහට මිනිහගෙ කටේ තියෙන ජනප්‍රිය කියමනක් තමයි “ඇහුන් නෑ” කියන එක.

ඔන්න man, IT Show එකෙන් Bluetooth Headset එකක් අරගෙන Office  එකේදි පොඩි show එකක් දාන්නත් එක්ක. කවුරුත් ආසයිනෙ ඔය High-Tech Gadget ගැජට් වලට.

දැන් ඔන්න මිනිහ පබා බලන්න Laptop එක අරගත්ත කතාවත් එක්ක තවත් කතාවක් Office එකේ යනව IT Show එකේ Stall එකක හිටපු එකෙක් මිනිහට කන් ඇහෙන්නෙ නැති නිසා ශ්‍රවණාධාර Gadget එකක් කියල Bluetooth Headset එකක් විකුණල කියල. මොකද ඔය Bluetooth Headset එකත් ශ්‍රවණාධාර Gadget එක වගේමනෙ කණට හයි කරගන්න තියෙන්නෙ. අනේ මන්ද කවුරු ඇත්ත කියනවද කියල.

පබා බැලිල්ල

එක්තරා පුද්ගලික රූපවාහිනී නාළිකාවක් මීට කාලයකට ඉස්සෙල්ල අපේ රටේ කට්ටියට එක වසංගතයක් බෝකළා. ඒක ඔය කවුරුත් දන්න විදිහට සතියෙ හැම දවසකම රෑට පැය දෙකක් එක දිගට රූප පෙට්ටිය (අපේ ගෙදරනං ඕකට ඉස්සර කිව්වෙ “හූණියම් පෙට්ටිය” කියළ) ඉස්සරහට වෙලා “Soap Opera” බල බලා ඉන්න පුරුදු කරපු එක. ඒක කොයි තරම් සාර්ථක වුනාද කියනවනම් අනෙක් නාළිකාවල කට්ටිය ඒකට මඩ ගහන්න පටන් ගත්තනෙ “ගොං දෙපැය” කියල; ඊට පස්සෙ බද්දකුත් ගැහුවනෙ. එහෙම කරළත් බැරිම තැන ඒකට තරඟයක් දෙන්න තවත් නාළිකාවක සෙට් එකක් තවත් දෙපැයක් පටන් ගත්ත. ඔය දෙපැයත් සාර්ථක වුනා මොකද ඒ Soap Operaවල තියෙන්නෙ දේශීය කතා නිසා.

ඔහොම පටන් ගත්ත ලාංකේය Soap Operaවලට මුළින්ම ලොකු ඉල්ලුමක් තිබුන. මොකද මම හිතන විදිහට “ශාන්තී”, “ප්‍රගති”, “ප්‍රවීනා” වගේ ඉන්දීය නිළියන් රඟපාපු චරිත අපෙ කට්ටිය රඟපානව බලන්න අපේ අයට ලොකු ආසවක් තියෙන්න ඇති. ඊට පස්සෙ කට්ටිය ඕකට ඇබ්බැහි වුනා. දැන් අපේ කට්ටිය දත නියෝගෙන සති මාස ගණන් එකතැන පල්වෙන පබා දිහා බලාගෙන ඉන්නව. මට මතකයි මේ ළඟදි පත්තරේකත් තියෙනව “ප්‍රභානම් ඉවරයි ඒත් පබා?” කියළ! කට්ටිය තමුන්ගෙ කාලෙ, සල්ලි නාස්ති කරගෙන පබා බලන්නෙ කතාවෙ තියෙන වැදගත්කමකට නෙමෙයි ඔහේ බලන්නං වාලෙ වෙන වැඩක් නැති නිසා.

මම මෙහෙම කියන්නෙ පහුගිය දවසක වෙච්ච සිද්ධියක් නිසා. මෙහෙ සිංගප්පූරුවෙ ඉන්න මම දන්න ලංකාවෙ කට්ටියගෙන් 90%ක්ම අන්තර්ජාලය හරහා ඔය පබාව බලනව. ඔහොම පබාව බල බල හිටපු එක්කෙනෙක් ගිය පාර ලංකාවට ගිය සැරේ එයගෙ කොම්පියුටරෙත් එහෙට අරගෙන ගියා. දැන් ඔන්න මනුස්සය ආපහු මෙහෙ ආව; මිනිහට ලොකු ප්‍රශ්නයක්! මොකද්ද? පබා බලන්න කොම්පියුටරයක් නැහැ. ඔන්න ගිය සති අන්තෙ මෙහෙ අති විශාල IT Show එකක් තිබුන. මිනිහ මොනවද කළේ. රුපියක් ලක්ෂයකට පොඩ්ඩක් අඩු ගාණක් දීල පබා බළන්න Laptop එකක් ගෙනාව! මෙහෙමත් ඇබ්බැහි වීමක්! මෙහෙමත් පිස්සුවක්!

කොහොම වුනත් අනුන්ගෙ නිදහසට බාධාවක් නොවෙනතාක් තමන්ට කැමති දෙයක් කරන්න හැමෝටම නිදහස තියෙනව. ඒත් එකතැන පල්වෙන කතා set එකක් බලන්න මෙච්චර වියදමක්?

ඉස්සර අපේ ජාතික රූපවාහිනියෙ ගියේ කොච්චර අර්ථවත්, රසවත් ටෙලි නාට්‍යයද? “වෙද හාමිනේ”, “අකාල සන්ධ්‍යා”, “දඬුබස්නාමානය” වගේ. මගෙ හිතේ අන්තිමට ඔය වගේ හොඳ ටෙලියකට ගියෙ “මුතුමිණ” හිටපු “ඉසුරු යෝගය” තමයි. ඊට පස්සෙ ගියේ මුළදි පොඩ්ඩක් ලස්සන පස්සෙ බොහොම අමාරුවෙන් ඇදගෙන යන, අපේ මිනිස්සුන්ගෙ විඥාණය මොට කරන සෝඩා බොතල් ටෙලි නාට්‍ය!

Previous Older Entries