සිංගප්පූරුවේ සීගිරිය..

දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයි නොවැ. ඉඳල හිටල තමයි බ්ලොග් එකේ ලියන්නෙ. හැබැයි දවස ගානෙ අනෙක් අය ලියන ඒවනම් අඩුවක් නැතුව කියවනව. ඔය අල්ල පනල්ලෙ තමයි දැනගත්තෙ අපේ සහෲද බ්ලොග්කරුවෙක් වුන තම තම නැණ පමණින් ලියපු කුමුදු පින්තු මහතා අප අතරින් වෙන් වෙලා ගිහින් කියල. ඉතින් දියකැට පහණෙන් මමත් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනව.

 

Marina Bay Sands

Marina Bay Sands

 

ආපහු මාතෘකාවට එමු. ඔන්න දැන් සිංගප්පූරුවට එන කට්ටියට බලන්න යන්න තවත් අළුත් තැනක් තියෙනව. නම Marina Bay Sands. මේක integrated resort එකක්. ඒ කියන්නෙ නවාතැන් පහසුකම් තියෙන හෝටලයක් විතරක් නෙමෙයි සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයක්, කැසිනෝ , රාත්‍රී සමාජශාලා, අවන්හල්  වගේ තවත් ගොඩක් දේවල් තියෙනව. Marina Bay Sands අයිති වෙන්නෙ ඇමරිකාවෙ ලාස් වේගාස් මූලස්ථානය කරගත්ත Sands කියන කැසිනෝ සමූහයට. ආසියාව ගත්තහම Sands සමූහයේ චීනයෙ මැකාවෝ වලට පස්සෙ සිංගප්පූරුවෙ තමයි ශාඛාවක් තියෙන්නෙ.

Marina Bay Sands වල තියෙන ඒවගෙන් මැක්සම දේ තමයි කුළුණු 3කින් සහ තට්ටු 55කින් සමන්විත මේ ගොඩනැගිල්ල උඩ තියෙන Sky Park එක. සිංහලෙන් ඕනෙනම් “අහස් උද්‍යානය” කියන්න පුළුවන්. මේක තියෙන්නෙ පොළොව මට්ටමේ ඉඳන් මීටර 200ක් උඩින්.

මේ Sky Park එකට ගියහම නවීන් සිංගප්පූරුවේ අංශක 360ක දර්ශනයක් බලාගන්න පුළුවන්. ඒ දර්ශනය ඇත්තටම නියම අත්දැකීමක්.

Sky Park Details
Marina Bay Sands SkyPark එක කොටස් කීපයකින් සමන්විත වෙනව. Public Observation Deck කියන්නෙ මහජනයාට ඇවිත්  සිංගප්පූරුවෙ Skyline එක බලාගන්න පුළුවන් නැරඹුම් ප්‍රදේශයක්. ඊට අමතරව මේකෙ Infinity Pool කියල මීටර 150ක් දිග පිහිණුම් තටාකයක් තියෙනව. මේ පිහිණුම් තටාකයෙ එක පැත්තක් හදල තියෙන්නෙ පිටින් බැලුවහම SkyPark එකේ කොණේම තියෙනව වගේ පේන්න. ඔය ක්‍රමේට කියන්නෙ Vanishing Edge ලු. ඒකනම් මරේ මරු. ඕව මේවට අමතරව තව පොඩි Sky Gargen එකතුත් එන කට්ටියට කන්න බොන්න ඕනෙ වුනොත් ආපනශාලා පහසුකම් එහෙමත් තියෙනව. හැබැයි ඉතින් ලෝකෙ මුල්ම අහස් උද්‍යානය හැදුවෙ ලංකාවෙ අය. (බැබිලෝනියාවෙ එල්ලෙන උද්‍යානයක් තිබ්බ කිව්වට සාක්ෂි නැහැනෙ ) ඒ ඉතින් අපේ සීගිරියනෙ.
සිංගප්පූරුවට ආපු වෙලාවක කට්ටිය මෙතනට නොවරදාවම යන්න. හැබැයි ඉතින් ඩොලර් 20ක ටිකට් එකක් ගන්න වෙනව. සිංගප්පූරුවෙ  MRT System එකේ Circle line එකේ තියෙන Promenade කියන station එකෙන් බැහැල විනාඩි 10ක් විතර ගමනකින් මෙතනට යන්න පුලුවන්. තව ටික කාලෙකින් North – South line එකේ Marina Bay කියන station එකෙනුත් එන්න පුළුවන් වෙයි මගෙ හිතේ. SkyPark එකට යන්න ටිකට් ගන්න තියෙන්නෙ Marina Bay Sands වල 3වෙනි කුළුණ යටින්. කට්ටිය එහෙනම් සිංගප්පූරුවෙ සීගිරියටත් ගිහින් බලන්නකො.

 

සිංගප්පූරුවට ගිහින් “උබින්” යමු!

එක පාරටම කට්ටිය බලයි type කරනකොට වැරදිලාවත්ද කියල. නැහැ. ඒ “උබින්” තමයි. මේ ලිපිය ලියන්න මම හිතාගෙන හිටියෙ මීට මාස 10කට 11කට විතර කළින්. ඒත් කොහොම කොහොම හරි ලියන එක පරක්කු උනා.

“උබින්” කියන්නෙ සිංගප්පූරුවට අයිති වෙන වපසරිය වර්ග කිලෝමීටර 10ක් විතර වෙන කුඩා දූපතක්. සිංගප්පූරුවෙ අය මේ දූපතට කියන්නෙ “පුලව් උබින්” කියල. මැලේ භාෂාවෙන් “උබින්” කියන්නෙ කළුගල් වලට; “පුලව්” කියන්නෙ දූපත කියන එකට. එතකොට නමේ තේරුම වෙන්නෙ “කළුගල් දූපත” කියල; නමේ තේරුම හැටියටම ඉස්සර මේ දූපත කළුගල් වලට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනව. එහෙම කළුගල් කඩල පස්සෙ කාලෙක අත ඇරල දාපු “ගල් කොරි” කීපයක්ම දූපතේ තියෙනව.

උබින් දූපත

සිංගප්පූරුව කිව්වහම කට්ටියට මතකයට එන්නෙ ඉතාමත් දියුණු දූපත් රාජ්‍යයක්නෙ. ඒ රට ඇතුළෙදි උබින් දූපත වැදගත් වෙන්නෙ තවමත් නාගරීකරණය කරපු නැති ඉතාමත් ග්‍රාමීය පරිසරයක් තියෙන ප්‍රදේශයක් විදිහට. උබින් දූපතට ගියහම දැනෙන්නෙ හරියට ලංකාවෙ ගමකට ගියා වගේ. ටික වෙලාවකට හරි කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිල ඇත්තම ග්‍රාමීය පහස විඳින්න ලැබෙන එක කියල නිමකරන්න බැරි සහනයක්. භූමිය කියන දේ ඉතාමත්ම හිඟ, ඒ වගේම වටින සිංගප්පූරුව මේ උබින් කියන දූපත තවම ඉඳුල් කරන්නෙ නැතුව තියාගෙන ඉන්නව.

මීට අවුරුදු ගානකට කළින් කොරළ් පරයක් වෙලා තිබුන ප්‍රදේශයකුත් මේ දූපතේ තියෙනව. ඊට අමතරව පොඩි වගුරු බිමක් එහෙමත් තියෙනව. අපේ ලංකාවෙ හික්කඩුව, මුතුරාජවෙල ගිහින් තියෙන අයට නම් හිතෙයි මේ මොනවද කියල. ඒත් මෙහෙ කට්ටිය ඒ අයට තියෙන දේ උපරිමයෙන් පරිස්සම් කරනව; ඒ වගේම හොඳට market කරනව.

ඔය මොනව තිබුණත් අපි නම් උබින් යන්නේ ඕව බලන්න නෙමෙයි. අපි යන්නෙ රඹුටන් කන්න! උබින් දූපත කියන්නෙ තවමත් අත ගහපු නැති කැළෑ රොදවල් තියෙන දූපතක්; ඒ වගේම සිංගප්පූරුවෙ ජාතික උද්‍යානයක්. උද්‍යානයක් කෙසේ වෙතත් පළතුරු වත්තක්! ඔය කැළෑ රොදවල් වල රඹුටන්, ගඩි ගුඩා, දූරියන් වගේ පළතුරු ගස් තියෙනව. වාරෙට ගියොත් ඇති වෙනකම් කන්න පුළුවන්. හැමදේකටම වගේ සල්ලි ගෙවන්න ඕනෙ සිංගප්පූරුවෙ හිතේ හැටියට පළතුරක් නොමිළේ කන්න පුළුවන් කියන එකත් ඇතිනෙ.

උබින් රඹුටන්

දැන් ඉතින් යන හැටි. සිංගප්පූරුවට ආපු වෙලාවක මෙහෙ යන්න හිතාගෙන ඉන්නවනම් සම්පූර්ණ දවසක් වෙන් කරන්න ඕනෙ. පළතුරු වාරෙ වෙන ජුලි, අගෝස්තු යනවනම් තමයි හොඳ. උබින් දූපතට යන්න ඕනෙ බෝට්ටුවෙ; උබින් යන්න බෝට්ටු සේවයක් “Changi Village” කියන තැනින් තියෙනව. තමන් නැවතිලා ඉන්න තැන ඉඳන් මේ Changi Village කියන තැනට එන්න ඕනෙ විදිහ මේ වෙබ් අඩවියෙන් තමුන් ඉන්න තැන ලිපිනයයි යන්න ඕනෙ තැන හැටියට Changi Village කියලයි දුන්නහම බලාගන්න පුළුවන්.

දූපත ඇතුලෙ ප්‍රවාහන මාධ්‍යය වෙන්නෙ දුප්පත් අපගේ බයිසිකලේ තමයි. බයිසිකලයක් තමුන් එනකොට අරගෙන එන්න පුළුවන්; එහෙම නැත්නම් බයිසිකලයක් කුළියට ගන්න පුළුවන් තැන් ඕනෙ තරම් බෝට්ටුවෙන් දූපතට ගොඩ බහින තැන තියෙනව. හැබැයි ගාණ ටිකක් වැඩි උනාට කමක් නැහැ සීට් එක හොඳ බයිසිකලයක් ගන්න! අත්දැකීමෙන් කියන්නෙ. මුළු දවසක්ම පදින්න ඕනෙ.

එක දවසකට වඩා ගතකරන්න ඕනෙ කට්ටිය ඉන්නවනම් කූඩාරම් ගහගෙන රැයක් ගත කරන්න පුළුවන් Camp sites එහෙමත් තියෙනව. කවුරු හරි කූඩාරම් ගහගෙන දින කීපයක් ඉන්න බලාපොරොත්තු වෙනවනම් අවශ්‍ය තොරතුරු බෝට්ටුවෙන් දූපතට ගොඩවෙන තැන තියෙන “සිංගප්පූරු ජාතික උද්‍යාන” තොරතුරු කුටියෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අය එතැනම ළඟින් තියෙන පොලිස් මුරපොලට දැනුම් දෙන්නත් ඕනෙ.

එහෙනම් සිංගප්පූරු ආපු වෙලාවක කට්ටිය “උබින්” යන්න බලන්න.

වෙහෙරගල චාරිකාව

Nokia GPS එළට වැඩ!

දෙසැම්බර් මාසෙ නිවාඩු අරගෙන ලංකාවට ආපු වෙලාවෙදි මගෙ යාළුවෙක් අපූරු ගමනක් යන්න කතා කලා. ඒ වෙහෙරගල ජලාශය බලන්න යන්න. වෙහෙරගල ජලාශය භාර ඉංජිනේරු මහත්මය විදිහට ඉන්නෙ අපිත් එක්ක එකට විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගත්ත අපේ හොඳ යාළුවෙක් නිසා ඇත්තටම අපිට මේ ගමන අපේ යාළුවෙක්ව බලන්න යන ගමනකට සමාන වුනා.

වෙහෙරගල පිහිටල තියෙන්නෙ බුත්තල – කතරගම මාර්ගයට බටහිරින් වෙන්න ලුණුගම්වෙහෙරට ඊසාන දෙසින්. ව්‍යාපෘතියෙ අරමුණ වෙලා තියෙන්නෙ මැණික් ගඟේ වතුර ලුණුගම්වෙහෙරට අරගෙන යන එක. හරියටම තියෙන තැන කියනවනම් වෙහෙරගල තියෙන්නෙ යාල ජාතික වනෝද්‍යානයෙ කලාප අංක 5හේ. බුත්තල – කතරගම මාර්ගයෙ ඇවිත් ගල්ගේ හරියෙදි තමයි ඇතුළුවීමේ මාරිගය තියෙන්නෙ. මේ වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය 100%ක්ම අපේ ඉංජිනේරුවන් කරපු වැඩක්.

ඔන්න අපි කට්ටිය පාදුක්ක -> ඉංගිරිය -> රත්නපුර -> පැල්මඩුල්ල -> තිඹොල්කැටිය මාර්ගයේ තණමල්විල වෙනකම් ඇවිත් අපේ යාළුව මුණගැහිල දවස් කීපයකට සෑහෙන්න බඩුත් අරගෙන ගමනට සෙට් උනා. අපි යනකොට ඒ පැත්තට හොඳටම වහිනව. අපේ යාළුව කිව්වෙ සමහරවිට දවස් 2ක 3ක් යනකොට මුල්ම වතාවට ජලාශයෙ වාන් දොරටු අරින්නත් සිද්ධ වෙයි කියල.ඒක නිසා දිවා – රෑ නොබලා ඒ අය ජලාශයෙ වතුර මට්ටම ගැන අවධානයෙන් හිටියෙ.

මැසි මාරා

අපිට අපේ මිතුරත් එක්ක ඉන්න ලැබුණෙ දවස් 3ක් විතරයි මොකද ඊට පස්සෙ තවත් යාළුවෙක්ගෙ විවාහ උත්සවයක් තිබුණ. වතුර මට්ටම පිටාර මට්ටමට ගොඩක් ආසන්න වුනත් වාන් දොරටු අරින්න තරම් තත්ත්වයක් අපි එහෙ ගතකරපු දින කීපයේදි උදාවුනේ නැහැ.

වෙහෙරගල ජලාශය අවට වන සත්තුන්ගෙන් නම් අඩුවක් උනේ නැහැ. සත්තු කිව්වහම මදුරුවො තමයි වැඩියෙන් හිටියෙ. හැබැයි ඒ රෑ නිදාගන්න වෙලාවෙදි තමයි. කාලෙකට පස්සෙ ලංකාවට ගියහම මදුරුවෙක් කෑවෙ නැති වුනහමත් ගතියක් නැහැනෙ ඉතින්. 😀 (හික්ස්)

තිත් මුවා

යාල ජාතික වනෝද්‍යානයෙ කලාප අංක 5හේ වෙහෙරගල ජලාශයට ආසන්නව වෙහෙරගල, වෙහෙර හත කියන පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් පිරිච්ච නටඹුන් වෙච්ච පැරණි බෞද්ධ සිද්ධස්ථාන පිහිටල තියෙනව. අපිට ඒ සිද්ධස්ථාන බලන්නත් යන්න පුළුවන් වුනා.

ඔය ගමනෙදි තවත් අපූරු අත්දැකීමක් අපිට ලැබුන. ඒ තමයි “වල් අලි එලවිල්ලකට” සෙට් වෙන්න හම්බවෙච්ච එක. ඒක සෙට් වුනේ ටිකක් අහඹු විදිහකට. වෙහෙරගල ජලාශය පිරෙනකොට කොහෙදෝ ගම්මානයකට වතුර ගලල කියල ආරංචියක් ලැබුන නිසා අපි ඒ ගැන හොයන්න යනකොට තමයි අපි ඔය “වල් අලි එලවිල්ලට” මැදි උනේ. පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවට අයත් අලි එලවිල්ලටම නවීකරණය කරපු ට්‍රැක්ටරයකින් තමයි අලි එලෙව්වෙ! අන්න ට්‍රැක්ටර්! 😀 😀 (හික්ස්)

වල් අලි එලවිල්ල

අපි දවස් 3ක් වෙහෙරගල ඉඳල ආවයි කියමුකො. ඔන්න ඊට පස්සෙ දවසෙ රෑ ප්‍රවෘත්ති වලට කියනව වෙහෙරගල ජලාශයෙ වාන් දොරටු ඇරිය කියල.! 😀 (හික්ස්) මක් කොරන්නද ඉතින්?

වෙහෙරගල ජලාශයෙ ඉස්මත්තට වෙන්න වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති සංචාරක බංගලාවක් තියෙනව. කට්ටිය යන්න කැමතිනම් ඕක book කරගෙන ගිහින් බලන්න.

චාරිකාවෙ තවත් ඡායාරූප මෙතනින්.

Homesick

කාලාන්තරයක් තිස්සෙ පෙරුම් පුරල ඔන්න දෙසැම්බර් මාසෙ ගෙදර ගොහින් එන්න ගියා. යන්න ඉස්සෙල්ල plan ගොඩයි. ලංකාවට ගියහම අරක කරනව, මේක කරනව, අරෙහෙ යනව, මෙහෙ යනව.

හැබැයි ඔහොම plan කරන වැඩ වලින් කීයෙන් කීයද අපි කරන්නෙ? ඒත් මේ පාරනම් miss උනේ සමහර පරණ යාළුවො හම්බ වෙන්න යන්න හිතාගෙන හිටිය ගමන් කීපයක් විතරයි.

අපේ SBU කට්ටියත් එක්ක දෙසැම්බර් 19 සෙට් වෙන්න ලැබුන එකනම් මරේ මරු. ඊට අමතරව යාල, ලුණුගම්වෙහෙර කියන වනෝද්‍යාන අතර මැද තියෙන වෙහෙරගලට ගිය චරිකාව, නැගෙනහිර චාරිකාව වගේම සිංගප්පූරුවට ආවට පස්සෙ මගෙ මේ ශරීර කූඩුව කොච්චර අල වෙලාද කියල මටම තේරුම් කරල දුන්න මගේ 2වෙනි වර කිරිගල්පොත්ත කන්ද නැගීම කියන චාරිකා ටිකත් එළම එළ. (මම මගේ පළමු කිරිගල්පොත්ත චාරිකාව ගැන ඉස්සර ලිව්ව.)

set වෙච්ච මරු picnic එකක් තමයි අපි යාළුවො සෙට් එක Leisure World ගිය එක. මම නම් ඉතින් මැලේසියාවෙ A’Famosa Water World එකට challenge කරන්න පුළුවන් water park එකක් දැකල නැහැ. ඒක නිසා Leisure World එකේ සෙල්ලම් වලට ගියේ කරන්න දෙයක් නැති නිසා. ඒක නිසා ඒකෙ තියෙන ඔය water slides එහෙම ගියේ යන්න පුළුවන් උපරිම වේගයෙන්. ඔහෙම මමයි තව තඩි යාලුවෙකුයි අර tube එකේ යන්න තියෙන water slide එක ගිහින් තව පොඩ්ඩෙන් නතර වෙන්නෙ ඉස්පිරිතාලෙ. හොඳ වෙලාවට ඉස්සරහ යකඩ වැටක් ගහල තියෙනව, ඒකෙ වැදිල තමයි දෙන්නව නතර උනේ. හික්ස් 😀 😀 😀 කට්ටිය Leisure World ගියහම water slides area එක ඉස්සරහ නැවිච්ච වැටක් දැක්කොත් ඒක තමයි අපි දෙන්න නවපු එක. ඒකත් ඉතින් ලංකාවට ආපහු ආව ගමන ගැන මතක් කරන්න පුළුවන් හිනා යන scene එකක්.

ඔය ටිකට අමතරව ඉතින් කලේ ගෙදරට වෙලා අල වෙන එකයි, ගමේ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙච්ච එකයි තමයි.

දැන් ඉතින් back to work. ආපහු එන්න Airport එකට ආවෙ මරන්න අරගෙනයනව වගේ.  දැන් මෙහෙදි මනෝ ගහන්න සෙට් වෙනකොට හිතෙන්නෙ ලංකාවෙ හිටියනම් මේ වෙලාවට මොකද කරන්නෙ? තව සතියක් තිබුන නම්? තව කොච්චර කාලෙකින්ද ආපහු යන්න වෙන්නෙ? වගේ ඒව. මෙහෙ එකෙක් මට කියනව “උඹට Homesick”ලු.

ඇත්තටම Homesick කියන්නෙ මොකක්ද?

කල්ලඩි පාළම

ඔන්න මමත් හා හා පුරා කියල පහුගිය සති අන්තෙදි යාළුවො සෙට් එකක් එක්ක නැගෙනහිර චාරිකාවක් ගියා. ඕක ඉතින් ටිකක් posh විදිහට කියනවනම් East Coast වලට visit එකක් දැම්ම. අපේ රජරට පුත්‍රයත් ඔය පැත්තෙ ගියා කියල මට දැනගන්න හම්බ වුනේ ගිහින් ඇවිත් සින්ඩිය පැත්තෙ ගිය වෙලාවෙදි. නැත්නම් අපිට එහෙදිවත් සෙට් වෙන්න තිබුන. (Plan කරගෙන හිටපු විදිහට SBU එකේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවෙදි අපි දෙන්නට සෙට් වෙන්න බැරි වුනානෙ)

පොතුවිල්, අක්කරෙයිපත්තු පහුකරගෙන මඩකළපුව පැත්තට යනකොට ඔන්න අපිට කල්ලඩි පාළම හම්බ වුනා. කපුගේ ශූරීන්ගෙ සිංදුවක තියෙනවනෙ කල්ලඩි පාළම යට ඉන්න මාළු සිංදු කියනව කියල. ඒත් අපිටනම් ඔය සිංදු කියන මාළුන්ගෙ සද්දෙ ඇහුනෙ නැහැ; ඇහුනෙ පාරෙ යන වාහන වල ඝෝෂාව විතරයි! 🙂 ඒත් ඔය පාළමවත් දකින්න හම්බ වෙච්ච එක කොච්චර දෙයක් ද?

ඔන්න අපිත් කල්ලඩි වලට ආව

කල්ලඩි පාළම යට ඉන්න මාළු සිංදු කියනවලු

නැගෙනහිර අහසෙ ලස්සන රටා මවන කුරුල්ලො

පින්තූර ටික බලන ගමන් කපුගේ ශූරීන්ගෙ කල්ලඩි පාළම ගැන කියවෙන ගීතයත් මෙතැනින් අහන්න.

මේක කියවන්නෙ කොහොමද?

කෑම කධැ

මම මේ බෝඩ් එක දැක්කෙ ගිය සති අන්තේදි යන්නට හම්බ වුන නැගෙනහිර සවාරිය අතරතුරදි; ඒ අක්කරෙයිපත්තු නගරයේදි. මේ බෝඩ් එකේ ලියල තියෙන “කෑම කධැ” කියන එක කියවන්නෙ කොහොමද? හිනා යනව නේද? 🙂 🙂

තායිලන්ත චාරිකාව

Phi Phi Don වෙරළ

Phi Phi Don වෙරළ

සැරිසර තොරතුරු වලින් මැලේසියාවෙ මම ගිහින් තියෙන තැන් කීපයක් ගැන මීට ඉස්සෙල්ල කිව්ව මතකයිනෙ. මේ විස්තරේ මගෙ තායිලන්ත සංචාරය ගැන.

මමයි මගෙ තව යාළුවෙකුයි ගියේ තායිලන්තෙ පුකෙට් කියන දූපතට. මේ දූපත තියෙන්නෙ තායිලන්තයේ දකුණු සීමාවෙ මැලේසියාවට ආසන්නව. කට්ටියට මතක තියෙනවනම් මේ පුකෙට් කියන දූපතත් 2004 අවුරුද්දෙ ආපු සුනාමියෙන් දරුණුවට බැට කාපු ප්‍රදේශයක්.

තායිලන්තෙට ඇතුළුවෙන්න අපිට වීසා අවශ්‍යයි. මුලින්ම වීසා හදාගන්න ඕනෙ. අපි වීසා ගත්තෙ සිංගප්පූරුවෙ තියෙන තායිලන්ත තානාපති කාර්යාලයෙන්. මෙහෙ පිළිවෙල අනුව නම් වීසා ගන්න ඉස්සර මුලින්ම ගුවන් ටිකට්පත් අරගන්න ඕනෙ. ඒක මුලින්ම තානාපති කාර්යාලයෙන් අහල බලන්න.

දැන් කට්ටියට Air Asia වලින් මැලේසියාවෙ ක්වාලාලම්පූර් වලට එන්න පුළුවන් නිසා ක්වාලාලම්පූර් වලින් අපි ගිය පුකෙට් දූපතට තවත් බජට් ගුවන්යානයක් ගන්න පුළුවන්. අපි නම් සිංගප්පූරුවෙ ඉඳන් කෙලින්ම පුකෙට් වලට තමයි ගියේ. ඒ Tiger Airways කියන බජට් ගුවන් සේවයෙන්. Tiger Airways වලට අමතරව Air Asia, Jet Star කියන ගුවන් සේවා වලිනුත් පුකෙට් වලට බජට් ගුවන් යානා තියෙනව.

තායිලන්තය කියන්නෙ ලංකාව වගේම ආගන්තුක සත්කාර වලින් පිරිච්ච රටක්. ඒ මිනිස්සු හැමතිස්සෙම උදව් කරනව. රටත් හරිම ලස්සනයි. තායි කෑමත් ලංකාවෙ කෑම තරම් (මට) රහ නැති උනාට  නරකම නැහැ. භාවිතාවෙන මුදල් ඒකකය තායි බාත්. තායිලන්තෙදි මුදල් පාවිච්චි කරනකොට මතක තියාගතයුතු දෙයක් තමයි මුදල් නෝට්ටු නවන්නෙ නැතුව පාවිච්චි කරන්න. මොකද තායි මුදල් නෝට්ටුවල තියෙන්නෙ ඒ අයගෙ රජ කෙනෙකුගෙ රූපෙ. ඒක නිසා නෝට්ටු නවල පාවිච්චි කරන්නෙ නැහැ. මැලේසියාවෙ තරම්ම නැති උනාට තායිලන්තෙත් වියදම් අඩුයි.

පුකෙට් සංචාරෙ තොරතුරුත් එක්ක ආපහු හමු වෙමු.

Previous Older Entries